දුම්බර ගොවීන්ට දෑකැති මවා දුන් යහන්ගලේ මුත්තා

January 8, 2021

දුම්බර කඳු වළල්ලේ වෙලන්ගොල්ල පතන කෙළවර ඇති යහන්ගල නම් පර්වතය වර්තමානයේ වඩාත් ප්‍රචලිත ය. ඒ රාවණා රජුගේ සොහොන ඇති ස්ථානය වශයෙනි. ඒ අතර මීට දස වසරකට පමණ පෙර හසලක ප්‍රදේශයේ ජන විශ්වාස පිළිබඳව කරන ලද අධ්‍යයනයක දී මට දැනගන්නට ලැබුණේ එම යහන්ගල මුල් කොට ගත් ‘යහන්ගල මුත්තා’ නම් වන දෙවියකු පිළිබඳ ඇදහීමක් දුම්බර කඳුවැටිය ආශ්‍රිත ගම්මාන කිහිපයකම පවතින බවකි. ඒ අනුව මට එක්වරම හැඟී යන ලද්දේ මෙම යහන්ගල මුත්තා යනුවෙන් හැඳින්වෙන දෙවියන් රාවණා රජුම විය යුතු බව ය. නමුදු එම යහන්ගල සහ රාවණා රජු අතර ඇති සබැඳියාවක් පිළිබඳ ජනප්‍රවාද එම ප්‍රදේශවලින් මතුකර ගැනීම උගහට ය.

මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩගල දෙබොක්ක සහ පල්ලේගල දෙබොක්ක නම් ගම්මාන දෙකක් තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම දුෂ්කර ගම්මාන අතරට ගැනෙන මෙම උඩගල දෙබොක්ක නම් ගම්මානයට යනු පිණිස හසලක, පමුණුපුර, මීගහමඩ ඔස්සේ වාහනයකින් පැමිණ පල්ලේගල දෙබොක්කේ සිට දුම්බර වන පෙත මැදින් කිලෝ මීටර් හයක් පමණ පා ගමනින් යා යුතු වෙයි. කිසිදු මාර්ග පහසුවක් නොමැති මහ වනය මැදින් පිහිටි දුෂ්කර මංපෙත ඔස්සේ ගල් මුල් උඩින් පැන යා යුතු මේ ගමනේ දී වැස්සකට මුවා වීමට වත් තැනක් නොමැත. මෙම දුෂ්කර මාර්ගය ඔස්සේ උඩගල දෙබොක්කට ළංවීමේදී කූඩළු ප්‍රහාරවලට අනිවාර්යයෙන් ලක්විය යුතු ය. ඒ අතර මෙහි වඩාත් බිහිසුණු තත්වයක් වනුයේ රාත්‍රී කාලයේ දී මෙන්ම දිවා කාලයේදී ද මෙම කටුක ගමන් මඟ හරහා වන අලින් රංචු පිටින් ගමන් කිරීම ය.

“ඔය යහන්ගල මුත්තා ගේ කතා තියෙන්නේ පල්ලේගල දෙබොක්ක ගම ආශ්‍රිතවයි. ඒ හින්දා උඩගල දෙබොක්කට යන එකේ තේරුමක් නැහැ” උඩගල දෙබොක්ක ග්‍රාම නිලධාරී ආර්. කේ. කහවත්ත මහතා කීය. මේ වන විට තම වසමට අමතරව පල්ලේගල දෙබොක්කේ ද වැඩබලන ග්‍රාම නිලධාරී වශයෙන් කටයුතු කරන ඔහු පැවසූ අන්දමට අද වන විට උඩගල දෙබොක්ක ග්‍රාම නිලධාරී වසමේ පවුල් තිස් පහක් ද පල්ලේගල දෙබොක්ක වසමේ පවුල් එකසිය විසි හතක් ද දිවි ගෙවති.

