විවිධ හේතූන් මත අසරණ වන සත් පුරුෂයන්ට විවිධ ස්වරූපයෙන් පිහිට වන සක්
දෙවි රජු පිළිබඳ බොහෝ කරුණු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඊට අමතරව
සත්ත්වයාගේ කුසලාකුසල කර්ම අනුව පරලොව ජීවිතය පිළිබඳ විනිශ්චය කරන තවත්
දෙවි කෙනෙකු ගැන තොරතුරු ද බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. එහෙත්, ඒ
දෙවියන් අපගේ සමාජය හඳුනාගෙන ඇත්තේ නම ඇසීමටවත් අකමැති, කුරිරු, පවිටු
පුද්ගලයකු ලෙසිනි. එබැවින් අපායට අධිපති යම රජ්ජුරුවන් වන ඔහුගේ නාමය
දේවත්වය යන වදන හා ගෑවීමටවත් නොසුදුසු, දුෂ්ට, කිළිටි, අපවිත්‍ර එකක් සේ
බොහෝ දෙනෙක් සිතති.
අප ජීවත් වන සමාජයේ වුව ද නරක”හංවඩුව” වැදුණු බොහෝ යහපත් මිනිස්සු ද
වෙති.බෞද්ධ, හින්දු ඇතුළු තවත් ආගමික මූලාශ්‍රවලින් හෙළිවන යම රජුගේ සැබෑ
තත්ත්වය ද ඊට ඉඳුරාම සමාන ය. ඒ සියලු මූලාශ්‍රවලින් පැවසෙන අන්දමට ඔහු
මෙලෝ සතුන් විසින් සිදු කරනු ලබන පින් පව් අනුව කිසියම් න්‍යායික හා
සිද්ධාන්තමය පදනමක් යටතේ ඔවුන්ගේ පරලොව ජීවිතය පිළිබඳ විනිශ්චය කරන්නකු
මිස අපාගත වන සත්ත්වයන්ට අනවශ්‍ය ලෙස කුරිරු දඬුවම් පමුණුවන්නකු ලෙස
නොවේ.හුදු මනඃකල්පිතයන් සේ යමකුට වැටහිය හැකි මේවා යල් පැන ගිය නිසරු
ආගමික මතවාද සේ ද යමකුට වැටහී යා හැක.එහෙත්,මානව විද්‍යාත්මකව බලන විට
මෙම පුරාවෘත්ත තුළ අප නොසිතන දාර්ශනික ගැඹුරක් ඇති බව පෙනෙයි.
බෞද්ධ සාහිත්‍යයට අයත් අංගුත්තර නිකායේ දේව දූත සූත්‍රයට අනුව යම රජු
ජීවත් වන්නවුන් වෙත තමන්ගේ නියෝජිතවරුන් තිදෙනකු එවයි. ඒ දේව දූතයන්
වනුයේ ඉපදීම, ජරාව හෙවත් වියපත් වීම සහ මරණයයි. මෙහි දී ‘ජරා’ යන වදන
දිරායාම, දුබලකම බව හෙවත් මහලු විය හැඳින්වීම පිණිස යෙදෙන්නකි. ඒ හැරුණු
කොට ‘ජරාව’ යන සාමාන්‍ය අරුතින් පළවන කැත, කුණු, අපිරිසිදු යන අරුත පළ
කරන්නක් නොවේ. පෙරදිග භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවට පිවිසි මහලු බව හෙවත්
වෘද්ධත්වය අඟවන ‘ජරා’ යන වදන ඉංග්‍රීසි බසෙහි දී Geritric යනුවෙන්
දක්වා තිබේ. මෙලෙස යම රජු විසින් මෙලොවට එවනු ලබන දේව දූතයන්ගේ පණිවිඩ
නොතකා පස් පව්, දස අකුසල්වල යෙදෙන්නවුන් අපායගාමී වන අතර ඔවුන්ගේ
කුසලාකුසල කර්ම අනුව යම රජු විසින් ධර්මානුකූල විනිශ්චයක් ලබා දෙන බව කථා
වත්ථු ආදී බෞද්ධ සාහිත්‍ය කෘතීන්හි සඳහන් වෙයි.
බෞද්ධ සාහිත්‍යයට අයත් අංගුත්තර නිකායට්ඨ කතාවෙහි දැක්වෙන අන්දමට එක්
කලෙක සියලු දෙව් ලොව සැප සම්පත් ලබමින් දිව්‍ය විමානයක වැඩ වෙසෙන අතර
තවත් කාලයක විමාන ප්‍රේතයකු (වේමානික ප්‍රේත) ලෙස නිරයට පිවිසෙයි. මෙහි
දී ද මෙම ‘පේත’ යන්න අප ව්‍යවහාර කරන ‘මළ පෙරේතයන්ට’ අමතරව මියගියවුන්
සඳහා ද යෙදෙන බැවින් යම රජු මළ ප්‍රේතයෙකු සේ සැලකිය යුතු නොවේ.
