වැලන්ටයින් දා උත්සව, සාද හෝ ප්‍රියසම්භාෂන බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

February 9, 2021

ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලටන්ටයින් දිනය දා කිසිදු උත්සවයක්, සාදයක් හෝ ප්‍රියසම්භාෂනයක් පැවැත්විය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

තව දින 4 කින් වැලන්ටයින් දිනය උදාවන බවත් එය සැමරිමට විවිධ සාද, උත්සව පැවැත්වීමට අන්තර්ජාලය ඔස්සේ සංවිධානය වන බවට තොරතුරු ලැබී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

පසුගිය කාලය තුළ කොවිඩ් රෝග ව්‍යාප්තිය පිළිබද සලකා බලද්දි ප්‍රියසම්භාෂන, සාද හා විවාහ මංගලෝත්සව කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පැහැදිලිව ඇතැයි කී නියෝජ්‍ය පොලිස්පතිවරයා පොකුරු, අනු පොකුරු නිර්මාණයවීමට මෙවැනි අවස්ථා හේතුවක් වී ඇති බවද පැවසීය.

යම් අයෙකු අන්තර්ජාලය හරහා නිති විරෝධිව මෙවැනි සාද පැවැත්වීමට කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව කිසිම ආකාරයක සාද හෝ ප්‍රියසම්භාෂන පැවැත්වීම සපුරා තහනම් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වසංගත රෝගයක් පැවැත්වෙන කාලයක මෙවැනි උත්සව සදහා හෝටල්, උත්සව ශාලා ලබා නොදෙන ලෙස හෝටල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා නිතිවිරෝධි දේ සදහා හෝටල් ලබා දෙන හෝටල් හිමියන්ට එරෙහිව නිරෝධායන නිතියට අනුව කටයුතු කරන බවත් එම ස්ථාන මුද්‍රා තැබීමට කටයුතු කරන බවත් පැවසීය.

පොලිස් බුද්ධි අංශ 13 හා 14 යන දිනවල මෙවැනි සාද පැවැත්වේදැයි විමසිල්ලෙන් සිටින බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා එවැනි සාදවලට නොයන ලෙස තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බවද කීවේය.

t

o

p