ස්වාධීන රූපවාහිනී සේවය 2016 සිට පාඩු ලබන ආයතනයක්. – ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

January 6, 2021

ස්වාධීන රූපවාහිනී සේවය 2016 සිට පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

අදාල ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මෙසේ අදහස් දැක්වීය. ස්වාධින රූපවාහිනී සේවයේ 2010 වසරේ සමස්ත ලාභය මිලියන 495.32ක් වූ අතර  2011 වසරේදී සමස්ත ලාභය 682කි. 2012 වසරේ ලාභය මිලියන 789 වූ අතර 2014 වසරේදී එය මිලියන 847.24ක් විය. 2015 දී ලාභය මිලියන 638ක් වූ නමුත් 2016 සිට පාඩුව මිලියන 69ක්, 2017 පාඩුව මිලියන 287.25ක් ,2018 වසරේ පාඩුව මිලියන 622ක් සහ 2019 වසරේ සමස්ත පාඩුව මිලියන 597 විය. 2020 වසරේ පාඩුව මිලියන 320කි.

2015 සිට මේ දක්වා ස්වාධීන රූපවාහිනී සේවය සඳහා සේවක සංඛ්‍යාව 139 දෙනෙක් බඳවාගෙන ඇති බවත් ඔවුන්ගේ නම්, ලිපිනයන් සහ අධ්‍යාපන සුදුදුකම් සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ස්වාධින රූපවාහිනී සේවයේ සේවයේ යෙදී සිටියදී විවිධ අක්‍රමිකතා සඳහා චෝදනාවන්ට ලක් වූවන්ට රටේ පවතින නීතිය අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ස්වාධින රූපවාහිනී සේවය 2015 අග වන විට මිලියන 800ක ලාභයක් ලැබූ ආයතනයක් වූ අතර එහි ස්ථිර තැන්පතු බිලියන 2.7ක් තිබූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා මිලියන 800ක වියදමින් මැදිරි සංකීර්ණ 02ක් ඉදිකර ඇති අතර 2014 අග වන විට ලක්ෂයකට ආසන්න පාරිතෝෂික දීමනාවන් 694 දෙනෙකුට ලබා දීමට හැකි වූ බවද සඳහන් කලේය. නමුත් අවාසනාවට මේ වන විට ස්වාධින රූපවාහිනී සේවයේ ණය ප්‍රමාණය පමණක් මිලියනය 500කි. පසුගිය අවුරුදු 05 තුළම එහි කටයුතු පවත්වා ගැනීමට භාණ්ඩාගාරයෙන් මුදල් ගැනීමට සිදුව තිබේ. ඒ කාලය තුළ උපදේශකවරුන් 13දෙනෙක් හා සභාපතිවරු 07 දෙනෙක් පත්කොට තිබේ.

නමුත් මේ වනවිට ස්වාධීන රූපවාහිනී සේවය නිදහස් මාධ්‍ය කලාවක් ඇති කිරීමට පියවර ගෙන ඇතිබවත් ඒ සඳහා විවිධ වාර්තා වැඩසටහන් විවාද වැඩසටහන් ආදියට සහභාගී වීමට දේශපාලන පක්ෂ භේදයකින් තොරව සම්පත් දායකයන්ට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

t

o

p