හින්දු දේව පුරාණෝක්තිවලට අනුව ‘යම’ යනු මෙලොව මිනිසුන් අතුරින් මිය ගිය
පළමුවැන්නා ය. ඔහුට ‘යමී’ නම් වන නිවුන් සොයුරියක් ද ඇති අතර ඇය ‘යමුනා’
ලෙසින් ද හැඳින්වෙන්නී ය. පළමුව මිය ගිය බැවින් මෙලොවින් චුත වූ යම එහි
මුල් අසුන අල්ලාගෙන පරලොව යන මිනිසුන්ගේ මතු පැවැත්ම පිළීබඳ විනිශ්චය
කිරීමේ වගකීම භාර ගත්තේය. ඔහු සිටින ලෝකය පාතාලය, රසාතලය ආදී නම්වලින් ද
හැඳින්වෙයි.
හින්දු දේව කතා ඇතුළත් පුරාණ සාහිත්‍යයේ ද (මෙහි පුරාණ යනු වෘත්තාන්ත
යන්න ය) යම පිළිබඳ බොහෝ විස්තර දක්වා ඇත. එහෙත්, ඒවායේ ද යම දෙවියකු ලෙස
විස්තර කෙරෙන අතර ඔහු දඬුවම් පමුණුවන කතාවක් ඇත්තේම නැත. පද්ම පුරාණය නම්
හින්දු දේව කතා ග්‍රන්ථයෙහි සඳහන් වන අන්දමට මිය යන සෑම කෙනෙකුම පළමුව යම
රජු හමුවේ පෙනී සිට තමන්ගේ පරලොව පැවැත්ම පිළිබඳ විනිශ්චය ඔහු වෙතින් ලබා
ගත යුතු ය. ඉනුදු පැහැදිලි වනුයේ මෙලෙස ජීවත් වන්නවුන් තමන්ගේ පරලොව
සුගතිය සහ දුගතිය තමන් විසින්ම තීරණය කරන අතර යම රජු කරනුයේ ඒ සම්බන්ධ
ධර්මානුකූල විනිශ්චයකට එළැඹීම පමණක් බව ය. හින්දු දේව කතාවන්හි යම ‘ධර්ම
රාජ’ යන නමින් හැඳින්වීමෙන් ද ඔහු නරක, දුෂ්ට, පවිටු අයකු නොවන බව මනාව
තහවුරු වෙයි.ඒ අනුව යම රජු ගේ විනිශ්චයන් ඇතැම් අධිකරණ තීන්දු මෙන්
පක්ෂපාතී වන බවක් නොපෙනෙයි.
ජීවත් වන්නවුන් විසින් සිදු කරනු ලබන සියලු පින් පව් සහිත පොතක් යම රජු
සතුව ඇතැයි අපි කුඩා කාලයේ අසා ඇත්තෙමු. එය ද හින්දු පුරාණ සාහිත්‍ය
කෘතීන් වෙතින් අප ජන සමාජය වෙත සම්ප්‍රේෂණය වන මතයකි. යම රජු සතුව පව්
පින් පොතක් පමණක් නොව එය භාරව කටයුතු කරන චිත්‍රගුප්ත නම් ලේකම්වරයකු ද
සිටින බව පුරාණ සාහිත්‍යයේ දැක්වෙයි. ඒ අනුව අපායේ යමපල්ලන්ට අමතරව උසස්
නිලතල හොබවන්නවුන් සිටින බව ද අප තේරුම් ගත යුතු ය. මෙහි දී මරණයට පත් වන
සියලුම දෙනාම යම රජු ඉදිරියට පත් කෙරෙන මොහොතේ චිත්‍රගුප්ත ඒ පින් පව්
පොතේ ඒ තැනැත්තාට හිමි පිටුව පෙරළා කියවනු ලැබේ. ඒ තැනැත්තා දෙව් ලොව
ශක්‍ර දේවේන්ද්‍රයාට භාර කරනවාද නැතහොත් තමන් සන්තකයේ රඳවා ගන්නවා ද යන්න
යම රජු නිශ්චය කරනුයේ ඉන් පසුව ය. පැරණි භාරතීය හින්දු දේව කතාවලින් මතු
වන මෙම ‘චිත්‍රගුප්ත’ නම් තනතුර වර්තමාන සමාජ ක්‍රියාකාරකම් හමුවේ තනි
පුද්ගලයකු දරනුයේ කෙලෙස දැයි මට නම් සිතා ගන්නටවත් නොහැක.මීට අමතරව අපායේ
යම පල්ලන් සේම යම බල්ලෝ ද සේවය කරති.මෙලොවින් යමෙකු තමන් වෙතට පැමිණීමට
කල් එළඹි විට ඒ තැනැත්තා සොයා යම රජු ගේ යම බල්ලෝ මෙලොවට එති.උන්
දැකීමෙන් බියපත් වන මනු ලොව බල්ලන් උඩු බිරීමට පටන් ගන්නා අතර බල්ලන්ගේ
උඩු බිරීම ඒ ආසන්නයේ යමකුගේ මරණයක් හඟවන්නක් බවට විශ්වාසයක් පැතිර
පවතින්නේ ඒ අනුව ය.එමෙන්ම බස්සන්,කණ කොකුන් ආදී පක්ෂින් ද යම රජුගේ
දූතයන් ලෙස හඳුන්වනු ලැබේ.
