මීරියබැද්ද නායයාමට හේතුව – ඊනියා සංවර්ධනය නිසා පරිසරයට සිදුකර ඇති හානියයි

November 1, 2014

මීරියබැද්ද සිදු වු ව්‍යයසනය හුදු ආණ්ඩු විරෝධයකට ලඝු කිරීමට විපක්ෂයේ ඇතැම් පක්ෂ දරන උත්සාහයන් පරදවා පරිසර විනාසයෙන් තොර ආර්ථිකයක්,
තමන් පිළිබඳ තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමිවන සැබෑ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඈතිකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව මහතා අද (31) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දෑක්වීය.

වෑඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා …

‘‘මීරියබැද්ද නායයාමට පෙර 2005 වසරේදීත් ඉන් පසුව 2011 වසරේදීත් අනතුරු ඇගවීම් කර තිබූ නමුත් ඒ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න ආසමත් වීමේ ප‍්‍රතිඵලය තමයි මේ ඛේදවාචකය. නිලධාරීන් කියනවා ඉඩම් දුන්නා, ජනතාව ගියෙ නෑ කියලා. ජනතාව කියනවා. සමහරුන්ට ඉඩම් ලැබුනේ නෑ. තවත් සමහරුන්ට ඉඩම් ලැබුණත් ඒවායේ පදිංචියට යන්න පහසුකම් නෑ කියලා. ඉඩමක් දෙනවා කියලා කොහේ හරි මුල්ලක් පෙන්නුවාට වැඩක් නෑ. නිවසක් හදාගන්නේ කොහොමද? එතන සිට රැුකියාවට යන්න පුළුවන්ද? දරුවන් පාසල් යවන්න පුළුවන්ද? මේ වගේ ප‍්‍රශ්න තියෙනවා. මීට කලින් ආණ්ඩුව සුනාමි අනතුර කියලා වෙරළබඩ ධීවර ජනතාව ඉවත් කරනන හැදුවා. නාගරික පීඩිතයන්ව නිවෙස්වලින් එලවා දමනවා. සාම්පූර්වල ඉඩම් පැහැරගෙන ඒ ජනතාව අනාත කඳවුරුවල.
මෙගා ෆෝන් එකෙන් කෑ ගහලා නායයන්න ඉඩ තියෙනවා මෙතනින් යන්න කීවට එහෙම තැනින් තැනට ගෙනියන්න මිනිස්සු කියන්නේ ගඩොල් ගොඩවල් නෙමෙයි. මෙවැනි ආපදා අවධානමක් නිසා පදිංචි තැනින් ඉවත් කරන්න වෙනවා නම් ඒ ගැන ඒ ජනතාව සමග සාකච්චා කළ යුතුයි. තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්න පරපාධිපත්‍ය බලය ජනතාව සතුවිය යුතුයි කියලා අපි කියන්නේ ඒ නිසයි. දැන් ඒ බලය ජනතාවට නෑ.
ධනපතියන්ට ඉඩම් දෙනකොට නම් ඉල්ලන ඉඩම දෙනවා. රජයේ වියදමෙන් හෙලිකොප්ටරායන් අරං ගිහින් ඉඩම් පෙන්නනවා. ජේමිස් පැකර්ට ඉඩම් දුන්නේ එහෙම. ශැංගිලා සමාගම හමුදා මූලස්ථානයේ ඉඩම ඉල්ලූවම හමුදා මූලස්ථානය ඉවත්කරලා ඒ ඉඩම දුන්නා.
නමුත් පීඩිත ජනතාවගෙන් ගන්න කැමති තැන අහන්නේ නෑ. අනෙක් අවශ්‍යතා ගැන අහන්නේ නෑ. දේශපාලන නිලධාරීන් හවුලකින් අත්තනොමතික තීරණ ගන්නවා. එක්කෝ මීරියබැද්දෙදි වගේ ‘කිව්වේ නෑ’ කියලා මිනිස්සුන්ට බනිනවා. නැතිනම් වනාත මුල්ලෙදි වගේ බලහත්කාරයෙන් එලවනවා.
මේ ව්‍යයසනයන්ට මූලික හේතුව ඊනියා සංවර්ධනය නිසා පරිසරයට සිදුකර ඇති හානිය. මේ ඊනියා සංවර්ධනය නිසා රටේ ඉන්න තැනක් නෑ. යන්න තැනකුත් නෑ. උතුරු මැද පළාතේ හා වෙනත් කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජලය වස වෙලා. දැන් ඒ ප‍්‍රදේශවල ඉන්න බෑ.
සුනාමි නිසා වෙරළබඩ තීරයෙත් ඉන්න බැරිලූ. දැන් නාය යන නිසා මධ්‍යම කදුකරයෙනුත් යන්නලූ. මේ ක‍්‍රමය නිසා ඉන්න තැනක් නැති වෙලා. හැමතැනම අවධානමේ. සංවර්ධනය ගැන ආර්ථිකය ගැන තමන් පදිංචි වෙන තැන ගැන තීරණ ගැනීමේ බලය ඒ කියන්නේ පරමාධිපත්‍යෙය් බලය ජනතාවට ලබාදීම හැර මේ ප‍්‍රශ්නවලට වෙන විසදුම් නෑ.
මේක තනි තනි අයගේ වැරැුද්දට වඩා මුළු ක‍්‍රමයේම වැරැද්ද පෙන්වන උදාහරණයක්. අනාත වූ දරුවන්ව බලගන්නවා වගේ කතා කියලා ඇත්ත වගඋත්තර කරුවන්ට හැංගෙන්න දෙන්න බෑ. ව්‍යයසනයක් වුණාම ඒකෙන් දේශපාලන වාසි ගන්න එපා කියලා ව්‍යයසන පිටුපස තිබෙන දේශපාලන හේතු හඟවන ආණ්ඩුවේ උත්සාහයත්, මේ ව්‍යයසනය හුදු ආණ්ඩු විරෝධයකට ලඝු කිරීමට විපක්ෂයේ ඇතැම් පක්ෂ දරන උත්සාහයත් පරදවා පරිසර විනාශයෙන් තොර ආර්ථිකයක්, තමන් පිළිබඳ තීන්දු ගැනීමේ බලය ජනතාවට හිමිවන සැබෑ ප‍්‍රජාත්න්ත‍්‍රවාදී ක‍්‍රමයක් වෙනුවෙන් අපි සටන් වදිනවා.’’

Sammy

Previous story Next story

Leave a comment

t

o

p