කොවිඩ්වලට එක්සත් රාජධානිය ‘ෆයිසර්’ දෙද්දී ඇමරිකාව ‘ඉනෝ’ දෙයි.

December 8, 2020

එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ආරම්භ වේ. පළමුවරට එම එන්නත ලබා ගත්තේ කාන්තාවකි.

ෆයිසර් බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත එරට තෝරාගත් පුද්ගලයන් හාරලක්ෂයකට ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ඒ අනුව ඇරඹෙයි. එම එන්නත මුලින්ම මහජනතාවට ලබා දෙන රට බවට පත්වෙන්නේ ද එක්සත් රාජධානියයි.

මේ වන විටත් අවශ්‍ය එන්නත් තොග එරට ට ලැබී ඇති අතර එරට ජාතික සෞඛ්‍ය සේවාව පවසන්නේ එන්නත් කිරීමේදී වයස අවුරුදු අසූවට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදෙන බවය. එමෙන්ම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් හා අනෙකුත් කාර්ය මණ්ඩලවලට ද එන්නත් ලබාදීම සැලසුම් කර ඇත. එක්සත් රාජධානිය දැනටමත් එන්නත් මිලියන හතලිහක් ඇණවුම් කර තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසන්නේ කොවිඩ් එන්නත “වසංගතය නිමාවේ ආරම්භය” වනු ඇති බවය.

ගෙවී ගිය දිනයේ අමෙරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 181,438 ක් හඳුනා ගැනෙද්දී නව මරණ 1,439 වාර්තා වී තිබුණි. එරටින් ආසාදිතයන් 15,351,000 කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන සමස්ත මරණ  සංඛ්‍යාව 290,000 සීමාව පසුකර තිබේ.

ඒ අතර අමෙරිකානු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි අනතුරු අඟවන්නේ නත්තලෙන් පසුව එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටය.

මේ අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පළමු තැනැන්තාට සායනික අත්හදා බැලීම්වල තිබෙන සිය එන්නත ලබාදුන් බව අමෙරිකාවේ තවත් ඖෂධ සමාගමක් වන ‘ඉනොවියෝ’ ඖෂධ සමාගම ඊයේ නිවේදනය කළේය.

‘ඉනොවියෝ’ ඖෂධ සමාගම සිය ‘කොවිඩ්-19’ එන්නත නම්කර තිබෙන්නේ ‘අයි.එන්.ඕ.-4800’ (ඉනෝ 4,800) යනුවෙනි.

එම එන්නත මේ වනවිට එහි සායනික අදියරවලට පැමිණ තිබෙන අතර අධ්‍යයන තුනකින් සමන්විත මෙම අදියරේ දෙවැනි සායනික අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර ඇතැයි එම සමාගම සඳහන් කරයි. ඒ අනුව වයිරස අවුරුදු 18 හෝ ඊට වැඩි පිරිස්වලට එන්නත ලබාදෙන බවත් මේ වනවිට ඒ සඳහා 400 කට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීමට කැමැත්ත පළ කර ඇතැයි ද එම සමාගම නිවේදනය කළේය.

ඉනොවියෝ සමාගමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මූල්‍ය අනුග්‍රහය දක්වයි. මේ මාසය අවසන් විට සායනික අදියරේ දෙවැනි අධ්‍යයන කොටස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම සඳහන් කර සිටියේය.

තවදුරටත් දත්ත හා තොරතුරු අවශ්‍ය බව සඳහන් කරමින් අමෙරිකා ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම එන්නතේ සායනික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හය කෝටි හැත්තෑ නව ලක්ෂය ඉක්මවා ඇත. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදුව ඇති  මරණ සංඛ්‍යාව පහළොස් ලක්ෂ හතළිස් නව දහසකට අධිකය.

t

o

p