යම රජුයේ ශරීරය නිල් පැහැයෙන් යුතු බවත් ඔහු රතු පැහැති වස්ත්‍රාභරණ
පළඳින බවත් මීහරකෙකු පිට ගමන් ගන්නා බවත් හින්දු දේව කතාවල සඳහන් වෙයි.
ඇතැම් තැනක මේ මීහරකා අලියෙකු ලෙස ද දක්වා තිබේ. යම රජුගේ එක් අතක
යුක්තිය පදනම් කරගත් බලය හැඟවෙන වජ්‍රයක් හෙවත් සෙංකෝලයකි. අනෙක් අතේ
දඬුවම සංකේතනය කෙරෙන මුගුරක් නැතහොත් වේවැලකි. මේ සියලු තත්ත්වයන් යටතේ
වුව යම කෙතරම් කාරුණික දෙවියකු ද යත් අප රටේ ප්‍රමුඛතම දෙවියකු වන සමන්
දේව ඇදහීම හා මෙම යම රජු අතර කිසියම් සබැඳියාවක් ඇතැයි මහාචාර්ය සෙනරත්
පරණවිතාන සූරීහු තම The Gog of Adam`s Peak කෘතිය මගින් පෙන්වා දෙති.
පන්සිය පනස් ජාතක පාලි ග්‍රන්ථයේ භූරිදත්ත ජාතකය හා සම්බන්ධ කතාවක එන
‘යමෝ’ යන වදන ජාතක පොත සිංහලයට පරිවර්තනය කළ කුරුණෑගල යුගයේ දී ‘සුමන
සමන් දිව්‍ය රජ්ජුරුවෝ’ ද යන්න යෙදීම ඒ සඳහා වන නිදසුනක් ලෙස දක්වන
පරණවිතාන සූරීන් භාරතීය නාට්‍ය ශාස්ත්‍රයේ එන නව නළු රස අතුරින් ශෝකය,
දයානුකම්පාව හා සම්බන්ධ ‘කරුණ රසය’ ට අධිගෘහිත දෙවියා ලෙස යම දක්වා තිබීම
ඔහුගේ කාරුණික බව හඟවන කදිම නිදසුනක් සේ දක්වති. රසවාහිනී සඟරාවේ 1970
මාර්තු කලාපය සඳහා ‘සිරිපා පුරාණය’ ලෙසින් ඉදිරිපත් කළ ලිපියක් මගින් ද
එම විස්තර දක්වා තිබේ. සිරිපා ගමනේ දී නිතර පැවසෙන ‘කරුණාවයි’ යන වදන ඒ
ඉසව්වේ ඇති ‘ධර්ම රාජ ගල’ ආදී ස්ථාන මගින් ද මෙම මතය තහවුරු කළ හැකි බව
පරණවිතාන සූරීහු වැඩිදුරටත් පෙන්වා දෙති. ඒ යම රජු නරක, දුෂ්ට, නපුරු,
හිංසාකාරී යන අප සමාජයේ පවත්නා දුර්මතයට මරු පහරක් එල්ල කරමිනි.මේ සියළු
කරුණු සළකා බලන විට මතු පිටින් ශක්‍ර වෙස් ගන්නා නපුරු,පවිටු දුෂ්ඨ
“යමයන්” ඇත්තේ අපායේ නොව අප සමාජය තුළම බව අකැමැත්තෙන් වුව පිළිගැනීමට ද
අපට සිදුවනු ඇත.
තිලක් සේනාසිංහ