ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට තවත් එන්නත් මාත්‍රා 5,68,000 ක් ගෙන්වා ගැනීමට අවශ්‍යයි – සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි

April 8, 2021

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම ජනවාරි මස 29 වන දින සිට අප්‍රේල් මස 6 දක්වාම සිදු වූ බැවින් දෙවන මාත්‍රාව ලබා දීමේ කාලය අප්‍රේල් මස 23 වනදා සිට ජූලි මස 06 දක්වා  අතර කාල පරාසයක් තුළ විහිදී ඇති නිසා අප්‍රේල් මස 23 වැනිදායින් පසුව මුල් අදියරේ ප්‍රථම මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ ආයතන ක්‍රියා කරන බව සෞඛ්‍ය ඇමතිනී ගරු පවිත්‍රා දේවි වන්නිනායක මහත්මිය අද දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

එතුමිය මේ බව සඳහන් කරනු ලැබුවේ විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් 27(2) යටතේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී අමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කර සිටියේ ජනවාරි මස 29 දා සිට දා සිට අද 2021 4 6 දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 924687 ක් පළමු මාත්‍රාව ලෙස ලබා දී ඇති බවත්, දැනට විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල අනුව  දෙවන මාත්‍රාව පළමු මාත්‍රාව ලබා දී සති 12 කට පසුව ලබා දීමෙන් ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව සනාථ වී ඇති බවත්ය. 

දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සතුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 356730 ක් වෙන්කර ඇති බවද මෙහිදී අනාවරණය කරන ලදී. එසේම මේ වනවිට  දෙවන මාත්‍රාව ලබාදීමට ඇති මුළු සංඛ්‍යාව 924687 ක් වන බැවින්,  වෙන්කර ඇති එන්නත් මාත්‍රා 356730ට  අමතරව  තවත් එන්නත් මාත්‍රා 568000ක් පමණ අවශ්‍ය  වන බව එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

එම ප්‍රමාණය  ලබාගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනටමත් අදාළ අංශ සමග කටයුතු කරමින් ඇති බැවින් ඉදිරි සති කිහිපය තුළ එම අවශ්‍ය එන්නත් තොගය ලැබෙනු ඇති බවට ගරු පවිත්‍රා වන්නිනායක අමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත පළමු මාත්‍රාව  ලෙස ලබාදුන් අයට දෙවන මාත්‍රාවද එම වර්ගයෙන්ම ලබාදිය යුතු බැවින් එම එන්නත නිපදවූ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටුට් ආයතනයෙන්ම ඉතිරි එන්නත් තොගයද ලබාගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව එතුමිය විශේෂයෙන් අවධාරණය කරන ලදී.

t

o

p