සැබෑම “රෙස්පෙක්ටබල්” සර් කෙනෙක්!

December 15, 2020

ලක් පොළොවට තෙතමනයත්,සිසිලසත්,මිහිතලයේ රැකවරණයත්  ඔස්සේ මිනිසුන්,සතුන්
සීපාවුන් ඇතුළු සකල විධ ජීවී ප්‍රජාවේ මතු පැවැත්මට මහඟු පිටිවහලක් වූ,
05/2001 චක්‍ර ලේඛය වත්මන් රජය විසින් අහෝසි කිරීමත් සමගම වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ පාලනයෙන් ගිලිහෙන කැලෑ ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ හතකි.

එම මාහැඟි වනපෙත් නිසරු මුඩු ඉඩම් බවට පත් කොට ඒවායේ සාරය උරා බී ජීවය උකහා
ගැනීම පිණිස විදේශිකයන් අතට පත් කිරීමේ පිඹුරු පත් දැන් සැකසී හමාර  ය.
මිහි මව ප්‍රසිද්ධියේ දූෂණය වීමට ඉඩ හැරීමක් බඳු වූ මෙම බිහිසුණු
ක්‍රියාවේ ඛේදනීය ප්‍රතිඵල හෙට අපට දක්නට හැකි වනු නිසැක ය.

චිරාත් කාලයක් වන නිලධාරීන් විසින් දිවි දෙවැනි කොට රැක ගත් මාහැඟි වන
සම්පතට කුරිරු දේශපාලනික ගසා කෑමක නාමයෙන් අත්වන්නට නියමිත ඉරණම ඉවසා දරා
ගත නොහැකි සුළුතරයක් හෝ තවමත් අප රටේ සිටින බව තහවුරු කෙරෙන මෙම සිදුවීම
ගාල්ලෙනි.

ගාල්ල දිසාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින්, ගාල්ල දිසාව තුළ
ඇති, 05/2001 චක්‍ර ලේඛය මඟින් ගිලිහෙන අවශේෂ වනාන්තර වල ලයිස්තුවක්
ඉල්ලා සිටි අවස්ථාවේ, ගාල්ල දිසා වන නිලධාරී ආචාර්ය වසන්ත ලියනගේ මහතා
දී ඇත්තේ ඉතා සත්‍ය වූද,නිවැරදි වූද අභීත වූද පිළිතුරකි.

එනම් ගාල්ල දිසාව තුළ අවශේෂ වනාන්තර කිසිවක් නොමැති බවත් එහි ඇති හැම වන බිම් අඟලක්ම සුවිශේෂී වනාන්තර බවත්, ඒවා කිසිවක් දිසාපති වරුන් ඇතුළු සිවිල්
පරිපාලන නිලධාරීන් වෙත පැවරීමට සූදානමක් නැති බවත් ඔහු තිරසාර වදනින්
පවසා ඇත. ඒ පසුගිය දා පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ය.


වැඩි දුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, ගාලු දිසාවේ ඇති සෑම වනාන්තර බිම්
කඩකටම තමා වගකියන බවත්, කවර බාධක මැද වුවත් ඒවායේ සුරක්ෂිත භාවය වෙනුවෙන්
තමන් උපරිමයෙන් කැප වන බවත් ඒ උදෙසා තම නිලධාරීන් මෙහෙයවන බවත් ඔහු පවසා
ඇත. එහෙත්, තමන් ගේ කට වචනය හමුවේ චක්‍ර ලේඛ බලරහිත  වන බව ප්‍රසිද්ධියේ
කීමට තරම් නොමේරූ ළදරු පාලකයකු සිටින දේශයක මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ගේ
මතු පැවැත්ම පිළිබඳව ද සැකයක් මතු වීම වැලැක්විය නොහැක.


දමයන්ති ගමගේ

t

o

p