ශ්‍රී ලාංකිකයන්ගේ ගිණුම් හැක් කොට මුදල් කොල්ලකෑ නයිජිරියානුවන් පිරිසක් සි.අයි.ඩි යෙන් අල්ලයි

January 8, 2021

නයිජිරියානු ජාතිකයින් විසින් මෙරට සිට ශ්‍රීලාංකිකයන් රවටා මුදල් කොල්ල කෑමේ ව්‍යාපාරයක නිරතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එවැනි සිදුවීමක් ඊයේ (07) දිනයේත් වාර්තා වූ බවත් මීට පෙරද කාන්තාවකගෙන් රුපියල් කෝටි 3 ක් වංචා කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කෝටි 3 වංචාවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් ඊයේ සිදුවීමට අදාළ ප්‍රද්ගලයින්ද අත්අඩංගුවට ගත් බවත් ඔහු සදහන් කළේය.

මොරටුව පදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ප්‍රංශයේ ජිවත් වන ශ්‍රිලාංකිකයකුට සේවාවක් සපයා දී ඇති අතර ඊට ලැබිය යුතු රුපියල් ලක්ෂ 9 ක මුදල ඉල්ලා මොහු ඊමේල් පණිඩුඩයක් යවා ඇත. එම ඊමේල් පණිවුඩය හැක් කොට ඇති නයිජිරියානු ජාතිකයා විසින් ගෘහ නිර්මාණ ශිල්පියා යැවු බැංකු ගිණුම වෙනුවට මොහුගේ බැංකු ගිණුමක අංකයක් ඊට ඇතුළත් කොට ඇත.

ප්‍රංශයේ පදිංචි ලාංකිකයා විසින් නයිජිරියානු ජාතිකයා විසින් ගිණුම ආක්‍රමණය කොට ලබාදුන් බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 3 ක මුදලක් බැර කර තිබේ. එම ගිණුම ගෘහ නිර්මාණ ශිල්පියාගේ නොවන බැවින් තමන්ට මුදල් ලැබි නැතැයි ප්‍රංශයෙන් ලද ඇමතුමට ඔහු පවසා ඇත. පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත කළ විමර්ශණයේදි නයිජිරියානු ජාතිකයෙකු හා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සි.අයි.ඩි ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ පදිංචි 35 හැවිරිදි නයිජිරියානු ජාතිකයෙකු ද ඔහුට ගිණුම් දෙකක් සාදා දුන් වැල්ලම්පිටියේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු හා මරදාන පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. නයිජිරියානු ජාතිකයා පදිංචි නිවස පරික්ෂා කිරීමේදි බැංකු පාස්පොත් 18 ක්, ඒ.ටි.එම් කාඩ් 29 ක්, ලැපිටොප් පරිගණකයක්, දුරකතන 12 ක්, ලංකවේ විවිධ පුද්ගලයින්ගේ නමින් සකස් කළ ව්‍යාජ හදුනුම්පත් 22 ක් මොහු සන්තකයේ තිබි සොයා ගෙන තිබේ.

නයිජිරියානුවන් විසින් මෙලෙස විද්‍යුත් ලිපියනයන් ආක්‍රමණය කොට මුදල් වංචා කිරිමේ ක්‍රියාවල නිරතව සිටින බැවින් අන්තර්ජාලය හරහා ගණුදෙනු කරන්නේ නම් පරිස්සම් වන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි. සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත.

t

o

p