වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියක් – ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ

December 7, 2020

වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියක් සකසන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගිය 04 වන දින පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  පැවසීය. ඒ සඳහා උපදේශක කාරක සභාවක් ද පත් කර තිබේ.

වාහන නියාමනයට අදාළ කටයුතු මධ්‍යම රජය සහ පළාත් සභා ඒකාබද්ධව ක්‍රියාත්මක කළ හැකිවන පරිදි නව ජාතික ප්‍රඥප්තිය සකසන බව ද අමාත්‍යවරයා කීවේය.

රට තුළ පවතින සියලු ප්‍රවාහන සේවා නියාමනයට හැකිවන පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මාර්ගවල ධාවනයට සුදුසු පරිදි, වාහන ප්‍රමිතියකින් යුතු ද යන්න සොයා බැලීම වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියේ ප්‍රමුඛ අරමුණ බව  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කාරක සභාවේ දී පැවසීය.

වාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියට අදාළ පසුබිම් අධ්‍යයනය මේ වන විට සිදුකර අවසන් බව හෙතෙම කීවේය.

දිවයින පුරා සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට හැඳුනුම් පතක් ලබා දීම සුදුසු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය කාරක සභාවේදී යෝජනා කළ අතර, එය ද නව ජාතික ප්‍රඥප්තියට ඇතුළත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ග්‍රාමීය බස් සේවාව වැඩි දියුණු කිරීම සඳහා ද වත්මන් රජය නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍ය ගාමීණි ලොකුගේ මහතා තෝරාගත් අඩු පහසුකම් සහිත ඩිපෝ කාර්‍යාල 10 ක් නවීකරණය කරන බව ද පැවසීය.

ප්‍රයෝජනයට නොගෙන තිබෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඉඩම් ආයෝජකයන්ට ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කාරක සභාවේ දී කීවේය. ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස ද හෙතෙම සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

දුම්රිය පොළ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කඩිනමින් නවීකරණය කරන බව ද අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කාරක සභාවට දැන්වීය .  

දේශපාලන සබඳතා මත ලංකා ගමනා ගමන මණ්ඩලය තුළ උසස්වීම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇති බව අමාත්‍යවරු දෙදෙනා කාරක සභාවේ දී අවධානය කළහ.

මේ අවස්ථාවට අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට අධික පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක් වූහ.

t

o

p