මහර බන්ධනාගාරයේ කළහයෙන් රැදිවියන් 8 ක් මරුට. 43 කට තුවාල

November 30, 2020

මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී තත්ත්වය හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ තත්ත්වය බොහෝ දුරට මේ වනවිට පාලනය කර ඇති බවය.

මහර බන්ධනාගාරයේ රැදවියන් 183 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගැනීමෙන් පසු උද්ඝෝෂණයක් ඇරඹි අතර එය නොසන්සුන්තාවක් දක්වා වර්ධනය වී තිබේ. රිමාන්ඩ් බන්ධානාගාර පරිශ්‍රයේ ඇතිවූ උණුසුම් තත්ත්වය තුළ රැදවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරින් කිහිපදෙනෙකු ඔවුන්ගේ බාරයට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

උණුසුම් තත්ත්වය හමුවේ රැදවියන් බන්ධනාගාරය බිදගෙන යාමේ උත්සායක නිරත වීම හේතුවෙන් නිලධාරින්ට විටින් විට සිය බලය පාවිච්චි කිරීමට සිදුව තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවත් ඊයේ සවස් කාලයේ සිට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ආරක්ෂාවට යොදවා ඇති බවත් ඔහු කීවේය.

කළහකාරින් පිරිසක් බන්ධනාගාර ලේඛනාගාරයට ගිනි තබා ඇති අතර ගිනි නිවිම් අංශ ගින්න නිවා දමා තිබෙන බවද ඔහු පැවසීය.

t

o

p