ශ්‍රී ලංකාවේ වයඹ පළාතට සහ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වාරි කර්මාන්තයක් වන මාදම්පේ, තිනිපිටිය වැව වඩාත් ප්‍රකටව ඇත්තේ කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මාදම්පේ නගරයට පිවිසෙන තැන පිහිටි ‘අශ්වයා දේවාලය’ අද්දර වැව වශයෙනි.
එම දේවාලය ඇතුළු මාදම්පේ අවට ඇති තවත් කුඩා දේවාල හතකට අධිගෘහිත තනිවැල්ලේ දෙවියන් නමින් ප්‍රකට කෝට්ටේ යුගයේ මාදම්පේ රජ කළ තනියවල්ලභ නම් යුව රජු විසින් මෙම තිනිපිටිය වැව සහ ඊට තරමක්
නොදුරින් පිහිටි මහවැව කරවන ලද බව ඓතිහාසික වශයෙන් සනාථ වී
තිබේ.
එම රජතුමා පසුව තනිවැල්ලේ දෙවියන් නමින් දේවත්වයට පත් වීමට ද
මෙම වැව් දෙක මුල් කොට ඔහු විසින් කරන ලද කෘෂිකාර්මික විප්ලවය
හේතු වී ඇත. එම රජතුමා සේම දෙවිඳුන් ගේ නම සහ තිනිපිටිය යන ග්‍රාම
නාමය අතර ඇති සබැදියාව ද ඒ සම්බන්ධ විශේෂත්වයකි.
මෙම වැව සහ අතීතය අතර පවත්නා සබැඳියාව එසේ වුව ද තිනිපිටිය
වැවේ මෑත කාලීන තත්වය නම් කෙසේවත් සතුටුදායක නැත. අක්කර දෙසීයක පමණ වපසරියකින් යුතු බව පැවසෙන තිනිපිටිය වැවේ උතුරු කොටසින් අක්කර පනහක පමණ භූමි ප්‍රමාණයක් දීර්ඝ කාලීනව සිදුවෙමින් පවත්නා විවිධ ස්වභාවික බලපෑම් සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට වැවට අහිමි වී තිබේ.
ඊට අමතරව මෙම වැවේ ජලතලය මත ව්‍යාප්ත වන ජපන් ජබර සහ සැල්වීනියා ශාඛ නිසාත් ඉවුර ආශ්‍රිතව වැඩෙන කම්බු පන්
(Cat tall) ආදී ජලජ ශාඛ නිසාත් පසුගිය කාලයේ තිනිපිටිය වැව් කොමලිය
මුළුමනින්ම වල්මත් ස්වභාවයක් පළ කරනු දක්නට ලැබිණ.
ඒ නිසාම මීට දශක කිහිපයකට පෙර මෙම වැවේ දියවර යොදා ගනිමින් ගොවිතැනින් දිවි රැකගත් ගොවි පවුල් පන්සියයක පමණ ප්‍රමාණය අද වන විට පවුල් දෙසීයකට පමණ සීමා වී තිබේ.
එනිසාම සෑම මැතිවරණ සමයකම මෙම ගම්මාන වලට එන මැතිවරණ අපේක්‍ෂකයන් ගේ ඡන්ද පොරොන්දු අතරින් මුල් තැනක් ගන්නා ලද්දේ තිනිපිටිය වැව ශුද්ධ කොට ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය වාරි පහසුකම් නැවත ලබා දෙන බවකි.
එමෙන්ම තිනිපිටිය වැව වල්බිහිවීමේ ප්‍රශ්නය පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ ද කතා බහට ලක් විය. මාදම්පේ, තනිවැල්ලගම පදිංචි තිස් හය හැවිරිදි මහමුදලිගේ ධනුෂ්ක සිල්වා වංශවත් පරපුරකින් පැවත එන්නකු වුව ද සැලකිය යුතු සමාජ, ආර්ථික තත්වයක් නොමැති විවාහක දරු දෙදරු පියෙකි.
ගම් ප්‍රදේශයේ බොහෝ දෙනෙකු විසින් ‘යකඩයා’ වශයෙන් හඳුන්වන ඔහුගේ සැබෑ නම ධනුෂ්ක බව දැන හිඳිනුයේ ද පවුලේ සමීපතමයන් පමණි. ධනුෂ්කට මෙම යකඩයා නාමය පටබැඳී ඇත්තේ ඔහුගේ ධෛර්යවන්ත බවට හා ශක්තිමත් බව පදනම් කොට ගෙනය.
කඩ කෑම සාදා අලෙවි කරන දුප්පත් පවුලක සොයුරියන් තිදෙනකු සහිත පවුලක බාලයා වන ධනුෂ්කට තම අධ්‍යාපනය ද ‘අට පාස්’ මට්ටමින් එහාට රැගෙන යාමට නොහැකි විය. එබැවින් ඔහුගේ ජීවනෝපාය වූයේ සාමාන්‍ය ව්‍යවහාරයේ ‘කුලීවැඩ’ ලෙස හැඳින්වෙන අනියම් කම්කරු වෘත්තියයි. එහෙත්, මෙම තිනිපිටියේ වැව සහ ඔහුගේ ජීවිතය අතර කුඩා කාලයේ සිටම යාවජීව සබැඳියාවක් ගොඩනැංවෙන ලද්දේ ඔහුට වත් හරි හැටි අර්ථ කථනය කර ගත නොහැකි ලෙසිනි.