මෙම ගම්මානවල ජනගහණය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම මත මෙම යහන්ගල මුත්තා පිළිබඳ පුරාවෘත්ත ද අද වන විට අතුරුදන් වෙමින් තිබේ. මානව හා සමාජ විද්‍යාත්මක වශයෙන් සුවිශේෂ වටිනාකම් සහිත ඒවා සංරක්ෂණය කිරීමට මෙතෙක් කිසිවකුත් ඉදිරිපත් නොවීම වෙනම ඛේදවාචකයකි. එනිසාම අපගේ මෙම අරමුණ පැහැදිලි කළ සැනින් මිනිපේ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. කේ. එස්. බී. දිසානායක මහතා අපට බෙහෙවින් අනුග්‍රහශීලී වූ බව ද මෙහි සටහන් කොට තැබිය යුතු ය.

පමුණුපුර, උඩත්තව විශ්‍රාමික ගොවි නියාමකයකු වන වයි. එම්. ඩබ්ලියු. පී. දිසානායක මහතා මෙම යහන්ගල මුත්තා දෙවියන් සම්බන්ධ වෘත්තාන්තය පිළිබඳව බොහෝ තොරතුරු දත් අයෙකි. ඔහු අප හමුවේ අනාවරණය කළ එම දිගු විස්තරයේ සාරාංශය මෙලෙසිනි.

“ඉස්සර බින්තැන්නේ ජීවත් වුණු වැදි පරපුරේ අයෝමය පුරුෂයෙක් මහවැලි ගං ඉවුරේ මීපැණි සොයාගෙන යන අතරේ හීන් ගඟ කියන අතු ගංගාවේ ඉවුර දිගේ ලකේගලට ඇවිත් තියනවා. ඒ කාලේ ‘රාසිංදෙවියෝ’ කියලා හඳුන්වපු රජ කෙනෙකුගේ මාලිගාවක් ලකේගල තිබුණලු. මේ වැද්දා එන දවසේ රජතුමාගේ දේවීන්නාන්සේ ගේ අතේ තිබුණු වෙද මහත්වරුන්ට සනීප කරන්න බැරි ගෙඩියක් සනීප කරන්න ලොකු ශාන්ති කර්මයක් කරලා තියනවා. කොහොම හරි එදා රෑ රජවාසල කිට්ටුව තිබූ ගහක බෙනයක් ඇතුලේ රෑ ගත කරමින් හිටපු වැද්දා අර තොවිල් බෙර සද්දෙට ආවේශ වෙලා නටන්න පටන් අරන්. පස්සේ රජ තුමාට මේක දැන ගන්න ලැබිලා ඒ වැද්දාව රජවාසලට ගෙන්වා ගෙන කාරණේ ඇහුවම ඔබ වහන්සේ ගේ දේවීන් වහන්සේ ගේ ඔය ගෙඩිය සුව කරන්න මේ ලකේගල කැලේ තියන කළු නිකවලට පුළුවන් කියලා ආවේශයෙන්ම කිව්වලු; එතකොට රජ්ජුරුවෝ කොහොමද ඒවා හොයා ගන්නේ කියලා අහනකොට තමයි වැද්දා කියලා තියෙන්නේ ඔබ වහන්සේගේ මඟුල් ඇතා සරසලා දෙනවා නම් මම ම ගිහින් කළුනික හොයා ගෙන එන්නම් කියලා; කොහොම හරි ඉතින් රජතුමා වැද්දගේ ඒ ඉල්ලීමට එකඟ වෙලා වැද්දත් කළුනික හොයාගෙන ඇවිත් බිසවගෙ ඒ ගෙඩිය සුවපත් කළා කියමුකෝ. ඒකෙන් සතුටු වෙච්ච රජතුමා ඒ වැද්දට රත්තරන් දුන්නකුයි, නළල් පටියකුයි එක්ක මුදියන්සේ තනතුරකුත් ප්‍රදානය කරලා තියනවා. පස්සේ වැද්දා තමන් ගේ මල්ලිලා දෙන්නයි නංගිවයි ලකේගල රාජධානියට කැඳවාගෙන ඇවිත් ඒ අයටත් නම්බු නාම අරන් දීලා තියනවා”.

