බන්දුල ගුණවර්ධන සමාජගත කළ ශක්‍රයාගේ පුතා වයිමා

March 10, 2021


2005 – 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද වෙළඳ අලෙවි සංවර්ධන සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය ධූරය හොබවමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි ද කියමින් ජනමාධ්‍යවේදීන් ගේ ‘කෙලි බඩුවක්’ බවට පත් වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය මාර්තු 09 වන දා නැවතත් බඩු මිල මුල් කොට ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වේදියෙකුට  බැණ වදිනු දක්නා ලදී.

ඒ මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදියෙකු බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් ඉහළ යන බඩුමිල ගැන ප්‍රශ්න කිරීමක දී ය.මාධ්‍යවේදියා එහිදී ඇමතිවරයාගෙන් විමසා සිටියේ “දැනට මාස හය හතක් තිස්සේ ජනතාව බඩු මිල වැඩි වීම දරාගෙන සිටින බවත් වෙළඳපොලේ කහ හිඟයක් පවතින බවත් සතොස වැනි ආයතන තුළ පවා එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසු මිලට නොමැති බවකි. එහෙත්, එම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා දැඩි ආවේගාත්මක  ස්වරයෙන් “නුඹට දරාගෙන ඉන්න බැරි වුණාට, ජාවාරම්කාරයින්ට දරාගෙන ඉන්න බැරි වුණාට මිනිස්සුන්ට දරාගෙන ඉන්න පුළුවන්. කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා. ඉස්සෙල්ලා ඇත්ත දේ කරන්න. කොන්ත්‍රාත් කරන්න ඕනෙ නම් වෙන කාත් එක්ක හරි කරන්න.” යනුවෙනි.

පාරිභෝගික මිල දර්ශකයට අනුව ගත වූ කාලය තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල සෑහෙන මිල ඉහළ යාමක් දක්නට ලැබුණු බව රහසක් නොවේ. ඒ අනුව එම මාධ්‍යවේදියාගේ පැනයේ ද කාලීන වැදගත් කමක් තිබේ. 2009 වසරේ දී පමණ එවක ද වෙළෙද අමාත්‍යංශය හෙබවූ බන්දුල ගුණවර්ධයන් විසින් කරන ලද “  ශක්‍රයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්න බැහැ”  යන බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ ප්‍රකාශයේ ගැබ් වූ අරුත වූයේ බඩු මිල යාම රටක පොදු මිල මට්ටම නියෝජනය වන කරන්නක් බැවින් එය අඩුකරලීම ප්‍රායෝගික ලෙස කළ නොහැක්කක් බව ය. එහෙත්, ඒ බවක් සුහදශීලීව
වටහා දෙනු වෙනුවට මාධ්‍යවේදීන් ගේ “කොන්ත්‍රාත්” ගැන බාල බොළඳ කතා කියන්නට යාමෙන් තම දේශපාලනික අවිචාරවත් බව නැවත ජනතාව හමුවේ තැබූ බන්දුල ගුණවර්ධනයන් එදා කී ශක්‍රයාගේ පුතා වයිමා ගැන යළි විමසා බලන්නට මට සිත්විය.


ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට සේම අන් ආගමිකයන්ට ද බෞද්ධ සාහිත්‍යයේ එන ශක්‍රයා අමුත්තෙක් නොවේ. ඒ ඔහු මෙරට ජන සංස්කෘතියේ වැදගත් භුමිකාවක් හොබවන බැවිනි. බෞද්ධ සංස්කෘතියට පිවිසි මෙම ශක්‍රයා පුරාතන හින්දු ආර්ය දෙවි කෙනෙකු වූ  “ඉන්ද්‍ර” ගේ විකාශනයක් බව ද පෙනෙයි. එහෙත් බෞද්ධ සාහිත්‍යයේ එන ශක්‍රයා සෙසු දෙවි මිනිසුන් සඳහා  “පුත්‍ර” ආමන්ත්‍රණයේ යොදන මුත් ඔහුට වයිමා හෝ වෙනයම් නමකින් පුතකු සිටි බව ත්‍රිපිටකයේ කිසිදු තැනක සඳහන් නොවේ. මේ අතර මෙම පිරුළට පදනම් වන  “ශක්‍රයා” සහ වයිමා ප්‍රවාදය ක්‍රිස්තු පූර්ව 549-486 අතර පර්සියාවේ රජ කළ ඩෙරියස් අධිරාජ්‍යයා සහ ඔහුගේ පුත් සක්සික් පදනම් කොට අපගේ ජන සංස්කෘතියට පිවිසෙන ලද්දක් බවද ඇතැමෙක් පවසති.

