ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන වසර 25යි

March 17, 2021

මීට වසර 25කට පෙර එනම් 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වසර 25ක් තිස්සේ නොලැබුණු ලෝක ශූරතා පදක්කම් එම ක්‍රීඩකයන්ට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 1996 වසරේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, උපනායක අරවින්ද සිල්වා ඇතුළු ක්‍රිකට් කණ්ඩායමට විශේෂ උපහාර දැක්වීමක් අද (17) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

වසර 25ක් තිස්සේ එම ක්‍රීඩකයන්ට නොලැබුණු ඔවුන්ට හිමි පදක්කම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් එම ක්‍රීඩකයන්ට ප්‍රදානය කිරීම මෙම අවස්ථාවේදී සිදුකිරීමට නියමිතයි.

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව පරාජය කරමින් කඩුලු 7ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබාගෙන අද (17) දිනට හරියටම වසර 25කි.

එවකට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ජයග්‍රාහී ලෝක කුසලනාය ලබාගත්තේ එවකට පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ බෙනාසීර් භූතෝ මහත්මිය අතිනි.

එම අවස්ථාවේදී ලෝක ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පදක්කම් ලබාදීමක් සිදු නොවුණු අතර පසුව ක්‍රීඩකයන්ට හිමි පදක්කම් ICC ආයතනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා තිබේ. මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසීකට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානියකු සඳහන් කළේ ක්‍රීඩකයන්ට ලැබුණු මෙම පදක්කම් වසර 25ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබුණු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

ලෝක ශූරයන්ට හිමි එම පදක්කම් එම ක්‍රීඩකයන්ට ලබාදිය යුතු බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති අතර අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමට මෙම උපහාර පිදීමේ උත්සවය සංවිධානය කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය සමග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය එක්ව 1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවය සංවිධානය කර තිබේ.

මේ අතර නිරෝධායනය ක්‍රියාවලියේ සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගිවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

t

o

p