නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළදී – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

March 12, 2021

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවසීය.

ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් එම කමිටු රැස්වීම් සඳහාම වෙන් කර ඇති බවත් වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී හෙතෙම කීවේය.

එම විද්වත් කමිටුවේ සභාපතිධූරයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්‍ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ.

සමුපකාර ක්‍රේෂ්ත්‍රයේ පවතින අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා ද සමූපාකාර ප්‍රතිපත්තියක් සැකසෙන බවත්, එම කටයුතු කඩිනමින් අවසන් කෙරෙන බවත් අමාත්‍යවරයා කාරක සභාවට දැන්වීය.

සතොස වෙළෙඳ සැල් අලුතින් ආරම්භ කිරීමේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී මතු විය.

සතොස තුළ දූෂණ සහ අක්‍රමිකතා සිදුවීම පුරුද්දක් ලෙස පවතින අතර, සියලු වෙළඳ සැල් පරිගණක ගත කිරීම මඟින් එම තත්ත්වය වෙනස් කල හැකි බව ද කාරක සභාවේදී සාකච්ජා විය. සිදුව ඇති එම දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව සෙවීමට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදු කරන ලෙසද කාරක සභාවේදී සාකච්ජා විය

.

සතොස සඳහා භාණ්ඩ මිල දී ගැනීමේදී නිශ්පාදකයන්ගෙන් සහ සෘජු ආනයනකරුවන්ගෙන් පමණක් එය සිදු කරන බවත්, එම ක්‍රමවේදය වර්තමානයේදී සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

නව සතොස වෙළඳ සැල් 57 ක් ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ඒ වෙනුවෙන් කටයුතු කරන බවත් කාරක සභාවේදී හෙළි විය. නව සතොස වෙළඳ සැල් ආරම්භ කිරීමේදී එකම ආකෘතියක් යටතේ එය සිදු කළ යුතු බවද කාරක සභාවේ අදහස විය.

කාරක සභාව ආරම්භයේ දී පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ.ජයතිලක මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්‍යභාරය සම්බන්ධයෙන් කෙටි දේශනයක්ද පැවැත්වීය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නලීන් ප්‍රනාන්දු , රෝහණ දිසානායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

t

o

p