එහි දී ඩෙරියස් අධිරාජ්‍යයා බෞද්ධ සාහිත්‍යයේ එන ශක්‍රයාටත් ඔහුගේ පුත් සක්සික් බෞද්ධ පොත පතෙහි එන විශ්වකර්මයාටත් සම වන බැවින් ඩෙරියස් යුගයේ ග්‍රීක ආක්‍රමණවලින් බිඳවැටුණු පර්සියානු අධිරාජ්‍ය ගොඩ නැගීමට සක්සික් තුළ පැවති හැකියාව මත ඔහු ඩෙරියස්ටත් වඩා ප්‍රබලයකු ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි. එහෙත්, මෙම පර්සියානු පුරාවෘත්තය අප ජන සංස්කෘතියට පිවිසෙන ලද්දේ කවදා, කෙලෙස, කිනම් අයුරකින් ද යන්න පැහැදිලි කිරීමට කිසිවකුටත් හැකි වී නැත. නමුදු මීට විසි වසරක පමණ සිට වන්නි හත්පත්තුවේ යක්ෂ දේව ප්‍රවාද පිළිබඳ විමසුමක් කළ මට 2002 වසරේ දී පමණ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ දී මෙම අප්‍රකට ශක්‍රයා හා වයිමා අහඹු ලෙස හමු විය. ඒ හත්කෝරළයේ ජන කතාවක් මඟිනි. එහෙත්, එම ජනකතාවේ මානව විද්‍යාත්මක පසුබිම විමසා බලන විට මා හට පසක් වූයේ මෙම ශක්‍රයාගෙන් සහ වයිමාගෙන් දහ නව වන සියවසේ අග භාගයත් විසි වන සියවසේ මුල භාගයක් අතර කාල පරාසයක  “සමාජ නිරූපණයක්”  පිළිබිඹු වන බවකි.


මෙම ජන ජන කතාවේ එන ශක්‍රයා දහ නව සියවසේ අග භාගයේ සහ විසිවන සියවසේ මුල් භාගයේ මෙරට බිහිවූ පහතරට ධනපති පැලැන්තිය නියේජනය කළ  “සොයිසා” නමැත්තෙකි. තමන් සතු ධනය යොදා හත් කෝරළයේ එකට මායිමව තිබූ පොල් වතු රැසක් මිලට ගෙන එහිම තැනූ මැදුරක ජීවත් වූ මොහු ගැමියන් විසින් හඳුන්වනු ලද්දේ ශක්‍රයා යනුවෙනි. සොයිසාට ඒ ශක්‍ර නාමය ලැබීමට හේතුව ඔහුගේ මුල් නම “සැක්‍රියන්” වූ නිසා යැයි කියනු ලැබේ.  එමෙන්ම සොයිසා ගත කළ කාමභෝගි ජීවිතය ද ඔහුට එම ශක්‍රයා තම අභිධාන නාමය යෙදෙන්නට හේතු වන්නට විය. එවක සමාජයේ ඉහලම පිළිගැනීමක් තිබූ සොයිසාට ධන බලයන් සේම පිරිස් බලයෙන් ද කිසිදු අඩුවක් නොවිණි. තම පොල්වතු කොප්පරා, කොමඩු,  තෙල් මෝල් ආදියේ සේවය කළ සේවක කාරකදීන්  “හොඳින් බැරිනම් නරකින්” හසුරුවා ගැනීම පිණිස වූ මැර කල්ලියක් ද ඔහු යටතේ සේවය කර ඇත.

