පුෂ්පිකාගේ කිරුළ ගැලවූවා යැයි හිටපු විවාහක රූ රැජින හා තවත් කාන්තාවක් අත්අඩංගුවට

April 8, 2021

විවාහක රූ රැජිනක වන කැරොලයින් ජූරි ව හා ඇය සමග සිටි චූලා පද්මේන්ද්‍ර යන අය  කුරුඳුවත්ත පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

නෙළුම් පොකුණ රගහලේ පැවැති 2020 විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ තමන්ට පැළදු කිරුළ බොරු චෝදනා එල්ල කරමින් ගලවා දෙවන ස්ථානයට පත් වූ අයට පැළැදවීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කළ පැමිණිල්ලකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අය අත්අඩංගුවටගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේය.

2020 විවාහක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව බවට පුෂ්පිකා ද සිල්වා පත් වූ අතර ඇයට කිරුළ පැලඳවූයේ විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ  කිරුළු පැළැදි කැරොලයින් ජූරි විසිනි.

නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවය. 

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය. නමුත් පුෂ්පිකා ද සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ තමා දික්කසාද වී නොමැති බවය.

එම සිදුවීමෙන් අනතුරුව පුෂ්පිකා ද සිල්වා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 6 වනදා කැරොලයින්ව කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණි. අද නැවත ඔවුන් කැදවා තිබු අතර එහිදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සවස අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

t

o

p