දේශපාලඥයන් මිස මානසික රෝගීන් “පිස්සු කෙළින්නේ” නෑ – මනෝ වෛද්‍යායතනයේ හිටපු සභාපති, විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

December 10, 2020


පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වයට හේතුව බන්ධනාගාර
රැඳවියන් යම්කිසි පෙති වර්ගයක් පානය කිරීම නිසා බවට තමන් කළ ප්‍රකාශය
සත්‍ය බවත් එම බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් නිකුත් කළ වීඩියෝ
පට නරඹන ඕනෑම මෝඩයෙකුට ඒ බව තේරුම් යා යුතු බවත් වත්මන් රජයේ ප්‍රබල
ඇමති වරයෙක් මාධ්‍යයට කීය.


ඒ සමඟම දේශපාලන ක්ෂේත්‍රයෙන් මතු වූ තවත් හෙළිදරව්වක් වූයේ එම
බන්ධනාගාර රැඳවියන් ඒ කියන බෙහෙත් පෙති ලබා ගෙන ඇත්තේ බන්ධනාගාර
ඩිස්පෙන්සරියෙන් බව ය. එමෙන්ම, ඒ පෙති මානසික රෝගීන් සඳහා දීමට නිර්දේශිත
පෙති වර්ගයක් බවට ද තවත් දේශපාලනමය හෙළිදරව්වක් සමාජ ගත විය. මෙකී නොකී
සියළු අනාවරණයන් හි අවසන් ප්‍රතිඵලය වූයේ මානසික රෝග සඳහා නිර්දේශ කරනු
ලබන ඖෂධ මඟින් රෝගී හෝ නිරෝගී පුද්ගලයන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙතැයි යන
අතිශය සාවද්‍ය, මිථ්‍යා මතය සමාජ ගත වීම ය.

මේ වැරදි සහගත මතය සමාජ ගත වීම නිසා මානසික රෝගීන් ඖෂධ භාවිතය කෙරෙහි මැලි ව ඇති අතර ඔවුන්ගේ ඥාතීන් ද රෝගීන්ට එම ඖෂධ ලබා දීම සම්බන්ධ උනන්දුව අඩු කොට ඇති බව මනෝ වෛද්‍යවරුන ට
සායනික අද්දැකීම් මඟින් තහවුරු වී තිබේ. එමෙන්ම කිනම් හෝ මානසික රෝගයක්
සඳහා ඖෂධ ලබා ගන්නා රෝගියකු කෙරෙන් ස්වභාවික ලෙස ප්‍රචණ්ඩත්වය කුළු
ගැන්වීමක දී වුව එහි වරද රෝගියා ගන්නා ඖෂධය පිට පටවා රෝගියා එම ඖෂධය
ගැනීමෙන් වැලැක්වීමට ද ඔහුගේ හෝ ඇයගේ පවුලේ ඥාතීන් කටයුතු කරනු ඇත.

ඒ සමඟම එම රෝගය සඳහා විද්‍යාත්මක ක්‍රමවේද වලින් බැහැර වූ මේ දිනවල සමාජයේ අතිශය
ජනප්‍රිය “ගොඩ වෙදකම්” කෙරෙහි රෝගියා යොමු කිරීමෙන් රෝගීන් සේම ඔවුන්ගේ
පවුලේ ඥාතීන් ද “කබලෙන් ලිපට වැටීමේ” පැහැදිලි අවදානමක්  පැන නැඟී තිබේ.
“පිස්සු කෙළීම” සහ “පිස්සු කෙළිනවා” යන වදන් අප සමාජයේ නිතර භාවිතා
කෙරෙයි.

එහෙත්, ලොව කිසිදු මනෝ වෛද්‍ය වරයෙක් කිසිදු මානසික රෝගියකුගේ
විෂම, අසාමාන්‍ය කතා බහක් හෝ හැසිරීමක් පිස්සු කෙළීමක් සේ නොහඳුන්වයි. ඊට
හේතුව එක් එක් මානසික රෝගය මුල් කොට ගත් පුද්ගල සිතුම් පැතුම්, කතා බහ සහ
හැසිරීම් විෂමතා පිළිබඳ විද්‍යාත්මක දැනුමක් සහ සායනික අද්දැකීම් සෑම මනෝ
වෛද්‍ය වරයකු සතුවම ඇති බැවිනි. නිදසුනක් ලෙස යම් පුද්ගලයකු තමන් ඇමරිකානු
ජනාධිපතිටත් වඩා ප්‍රබලයකු බව කියමින් උද්දාමයෙන් කටයුතු කරන අතරේ තවත්
පුද්ගලයකු ඇමරිකානු සී.අයි. ඒ රහස් ඔත්තු සේවය තමන් පසුපස ලුහුබඳින බවක්
පවසමින් සිය නිවෙස තුළම සැඟවී සිටීමට පුළුවන. මේ සිතුවිලි දෙකම අසාමාන්‍ය
හා වැරදි සහගත වුව ද, රෝග ලක්ෂණ වශයෙන් බැලූ බැල්මට එක සමාන වුව ද ඒ රෝග
ලක්ෂණ ඔස්සේ සායනික වශයෙන් වැඩිදුර විමසුම් කරන මනෝ වෛද්‍ය වරුන්ට ඒවා
එකි නෙකට වෙනස් රෝග මූල මත පදනම් වන රෝග ලක්ෂණ බව පහසුවෙන් හඳුනා ගැනීමට
පුළුවන. ඉන් හැඟවෙනුයේ එම මානසික රෝග ලක්ෂණ කිසියම් ප්‍රමිතියකින් යුතු
බව ය.