එම ජනප්‍රවාදයේ දැක්වෙන අන්දමට මෙම සොයිසා නීති සහ සදාචාර නියමයන්ට එපිටින් කම්සැප සොයන්නෙකි. එහිදී තමන් යටතේ සේවය කරන සේවක කාරකාදීන්ගේ අඹුවන් සහ දියණිවරුන් ඔවුන්ගේ කැමැත්ත නොවිමසා වසඟයට ගැනීම ද සොයිසාගේ සාමාන්‍ය දින චරියාවේ අංගයක්ව තිබී ඇත.  එමෙන්ම ඒ වන විට ඔහුගේ බල පරාක්‍රමය ප්‍රදේශය පුරා කොතෙක් ව්‍යාප්ත වී තිබිණි ද යන්  “ශක්‍රයාට බැරි දෙයක් නැතැ” යි යන රාවය දිළිඳු ගැමි හදවත් වල අරක් ගෙන තිබිණි. මිල මුදල් අතුරින් එතරම් පොහොසත් නොවූ එවක ගැමියන්ගේ ප්‍රධානතම ධනයක් වූයේ ගව සම්පත ය. එනිසාම එවක ජන සමාජයේ ගෙවල් බිඳීමටත් වඩා  “හරක් හොරකම” ව්‍යාප්තව තිබිණ. මෙවන් තත්වයක් යටතේ ගැමියන්ගේ නැති වූ ගවයන් සොයා දීමට ද  “ශක්‍රයා” ට පසු හැකියාවක් ඇති බව වටහාගත් ගැමියෝ තමන්ගේ ගවයකු නැති වූ සැනින්  “ශක්‍රයා” සොයා ගොස් ඒ දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පුරුදුව සිටියහ.

එවිට තමන් හමුවීමට එන ගැමියාගෙන් ලද හැකි ලාභ ප්‍රයෝජන වලට ඉව ඇල්ලූ ශක්‍රයා ගවයා සොයා දීම උදෙසා ඉල්ලන අල්ලසක් ලෙස එවැනි නොයෙක් දේ ගැමියන් ගෙන් අයුතු ලෙස ලබා ගත්තේ ය. ඒ අතර ඒ ගව හිමිියාගේ තරුණ බිරිඳ හෝ තරුණ දියණිය ගෙදර දොරේ වැඩ කටයුතු සඳහා යැයි පවසමින් තම නිවසට කැඳවාගෙන දින කිහිපයක් දිවා රාත්‍රී එහි රඳවා ගැනීම ද ශක්‍රයාගේ එක් උපාය මාර්ගයක්
විය. එහි සැබෑ අරමුණ සහ එහි දී එම කතුන්ට සිදු වූ දේවල් ජවනිකා ස්වරූපයෙන් කිව යුතු නැත. මේ අතර තම සහචරයන් සමඟ ගමේ ගොඩේ ඇවිදීමට යන අතරේ එහි ගැමි නිවසක නෙත් සිත් අදනා ගැහැනු රුවක් දුටුවහොත් ඊට ආසන්නතම දිනයක එම නිවසේ කාන්තාව ගවයකු නැති වීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් විය. එවිට ඒ ගව හිමියා ශක්‍රයා සොයා පැමිණි අතර එම ගවයා සොයා දෙන තුරු තම
නිවසේ වැඩපල සඳහා එම කාන්තාව ගෙන්වා ගැනීම ද ශක්‍රයාගේ නිරන්තර පුරුද්දක්ව තිබිණි. එහෙත්, සොයිසා සතු සුවිසල් සමාජ ආර්ථික ශක්තිය නිසා ඔහුගේ මෙම ලිංගික සූරාකෑම ඇතුළු සෙසු අයුතු ක්‍රියාවන්ට එරෙහි වීමට එකල කිසිවෙක් ඉදිරිපත් නොවූහ. ඒ බොහෝ විට එය අභිරහස් මරණයක් දක්වා දුරදිග යා හැකිව තිබූ බැවිනි. ශක්‍රයා නමින් හඳුන්වනු ලැබූ සොයිසා නම් මෙම ධනකුවේරයාට  “වයිමන්” නම් පුතෙක් සිටියේය. නමුදු ගැමියන් ඔහු හඳුන්වන ලද්දේ  “වයිමා” යනුවෙනි. ළමා වියෙන් කෙමෙන් තරුණ වියට එළඹුණු  “වයිමා” තම පියාගේ මෙම සියලු අවකල් ක්‍රියා දෙස රහසින් විමසිලිමත් විය. එමෙන්ම තුරුණු වියට පැමිණෙත්ම තම පියාගේ ධනස්කන්ධයෙන් කොටසක්  “යටි මඩි” ගැසූ වයිමා ද ශක්‍රයා මෙන් තමන්ට ද වෙනම මැර කල්ලියක් තනා ගත්තේය. ඉන්පසු ඔවුන් විසින් ශක්‍රයාගේ බලයට වඩා සුවිසල් බලයක්  “වයිමා” සතුව ඇති බව සමාජය පුරා ප්‍රචලිත කරන ලද්දේ ශක්‍රයා විසින් සිය සහචරයන් ලවා උපක්‍රමශීලීව හොරකම් කරවනු ලබන ගවයන් වයිමා විසින් තම සහචරයන් ලවා හොරකම් කොට වෙනම තැන් වල සඟවා තැබීමත් සමඟය.

