දඹුල්ල ආර්ථිකයට එළවළු ගේන වාහනවලින් පෞද්ගලික සමාගමක් මුදල් අය කරයි

January 23, 2021

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ත්‍රිරෝද රථවලින් එළවළු රැගෙන එන ගොවීන්ගෙන් ත්‍රිරෝද රථය සඳහා ඇතුළු වීමේ ගාස්තුවක් අය කිරීමට පටන් ගෙන තිබීමෙන් ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි ගොවි සංවිධාන ප්‍රකාශ කරයි.

පසුගිය ආණ්ඩු සමයේ අතිවිශාල මුදල් කන්දරාවක් වාහන ඇතුළු කිරීමේදී ගොවීන්ගෙන් අය කළ බවත් අනතුරුව වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නියෝගයක් මත ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමේදී හා වැසිකිළි යෑමේදී මුදල් අය කිරීම් නවතා දමා ගොවීන්ට සහන සලසන ලෙස කළමණාකරන භාරයට උපදෙස් දී තිබිණි.

ඇතුළත් වන සෑම ලොරි රථයකටම රුපියල් 50ක මුදලක් මෙන්ම ත්‍රිරෝද රථයකට රුපියල් විස්සක මුදලක් අය කරනා බව ගොවීහු පවසති. බොහෝ ගොවීන් ඉතා සුළු අස්වැන්නක් බස් රථයෙන් දඹුල්ල නගරයට ගෙනැවිත් නගරයේ ත්‍රිරෝද රථයකින් ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එද්දී ත්‍රිරෝද රථයේ කුලියට අමතරව තවත් රුපියල් 20ක මුදලක් මේ පෞද්ගලික ආයතනයට ගෙවීමට සිදු වී ඇතැයි ඔවුහු චෝදනා කරති.

පසුගිය ආණ්ඩු සමයේ ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර් රථ, අත්ට්‍රැක්ටර් ආදි ඇතුළු කිරීමේදී මුදල් අය කර ගැනීමකින් තොරව ගොවීන්ට ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබුණු බව ද ඔවුහු පෙන්වා දෙති.

එහෙත් ප්‍රදේශයේ අමාත්‍යවරයාගේ නියෝගය පවා නොතකා මේ මුදල් අය කර ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අවධානය යොමු කර විසඳුමක් දෙන්නැයි ගොවි සංවිධාන නියෝජිතයෝ ඉල්ලීමක් කර සිටිති.

t

o

p