කොරෝනාව සහ අනාගත විනෝද සැලසුම්කරණය

November 25, 2020

දැනට පවත්නා කොරෝනා වසංගතයේ නිමාවක් දුටු සැනින් යා යුතු වන්දනා සහ විනෝද ගමන් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙක් කතා බස් කරති.ඒ අතර ඒ සමයේ දී පැවැත්විය යුතු සාද,මිතුරු හමු සහ ප්‍රීති උත්සව පිළිබඳව ද තවත් පිරිසක් කතා බස් කරනු ඇසෙයි.

එමෙන්ම කොරෝනා උවදුර පහ වූ සැනින් පැවැත්විය යුතු බණ,පිරිත්,දාන-මාන සහ විවිධ  ආකාරයේ පුද පූජා පිළිබඳ සැලසුම් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.මේ අතර වත්මන් කොරෝනා වසංගතය හමුවේ සාර්ථක ලෙස නිමා කර ගත නොහැකි වූ විවාහ මංගල්‍යෝත්සවයන් වැනි පවුල් සහ ප්‍රජාමය
කටයුතු උදෙසා කොරෝනා උවදුර පහ වූ පසු ද්වීතියික උත්සව පැවැත්වීමට ද
සමහරෙක් උත්සුක වනු දැකිය හැක.

සාමාන්‍ය ජන සමාජයේ දක්නට නොතිබූ මේ දිනවල පමණක් දැකිය හැකි මෙම මානව චර්යාත්මක වෙනසට හේතුව කුමක්ද?
මිනිසුන්ට සේම සතුන්ට ද තම තමන්ට ආවේණික වූ චර්යා රටාවන් තිබේ.බොහෝ විට සතුන් තමන්ට ස්වාභාවික ලෙස උරුම වූ චර්යා රටාවන් හි නිරත වන අතර මිනිසුන් ඇසුරෙහි ජීවත් වන සහ මිනිසුන් විසින් පුරුදු පුහුණු කළ සත්තු එම චර්යා රටා වලට හැඩ ගැසෙති.

මිනිස් අප ද සහජයෙන් අපට උරුම සේම පාරම්පරික,සංස්කෘතික,සාමාජමය වශයෙන් අපට උරුම වූ චර්යා රටාවන්ට හුරු වී  හිඳින බව රහසක් නොවේ.නමුදු කිනම් හෝ හේතුවක් මත අපට හුරු පුරුදු චර්යා රටාවන් සම්බන්ධයෙන් සීමා මායිම්,තහංචි පැනවුණ හොත් එය අපගේ මානසිකත්වය
කෙරෙහි සෘජු බලපෑමක් වනු ඇත.මිනිස් තිරිසන් සැම එකසේ අගයන නිදහස අහිමි කොට ඔවුන් සිර අඩස්සියේ තැබීම කායික සේම මානසික දණ්ඩනයකි.
අප රටේ ද බලපවත්නා නීතිය අනුව කිසියම් පුද්ගලයකු අයුතු ලෙස සිර කොට තැබීම සාපරාධී වරදක් වනුයේ එබැවිනි.

එමෙන්ම වත්මන් ජන සමාජයේ බොහෝ දෙනකු ද විවිධ ක්ෂීරපායී,පක්ෂී,උරග ආදී සත්ව විශේෂ ඔවුනට හිමි නිදහසේ ජීවත් වීමේ ස්වාභාවික අයිතිය අවුරමින් ඔවුන් කූඩු වල සිරගත කොට තිබෙනු  දක්නා ලැබේ.එසේ අන්ත අසරණ ලෙස කූඩු තුළ සිර වී සිටින ඇතැම් සතුන් තමන්ට හුරු පුරුදු ස්වාභාවික නිදහස භුක්ති විඳිනු සිහිනයෙන් පවා දකින බව සත්ව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. නිදහසේ ජීවත් වීම මිනිස් තිරිසන් සැමගේ ඒකායන පොදු අපේක්ෂාවක් බව මින් මනාව තහවුරු වෙයි.

