ධම්මික පැණියට අනුමැතිය ලැබුණු කතාව බොරුවක්! ආයුර්වේද වෛද්‍යවරු කණස්සල්ලෙන්

December 24, 2020



කෑගල්ලේ , ධම්මික බණ්ඩාර නැමැත්තා කාලි ආරූඪයෙන් සොයාගත් බව කියන කොරෝනා
මර්දන පැණියට තවමත් ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ අනුමැතියක් ලබාදී නොමැති බව
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමය වෙනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වන එහි සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරන මහතා පවසන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මඟින් මෙම පැණිය සඳහා අනුමැතිය
ලබාදී  ඇත්තේ වැඩිදුර පර්යේෂණ සදහා පමණක් බව ය. එමෙන්ම ඒ බව දේශීය වෛද්‍ය
අමාත්‍යාංශයේ ලේකම්වරිය ද  සනාථ කළ බව ද ඔහු පවසයි.


දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ නව ඖෂධයක් සොයාගත් විට ඒ සම්බන්ධයෙන් අනුමැතිය
ලබාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආයුර්වේද කොමසාරිස්වරයාගේ
ප්‍රධානත්වයෙන් සූත්‍ර කමිටුවක් පිහිටුවා තිබේ.


මසකට වරක් රැස්වන එම කමිටුව නව දේශීය ඖෂධ සම්බන්ධයෙන් තීන්දු තීරණ
ගැනීමෙන් අනතුරුව ඒවා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරනු ලැබේ. ඒ එම ඖෂධවල ඇති ආයුර්වේදීය සිද්ධාන්තමය පක්ෂය සහ දේශීය ඖෂධ සම්බන්ධයෙන් සිදු කෙරෙන ද්‍රව්‍ය ගුණ විඥානාත්මක විශ්ලේෂණ ආදී අදියර කිහිපයකින් පසුව ය.

නමුදු ධම්මික බණ්ඩාර නමැත්තාගේ පැණිය සම්බන්ධයෙන් තවමත් එවන් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති නිසා එය ඖෂධයක් ලෙස  නිර්දේශ කිරීමට දේශීය වෛද්‍යවරුන්ට  කිසිදු හැකියාවක් නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය  අවධාරණය කරයි.


නමුත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතියක් ලබාදී ඇති බව පසුගිය 22 දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටීම අදාල ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක් ව තිබේ.


සාමාන්‍යයෙන් කැබිනට් ප්‍රකාශක වරයාගේ ගේ කාර්යය වන්නේ කැබිනට් තීරණ දැනුම් පමණක් වන මුත් එම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රුමේෂ් පතිරණ දැනුම් දෙන්නේ ආයුර්වේද  සූත්‍ර කමිටුවේ තීරණයකි. එනම් ධම්මික පැණියට ආයුර්වේද සූත්‍ර කමිටුවේ
අනුමැතියක් ලැබුණු බවයි යනුවෙන් ප්‍රකාශ කළේය. ආයුර්වේද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලට අනුව මෙම සූත්‍ර කමිටුව අවසන් වරට රැස් වන ලද්දේ පසුගිය21 වැනි දා  පස්වරුවේ දී ය.  සාමාන්‍ය ක්‍රියා
පටිපාටිය අනුව එම කමිටුව විසින් ගනු ලබන තීරණ වාර්තා ගත කොට ඊළඟ කමිටු රැස්වීමේදී අනුමත විය යුතු ය. ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියා මාර්ග ගැනෙනුයේ ඉන් පසුව ය.

එහෙත්, එම සම්මත ක්‍රමවේදයෙන් බැහැරව සූත්‍ර කමිටුවේ එම තීරණය රජය  මෙලෙස හදිසියේම කැබිනට් ප්‍රකාශක අතට පත් කොට ඇත්තේ  සියළු සම්මත ආයතනික ක්‍රමවේදයන් ඉක්මවා නීතිමය අවශ්‍යතා ද උල්ලංඝනය  කොට මෙම පැණිය හැකි ඉක්මනින් සමාජ  කරලියට ගෙන ඒමේ අරමුණින් බව ආයුර්වේද ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියති. සූත්‍ර කමිටු තීරණය පිළිබඳ  ඇමති වරයාගේ  ප්‍රකාශය වැරදි නොවූව ද කැබිනට් තීරණ දැනුම් දීමක දී කීමට තරම් වැදගත් කමක් නොතිබූ
එය  ධම්මික පැණිය අනුමත වූ බව අඟවන  සාවද්‍ය සිරස්තල සහ විස්තර  සහිතව බොහෝ ජන මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන ලදී. එය ජන සමාජයට අතිශය අහිතකර බලපෑමක් එල්ල කරන පුවතක් බවද ආයුර්වේද ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කියති.

නිසංසලා ජයමාන්න

t

o

p