ඒ අනුව පසුකාලීනව නැති වූ ගවයන් සොයා දීම සම්බන්ධයෙන් ශක්‍රයාට වඩා විශේෂ බලයක්  “වයිමා” සතු බව ජන විඥානයේ තහවුරු විණි. එමෙන්ම එම ක්‍රියදාමය ඔස්සේ වයිමා තම පියා සතු කම්සැප විඳීමේ  “යාන්ත්‍රණය” බලයෙන් තමන් සතු කරගත් බව පෙනෙයි. ඒ කෙසේ හෝ ශක්‍රයා සහ වයිමා සියපුතු දෙපළගේ මෙම අධම ක්‍රියා පටිපාටිය පිළිබඳව කලක් විමසිල්ලෙන් සිටි ප්‍රදේශයේ තරුණ පිරිසක් ඔවුන්ට නොහැඟන සේ ශක්‍රයාගේත් වයිමාගේත් බලය බිඳ දැමීමේ රහසිගත ක්‍රියාන්විතයකට මුල පිරීය.
ඒ අනුව ශක්‍රයා විසින් සහ දෙවනුව වයිමා විසින් හොරකම් කොට සඟවන ලද ගවයන් ඔවුන් දෙදෙනාටම රහසින් පැහැරගෙන ගොස් වෙනම තැනක රඳවා තැබීම මඟිනි. ඉන්පසු උන් හරක් හොරුන්ට හසු වූ බව පෙනේ. එමඟින් සිදුවන ලද්දේ පළමුව ශක්‍රයා සතුවත් දෙවනුව වයිමා සතුවත් පැවති එම නැති වූ ගවයන් සෙවීමේ බලය කෙටි කලක් තුළ අහෝසි වී යාම ය.


මීට විසි වසරකට පමණ ඉහත දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී මට  “හමු වූ” ශක්‍රයාගෙත් වයිමාගේත් කතා ප්‍රවෘත්තිය එයවන අතර,  “ශක්‍රයාගේ පුතා වයිමාටත් බැරි නම් ඉතින් බෑම තමයි” යන පිරුළ හත්කෝරළය සමාජගත වී ඇත්තේ ඉන්පසුව ය. කෙසේ වුවද ඉන් වසර හතකට පමණ පසුව බන්දුල ගුණවර්ධයන් විසින් 2009 වසරේ දී පමණ සමාජගත කරන ලද මෙම ශක්‍රයා සහ වයිමා පිළිබඳ පිරුළ මෙරට සමාජ දේශපාලන කරළිය දෙවනත් කරද්දී එම චරිත දෙක පිළිබඳ මෙම අප්‍රකට ජනප්‍රවාදය මාධ්‍ය සමඟින් එළි දැක්වීමට මට කිහිප වරත් සිත් විය. එහෙත් විවධාකාර හේතු මත එය දිනෙන් දින කල් යන පසුබිමක් යටතේ වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ එය කෙටියෙන් ඉදිරිපත් කිරීමට මා ද සමඟ එම විමර්ශන චාරිකාවට එක් වූ මා පුත් සහන් සංකල්ප ඉදිරිපත් විය.


නමුත් බන්දුල ගුණවර්ධයන්ගේ හඳුන්වාදීම ඔස්සේ සමාජ කරළියට පැමිණි මෙම ශක්‍රයා සහ වයිමා යන සමාජ ආකෘතීන් දෙක මුල් කරගත් පිරුළ විවිධ අර්ථ නිරූපණ සහිතව තව බොහෝ කලක්  සමාජ දේශපාලන කරළියේ රැව් දෙනු ඇත. ඒ සඳහා වන පූර්වගාමී කටයුත්තක් ලෙස දැනටත් නම් වශයෙන් පමණක් බොහෝ දෙනා දැන හැඳින ගෙන හිඳින මෙම ශක්‍රයාගේත් වයිමාගේත් සැබෑ  “හැඳුනුම්පත් දෙක” ඔබ හමුවට ගෙන ගෙන ආ යුතු යැයි මට සිතිණ.


තිලක් සේනාසිංහ

t

o

p