මෙවන් තත්වයක් හමුවේ මෙලොව බුද්ධිමත්ම ජීවීන් වන මිනිසුන් හට කවර හේතුවක් මත හෝ තමන්ගේ සිතුම් පැතුම් ආකල්ප ගති සිරිත් සුපුරුදු ලෙස එළි දැක්වීමට නොහැකි වීමත්, සුපුරුදු පරිදි පවුල්,ප්‍රජා සහ සමාජ සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වීමත් මානසික වශයෙන් කොතෙක් දුරට බලපානු ඇත්දැ‍යි සිතා ගන්නට ඔබටම හැකි වනු ඇත

තම එදිනෙදා ජීවිත තුළ අත්දකින අතෘප්තියෙන් මිදෙනු පිණිස සිහින මායාවන් තුළට පිවිසීම පොදු මිනිස් ගතියකි.එමෙන්ම සෑම පුද්ගලයකු කෙරෙන්ම  අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම මානසික ක්‍රියාවේ නිමග්නව තම මුළු ජීවන රටාවම පවත්වාගෙන යන පුද්ගලයෝ ද ඉඳහිට දක්නට ලැබෙත්.ප්‍රකෘති ලෝකයෙන් අත්මිදී සිහින මායා ලෝක වලම ජීවත් වීමේ එම මානසික අර්බුදය හැඳින් වෙනුයේමනස්ඍෂ්ටික ප්‍රලාපතාව [pseudologia fantastica]යනුවෙනි.එහෙත්,වත්මන් කොරෝනා වසංගතය හමුවේ තමන් ගේ හුරු පුරුදු මානසික නිදහස අහිමි වීමෙන් හට ගන්නා මෙම තත්වය මානසික අර්බුදයක් නොවේ.

වත්මන් කොරෝනා අර්බුදය හමුවේ අපගේ ජන සමාජයෙන් සැලකිය යුතු පිරිසක් දැඩි ආර්ථික දුෂ්කරතාවයනට පත් ව ඇති බව ද නොරහසකි.විශේෂයෙන් එදිනෙදා උපයන ආදායමින් ජීවත් වන ජනතාවට ඔවුන්ගේ නිදහස සේම සුපුරුදු ආදායම් මාර්ග අහිමි වීම ද සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවේ.

මෙහිදී ඔවුන් වර්තමානයේ අත්විඳින පීඩාකාරී තත්වයන් හමුවේ මෙම කොරෝනා වසංගත තත්වය සමනය වීමෙන් පසු වැඩිපුර මුදලක් උපයා ගත හැකි ක්‍රම පිළිබඳව සිහින දකිනු ඇත.විශේෂයෙන් වර්තමාන තත්වය හමුවේ ණය තුරුස් ආදියට හසු වී හිඳින්නවුන් ඒවායින් අත් මිදීම පිණිස
වන නව උපාය මාර්ග කෙරෙහි ද සිත යොමු කරනු ඇත. මෙවන් තත්වයක් තුළ සමාජය තුළ නීති සහ සදාචාර විරෝධී  ක්‍රියා බහුල වීමට ඇති අවදානම පිළිබඳව ද අප සිතා බැලිය යුතුය.