මානසික ආබාධ සහ රෝග විනිශ්චයන් පිළිබඳ සංඛ්‍යානමය අත්පොත 5 වෙළුම [DSM 5] සහ
රෝග පිළිබඳ ජාත්‍යන්තර සංඛ්‍යාන වර්ගීකරණය [ICD 10] වැනි ලොව පිළිගත් වෛද්‍ය
සංග්‍රහයන්හි මේ සෑම රෝගයක්ම එහි රෝග අදාල මූලයන් ද සමඟ සංකේත අංක
සහිතවම විස්තර කොට ඇති පසුබිමක මානසික රෝගීන්ගේ කථන සහ චර්යාත්මක විෂමතා
කෙසේ නම්”පිස්සු කෙළීම්” වශයෙන් පහතට ඇද දැමිය හැකිද? එමෙන්ම මෙම සියළු
කථන සහ චර්යාත්මක විෂමතාවල උග්‍ර අන්තයන් වනුයේ රෝගියා කෙරෙන් විළි බිය
පහ වීම, ජීවිතාශාව අඩු වීම සහ රෝගියා ප්‍රචණ්ඩත්වයට යොමු වීම ය. එනිසාම
රෝගියා තුළ ඇති වන එවන් හැඟීම් , ආවේග කෙටි කාලීනව සහ දිගු කාලීනව වළක්වන
සහ පසු ගන්වන නවීන ඖෂධ සේම වෙනයම් ප්‍රතිකාර ක්‍රම වලින් ද නූතන මනෝ
වෛද්‍ය විද්‍යාව පොහොසත් ය.

එවන් පසුබිමක් තුළ මානසික රෝග සඳහා නිර්දේශ කරනු ලබන ඖෂධ භාවිතයෙන් පුද්ගලයන් ප්‍රචණ්ඩ වන බව පැවසීම නම් නිසැක ලෙසම අපගේ දේශපාලඥයන් ගේ නොම්බර එකේ “පිස්සු කෙළීමකි”. එමෙන්ම මෙවන් “පිස්සු කෙළින” දේශපාලකයන් සහිත ලෝකයේ වෙනත් රටක් පිළිබඳව සිතා ගන්නට වත් මට
නොපුළුවන.


මගේ පෞද්ගලික වැටහීම අනුව ලෝකයේ සෙසු බොහෝ රටවලට සාපේක්ෂව අප රටේ සමාජ
දේශපාලන ආර්ථිකය අතිශයින් අවිධිමත් ය, නැතහොත් කසි කබල් ය. ඒ සඳහා ඉවහල් වන
ප්‍රධාන සාධකය වනුයේ එය හැසිරවීම පිණිස ජනතා වරමින් පත් වන පුද්ගලයන්
ගෙන් බහුතරය තුළ අපේ රට සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන්
සංවර්ධනය කිරීමේ සැබෑ හැකියාවක් සේම අභිලාෂයක් නොමැති වීම ය. ඒ තත්වය යටතේ
වෙනයම් අරමුණු අභිලාෂයන් සහිත බහුතරයක් බලයේ සිටින විට සමාජයේ සෑම සියළු
අංගයක් කෙරෙහිම දේශපාලනික ආක්‍රමණය එල්ල වීම වළකා ලිය නොහැක. අප රටේ මනෝ
වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය අත පල්ලෙන් බිම හෙළමින් මහර බන්ධනාගාර සිදුවීම මුල් කොට අඥාන දේශපාලඥයන් කළ “පිස්සු කෙළීම” ඒ සඳහා වන එක් නිදසුනක් පමණි.

ඕනෑම කණ්ඩායමක් තවත් කණ්ඩායමකට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ දී
ක්ෂණයකින් එය වෙන`තකට හැරීමේ හෙවත් විස්තාපනය වීමේ පහසු හැකියාවක්
පවතී. දබරයක මැදට පනින බාහිර පාර්ශවයන් හට බොහෝ විට ඒ සඳහා එක් වන මුල්
පාර්ශවයන් දෙකෙන්ම හානි සිදු වන්නේ එබැවිනි.

ඒ හැරුණු කොට බන්ධනාගාර රැඳවියන් අතරේ පවත්නා වෙනයම් එදිරිවාදුකම් හා කෝන්තර ද මෙවන් අවස්ථාවල ඉස්මතු විය හැක. ඊටත් අමතර ව එම සිදුවීම මුල් කොට තවත් මනෝ විද්‍යාත්මක අර්ථ කථනයන් කිහිපයක්ම ඉදිරිපත් කළ හැක. එවන් පසුබිමක් යටතේ මහර
බන්ධනාගාර ගැටුමේ දී රැඳවියන් ඔවු`නොවුන් කලහකාරී ලෙස හැසීරීම පෙති
වර්ගයක් පානය කිරීම නිසා බව ඕනෑම “මෝඩයෙකුට” වැටහී යා යුතු යැයි
අත්තනෝමතික ලෙස පවසමින් “පිස්සු කෙලින” ඇමති වරයා එහි දී  තමන් හඳුන්වා
ගැනීම පිණිස වන හොඳම නිර්වචනය ද නොදැනුවත්වම  වාගේ ප්‍රකාශ කොට ඇතැ‍යි
යමෙකුට හැඟී යාමට ද බැරි කමක් නැත.

t

o

p