ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගනිමු – පැෆරල්

January 13, 2021



2020 ඡන්දහිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් ඔබට පරීක්ෂා කල හැකියැයි පැපරල් සංවිධානය නිවේදනය කරයි. එම නිවේදනයේ මෙසේද සදහන්වේ.

එසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ නම ඇතුළත්වී නොමැති නම් හෝ අදාල නොවන වෙනත් කොටස් නමට ඇතුළත්වී ඇත්නම් තහවුරු කල හැකි ලේඛන වල පිටපත්ද සහිතව අදාල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමෙන් එම අඩුපාඩුව නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම අදාල ලේඛනයේ ඡන්දහිමියෙකු ලෙස ඇතුළත් වීමට සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින්ගේ නම් ඇතුලත්ව ඇත්නම් ඒ පිළිබඳවද විරෝධතා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

යම් කිසි හේතුවක් නිසා මෙතෙක් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ ආකෘති පත‍්‍රය (BC Form) සම්පූර්ණ කර භාරදීමට නොහැකි වුයේ නම් 2021 ජනවාරි 19 දක්වා කාලය තුල සම්පූර්ණ කරන ලද හිමිකම් ඉල්ලුම් පත‍්‍රයක් අදාල දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදීමට කටයුතු කරන්න.

අදාල පෝරම ග‍්‍රාම නිලධාරී කාර්යාල, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල වලින් ලබාගත හැකිය. ඡුන්ද හිමියෙකු ලෙස ඔබගේ නම ඇතුළත් කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය බැවින් වහාම ක‍්‍රියාත්මක වන්න.

සුදුසුකම් සහිත සියල්ලන් ඇතුලත් ඡන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීම මැතිවරණ දෙපාර්තමේන්තුවට පමණක් අයත් කාර්යයක් නොවන බව තරයේ විශ්වාස කරන අප ඒ සඳහා ක‍්‍රියාකාරී සහයෝගය ලබාදීම දේශපාලන පක්ෂ වල මෙන්ම පුරවැසි ඔබගේද යුතුකමක් මෙන්ම වගකීමක් බව අවධාරණය කරමු.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍ය, ඡන්ද බලය හරහා ක‍්‍රියාත්මක කිරීමට ලැබෙන මෙම මහඟු අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි විය යුතු අතර ඡන්දයක් ආසන්නයේ හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවලදී ඡන්ද හිමිනාම ලේඛනයේ ඔබේ නම නොමැති බවට මැසිවිලි නැගීමෙන් කිසිදු පලක් නොවන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඊට අමතරව ඔබට සහය වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මගින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති අතර 2021.01.19 දිනට ප‍්‍රථම රාජකාරී දිනවල රාජකාරී වේලාවන් තුළ පහත අංක අමතා කරනා විමසීම් මගින් ඡන්දහිමි නාමලේඛනයට නම ඇතුලත් කරගැනීම සඳහා හිමිකම් ඉල්ලීමක් සිදුකල හැකිය.

011 2860031
011 2860032
011 2860034

t

o

p