ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය අය සොයා ගන්න මහජන සහාය පතයි

January 1, 2021

පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් පස් දෙනා අතරින් එක් අයෙකු සොයා ගත්ත ද ඉතිරි හතර දෙනා තවමත් සොයා ගැනීමට අපොහොසත්ව ඇති බැවින් ඔවුන් සොයා ගැනීමට ජනතා සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පළාගිය පුද්ගලයන් පිළිබද යම් තොරතුරක් වේ නම් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ගේ 0718591233 දරන දුරකතන අංකයට හෝ ලගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පළාගිය සැකකරුවන් සමාජයේ ගැවසීම භයානක තත්ත්වයක් බවත් මොවුන් කොවිඩ් රෝගීන් බැවින් ඔවුන්ගෙන් තවත් කොවිඩ් පොකුරු අනුපොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු සදහන් කළේය. එම නිසා ඔවුන් ඉන්නා තැනක් දන්නේ නම් ආරක්ෂක අංශ දැනුම්වත් කොට ඔවුනට බාර දෙන ලෙස මෙම සැකකරුවන්ගේ ඥාතීන්ගෙන් හා හිත මිතුරන්ගෙන් ඉල්ලා සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මීගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ් ආසාදිතව මොවුන් ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර සිටිය දී ඊයේ (31) අලුයම මේ පිරිස පළා ගොස් තිබේ. ඉන් එක් අයෙකු හලාවත මාදම්පේ ප්‍රදේශයේදි අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. මොවුන් පොළොන්නරුවේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ ඇති බව වාර්තා වේ. පළාගිය සැකකරුවන් අවුරුදු 52, 32,23, 22 හා 27 යන වයස් කාණ්ඩවල පුද්ගලයින්ය.

t

o

p