අවවාද, අනතුරු ඇගවිම් කළ හැකි වරදවලට සමාජ මාධ්‍ය පුරවැසියන්ට දඩුවම් නොකරන්න – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

November 24, 2020

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ්  නොකරන්නැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය වැඩිදුරටත් මෙසේද සදහන් කරයි.

සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ලෙස අපි අවධාරණය කරන්නෙමු. ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා සමාජය බියවැද්දීම සඳහා කටයුතු කිරීම නවත්වන ලෙසද අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපේ සහාය පළකරන්නෙමු. එහිදී, තෝරාගැනීමකින් තොරව, පොදුභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද අපි අවධාරණය කරන්නෙමු. විශේෂීකරණයකින් තොරව නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද අප නැවතත් අවධාරණය කරමු.

එසේම, සියලු පුරවැසියන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට හා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරීමටද රජය කටයුතු කළ යුතුය. අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කිරීම නොකරන ලෙස අපි බලධාරීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නෙමු. 

මෙම කිසිදු කාර්යයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට සහතික වී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට හා මාධ්‍ය නිදහසට බලපෑමක් සිදු නොවිය යුතු අතර, ආචාරධර්මවලට අනුකූලව හා නීත්‍යානුකූලව තොරතුරු හා අදහස් සන්නිවේදනයේ යෙදෙන මාධ්‍යකරුවන් හා පුරවැසියන් දිරිගැන්වෙන පරිදි කටයුතු කිරීම ප්‍රජාතාන්ත්‍රික රජයක වගකීම බවද අපි අවධාරණය කරන්නෙමු.  

t

o

p