දිසානායක මහතා කී අන්දමට එලෙස රජතුමා ගෙන් නම්බුනාම ගත් ආදී වාසියා රන්දුනු මුදියන්සේ ලෙසත් ඔහුගේ සොයුරන් දෙදෙනා යහන්ගල මුදියන්සේ සහ මාරක මුදියන්සේ ලෙසත් ප්‍රසිද්ධ වී තිබේ. එමෙන්ම යහන්ගලේ මුත්තා ලෙස පසුව දේවත්වයට පත්ව ඇත්තේ මෙම යහන්ගල මුදියන්සේ වන අතර රන්දුනු මුදියන්සේ, යහන්ගල මුදියන්සේ සහ මාරක මුදියන්සේ යන පෙළපත් නම් සහිත පාරම්පරික වැසියෝ තවමත් ලකේගල අවට ප්‍රදේශ වල ජීවත් වෙති. ඔහු වැඩිදුරටත් කී අන්දමට යහන්ගල මුදියන්සේලාගේ යන පෙළපත් නාමය සහිත තමන් ද යහන්ගල මුත්තා ගේ පරපුරෙන් පැවැත එන අයෙකි.

ජනප්‍රවාද වල එන අන්දමට මෙම යහන්ගල මුත්තාට යහන්ගල මුදියන්සේ නම පටබැඳී ඇත්තේ රජතුමා විසින් ඔහුට එම යහන්ගල ප්‍රදේශය ආශ්‍රිත ගම්වරය නින්දගමක් සේ ප්‍රදානය කොට තිබූ බැවිනි. ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් පළ කළ යහන්ගල මුත්තා ප්‍රදේශයේ වී ගොවිතැන් කළ ගොවීන්ට විශේෂ අනුග්‍රහ දැක්වූ ප්‍රභූවරයකු ලෙස ද සැලකෙන්නට ඇත. එනිසාම මරණින් පසු ඔහුට දේවත්වයක් ආරෝපණය කළ ගොවි ජනයා තම ගොවිතැන් සේම බව බෝග රැක ගැනීම සම්බන්ධයෙන් යහන්ගලේ මුත්තාට පූජා සත්කාර කළ බව වැසියෝ කියති. “ඉස්සර මේ උඩත්තව ගමේ කුඹුරු කරපු මිනිස්සු ගොයම් කපා ගන්න දෑකැති හිඟයක් ඇතිවෙලා ඔය යහන්ගලේ තියන යහන්ගල මුත්තා ගේ ගුහාවට ගිහින් බුලත් එහෙම තියලා මුත්තාට කන්නලව් කරලා තියනවා; පස්සේ බලනකොට ඒ කියපු බුලත් කොළ ගාණට ගුහාව ඇතුලේ දෑකැති තිබිලා තියනවා. ඒවා යහන්ගල මුත්තා දේවානුභාවයෙන් මවපු ඒවා කියලයි ජනප්‍රවාද වල සඳහන් වෙන්නේ”.

විශ්‍රාමික ගොවි නියාමක දිසානායක මහතා ප්‍රදේශයේ පැවැති පැරණි ජනප්‍රවාදයක් එලෙස අප හමුවේ ගෙන හැර දැක්වීය. කෙසේ හෝ එසේ දෑකැති ලබාගත් උඩත්තව ගැමියන් ගොයම් කපා අවසන ඒවා නැවත අඩුක්කු ද සමඟ යහන්ගලේ මුත්තා ගේ ගල්ලෙන තුළම තැන්පත් කළ බවත් පසු කලෙක එක් ගොවියකු එසේ තමන් ලබා ගත් දෑකැත්තක් ආපසු ලබාදීම මඟ හැරීම මත යහන්ගලේ මුත්තා ද තම දෑකැති ප්‍රදානය නතර කළ බවත් දිසානායක මහතා කීය.

කෙසේ නමුදු අද වන විට කන්දේ දෙවියන් යන ගලේ බණ්ඩාර දෙවියන් ආදී ලෙසින් හැඳින්වෙන දේවත්වයන් තුළට අන්තර්ග්‍රහණය වීම මත යහන්ගලේ මුත්තා දේව විශ්වාසය පිළිබඳ අනන්‍ය තොරතුරු සපයා ගැනීම දුෂ්කර වී තිබේ.

තිලක් සේනාසිංහ

t

o

p