තවත් පොකුරු නිර්මාණය වීමේ අවදානමක්

November 24, 2020

දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

අද (21) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,398 ක් සිදුකර ඇති බවත් දිවයින පුරා රසායනාගාර 25 ක මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුකෙරෙන බවත්ය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා,

“ මේ මොහොත වන විට අපි අත්දකිනවා තවත් ස්ථාන කිහිපයක මේ වගේ පොකුරු වශයෙන් නිර්මාණය වීම. එක් සේවකයෙක් හෝ කිහිපදෙනෙක් මුලින්ම ආසාදිත වීමෙන් පස්සේ, ඒ ආයතනය තුළ ඉන්න කාර්ය මණ්ඩලයට විශාල වශයෙන් පැතිරීම දකින්න පුළුවන්.

ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය තුළ, ඒ වගේ බන්ධනාගාර තුළ, නාවික හමුදාව ස්ථාන තුළ දී. මෙය බලාපොරොත්තු විය හැකි දෙයක්. යම් අවස්ථාවක එවැනි ආයතනයක් තුළ එක් රෝගියෙක්ට ආසාදනය වීම තුළින් එය තවත් අයට පැතිරීමේ හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවක නිරෝධායනය කරන්න විශාල පිරිසක් ඉන්නවා.

මේ නිසා තමන්ගේ ආයතනය තුළ පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ආයතනයට පැමිණෙන අයට විශාල වගකීමක් තියෙනවා.

පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අපේ රට තුළ රසායනාගාර 25ක් ස්ථාපිත වෙලා තියෙනවා. මෙයින් 14ක් රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනවල තියෙන රසායනාගාර.

ඒ වගේම තවත් රසායනාගාර දෙකක් කොතලාවල ආරක්ෂක පීඨයේ හා කොතලාවල යුද හමුදා රෝහලෙත් පිහිටා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල 4ක පීසීආර් පරීක්ෂණ සඳහා පහසුකම් තියෙනවා.

ඒ අනුව රජයේ යටතේ ඇති ආයතන 20ක පීසීආර් පරීක්ෂණ සිදුවෙන අතර පෞද්ගලික ආයතන 5ක මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.“

t

o

p