“මේ කෙහෙම්මල් කොරෝනාව ඉවර වුණු හැටියේ අපි දවස් තුන හතරක වත් ට්‍රිප් එකක් යමු” මෙවැනි දේ පසුගිය හෝ මේ දිනවල ඔබ හා ඔබේ හිත මිතුරන් අතරේ කතා බහට ලක් වන්නට ඇත.”මේ  සැරේ පන්සලේ කඨින පින්කමටවත් යන්න බැරි වුණු එකේ මේ කරදරේ ඉවර වුණු ගමන් හාමුදුරුවරු දහ පහලොස් නමක් ගෙදරට වැඩම කරවලා සාංඝීක දානයක් දෙන්න ඕනේ”ඔබේ වැඩිහිටි ඥාතිවරියක එවැන්නක් කියනු ද ඔබ අසා තිබෙන්නට පුළුවන.එහෙත්,ඒ බොහෝ ප්‍රකාශ තුළ ගැබ් ව ඇත්තේ වත්මන් කොරෝනා
වසංගතය නිසා තමන් ගේ සුපුරුදු චර්යා රටාවන් අහිමි වීම මත ඔවුන් ගේ සිත් තුළ පැන නඟින මානසික අතෘප්තියෙන් අත් මිදීමට ඇති උප විඥානගත අභිලාෂයයි.

යමකුගේ සිත තුළ පවත්නා හැඟීමක්,ආකල්පයක්,පුරුද්දක් වෙතින් අත්මිදී සිත වෙන`තක යොමු කිරීම අපසරණය[diversion ] නමින් හැඳින්වේ.
නමුත්, මේ සම්බන්ධයෙන් විශේෂයෙන් විමසිය යුතු කරුණක් ද තිබේ.එනම් මෙම කොරෝනා වසංගතය මුල් කොට කරනු ලබන අනාගත සැලසුම් ප්‍රායෝගික ලෙස කොතෙක් සාර්ථක වන්නේ ද යන්න ය.මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුතු වන්නේ මෙම සැලසුම් සඵල වීමේ සැලකිය යුතු සම්භාවිතාවක් නොමැති බවකි.

ඊට හේතු කිහිපයක්ම තිබේ.ඉන් පලමු වැන්න මෙම ප්‍රකාශ හුදෙක් මානසික ආතතිය මත පදනම් වන නිසා ඒවා භාව විශෝධන[catharsis]මට්ටමක පැවතීමය.”මං ගිහින් ඕකාගේ අඬු හතරම කඩලයි පස්ස බලන්නේ”කිසිවකු සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් වන සමහරුන් එසේ පවසනු අප අසා තිබේ.එහෙත්,අවසානයේ සිදු වනුයේ ඒ අඬු හතර කැඩීම සාමාන්‍ය බැනුමකට සීමා වීමය.එහි දී සිදු වනුයේ ද එසේ පරුෂ වචනයෙන් බැනීම ඔස්සේ සිදුවන භාව විශෝධන ක්‍රියාවලිය මඟින් ඔහු තුළ පවත්නා ආවේග තීව්‍රතාව තරමක් අඩු වීමය.

නමුදු මෙම කොරෝනා වසංගතයෙන් රට නිදහස් වීමත් සමඟ දැනට පවත්නා
සමාජයීය,ආර්ථික වාතාවරණය සැලකිය යුතු ලෙසින් වෙනස් වනු ඇත.එවිට බොහෝ විට සිදු වනුයේ ඊට අනුරූප ලෙස පොදු සමාජයීය මානසික සාධක ද සකස් වීම ය.ඒ තත්වය බොහෝ දෙනකුගේ සිත් තුළ දැනට පවත්නා ආතති මට්ටමේ වෙනසක් වීමත් එවකට එළඹෙන තත්වයන් හමුවේ බොහෝ දෙනකුගේ ජීවිත හා සබැඳි ප්‍රමුඛතාවයන් හි වෙනස් කම් ඇති වීමත් ස්වාභාවික ය.කෙසේ නමුදු මතු සාර්ථක ලෙස ඉටු කර ගත හැකි වීම කෙසේ
වෙතත් අනාගතය පිළිබඳ සිහින දැකීම තිරිසන් සතුනට අහිමි මිනිස් මොළ තුළින් අපට පමණක් සිදු කළ හැක්කක් නිසා එහි දොසක් දකින්නට මට නොපුළුවන.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය  රූමි රූබ්න්

t

o

p