උත්සව සමයේ දින දෙක මෙහෙයුමෙන් බීමත් රියදුරන් 113 ක් දැලේ

December 22, 2020

උත්සව සමය වෙනුවෙන් පොලිස් විශේෂ මෙහෙයුම් දෙසැම්බර් 20 දා සිට ජනවාරි 05 දා දක්වා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මෙම මෙහෙයුම සදහා රථවාහන පොලිස් නිලධාරින් 9000 ක් යොදවා ඇති බවත් ඉකුත් පැය 24 ක කාලය තුළ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් රිය අනතුරු 60 ක් වාර්තා වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. එම රිය අනතුරුවරලින් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු මියගොස් ඇති බවද ඔහු සදහන් කළේය.

රථවාහන පොලිස් නිලධාරින් කළ මෙහෙයුම්වලින් බීමත් රියදුරන් 113 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් භාරයේ තිබු වාහන 113 ක් ද පොලිස් භාරයට ගෙන ඇත. එම වාහන අතරින් වැඩිම ප්‍රමාණයක් යතුරු පැදි වන අතර එය 73 කි. ත්‍රිරෝද රථ 26 ක්, ලොරි 5 ක්, බස් රථ ඇතුළු තවත් වාහන ඒ අතර වන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

ඊට අමතරව රථවාහන වැරදි වෙනුවෙන් නඩු 1815 ක් පැවරූ බවත් ඉතිරි සති 2 ක තුළ ද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරනා බවද ඔහු සදහන් කළේය. මෙම මෙහෙයුම්වල අරමුණ ජනතාව අත් අඩංගුවට ගැනීම හෝ දඩ ගැසීම නොව මාර්ග ආරක්ෂාව තහවුරු කිරිම යැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

t

o

p