කොටින්ම තමන් කුඩා කාලයේ තරුණ සහ මැදිවියේ ලක්ෂණ පළ කළ
තිනිපිටියේ වැව ගත වූ වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් අකලට මහළු වනු බලා
සිටීමට ධනුෂ්කට නොහැකි විය. මෙම වැව් තලය පුරා පැතිර පවතින ජපන්
ජබර සහ සැල්වීනියා උවදුර පිටු දැකීම පිණිස ප්‍රදේශයේ ගොවි සමිති සේම
රාජ්‍ය අංශ ද ඉදිරිපත් වූ සෑම විටෙකම ධනුෂ්ක ද ඒවාට හැකි අයුරින් තම
ශ්‍රම දායකත්වය ලබා දී තිබේ.
මේ අතර පසුගිය වසරේ මාර්තුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
මඟින් තිනිපිටිය වැවේ පාසි ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන
ලදී. එහෙත්, එහි පවත්නා යම් යම් අඩුපාඩු ධනුෂ්කට නිරීක්ෂණය විය. නමුදු
ඒවා එවන් තැනක ප්‍රසිද්ධියේ පෙන්වා දීමට තරම් සමාජශීලීත්වයක් සේම දැන
උගත් කමක් ද තමන්ට නැතැයි ධනුෂ්කට සිතිණ. ඒ අනුව ඔහු එහි සිටියවුන්
විසින් ‘ටී.ඕ. මිස්’ යනුවෙන් හඳුන්වනු ලැබූ තරුණ නිලධාරිනිය වෙත හීන්
සීරුවේ කිට්ටු විය.
’‘හැබැයි මිස් මිස්ල අවසර දෙනවා නම් මම මේ වැඩේ මීට වඩා හොඳට
කරලා දෙන්නම්; මට ආණ්ඩුවෙන් එක සත පහක්වත් එපා; අවසර විතරක්
දුන්නම ඇති” ධනුෂ්ක කීයේ සමාජශීලී බව දැන උගත් කම යකාට ගිය ද ඒ
සඳහා වන පෞරුෂය සහ ආත්ම ශක්තිය තමන් තුළ නොමඳවම පවත්නා බව
අනියමින් පළ කරමිනි.
’‘එහෙම දේකට අවසර දෙන්න බලයක් මට නැහැ. එහෙම නම් ඔයා
ආණමඩුවේ තියන අපේ වයඹ පළාත් සභා පුත්තලම දිස්ත්‍රික් වාරි මාර්ග
ඉංජිනේරු කාර්යාලයට ඇවිත් අපේ සර්ව හම්බවෙලා ඔය කාරණේ කියන්න”
ඒ අවස්ථාවේ ධනුෂ්කට සහනශීලී පිළිතුරක් දුන් එම ‘ටී. ඕ. මිස්’ හෙවත්
තාක්ෂණ නිලධාරිනී කුසලා දිසානායක කීවා ය.
කෙසේ හෝ එවන් සමාජමය ඉදිරිපත් වීමකට සිත තුළ පවත්නා
පසුබෑම සහ වැවට දිනෙන් දින සිදුවන ව්‍යසනය මත හටගන්නා සිත් තැවුළ
සිතේ දෙකෙළවරින් එක්වර පැන නඟින අතරේ ධනුෂ්ක ඊට පසු දිනයෙක එම
කාර්යාලයට ගොස් දිස්ත්‍රික් වාරි ඉංජිනේරු කමල් බන්දුල විජේරත්න හමුවිය.
’‘ඕක බොහොම හොඳ වැඩක්; ඕකට මම මගේ සම්පූර්ණ සහයෝගය
දෙනවා; ඒ හින්දා ගොවි සමිතියක් මඟින් ඔය ඉල්ලීම කරන්න” ඉංජිනේරු
වරයා කීය. එහෙත්, තමන් ගේ සිත තුළ ඉපදුණු සංකල්පය සහ එය
ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප්‍රතිහක ධෛර්ය සහ දැඩි අධිෂ්ඨානය අන්
කිසිවකුට පැවරීමට ධනුෂ්ක අකමැති විය.
’‘එහෙම නෙවේ සර්; ඔය වැඩේ මට තනියම බාර දීලා බලන්න. මට
සල්ලිවත් වෙන උදව් පදව්වත් කිසි දෙයක් එපා; මට සර්ගේ අවසරේ විතරයි
ඕනේ;” ඒ අනුව ඔහු කී ය.
“එහෙම ඔයාට කෙලින්ම අවසර දෙන්න මට බැහැ. එහෙම නම් ඒකට
ගොවි සමිතිවල එකඟත්වයක් තියෙන්නත් ඕනේ. කෝකටත් මට ලියුමක්
මාර්ගයෙන් ඔයාගේ ඔය ඉල්ලීම ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මම මොකක්ද
කරන්න පුළුවන් කියලා බලන්නම්” වාරි ඉංජිනේරු විජේරත්න කී ය.
’‘අනේ සර්, මට ඔය වැඩේ පුළුවන් වුණාට ලියුම් ලියනවා වගේ වැඩ
නම් බැහැ” ධනුෂ්ක ගත් කටටම කී අතර එමඟින් ඔහුගේ සිත තරමක් දුරට
කියැවීමට ඉංජිනේරු වරයාට හැකියාවක් ලැබිණ. එබැවින් ධනුෂ්ක ගේ
ප්‍රකාශයකට අනුව එම කාර්යාලයේ නිලධාරීන් විසින් සකස් කරන ලද එම
ලිපිය ධනුෂ්ක විසින් අත්සන් තබන ලදුව ඉංජිනේරු විජේරත්න විසින් භාර
ගන්නා ලදී.
පසුගිය මාර්තු මාසයේ කොරෝනා උවදුර පැතිරීමට ඔන්න මෙන්න කියා
තිබියදී වාරි ඉංජිනේරු විජේරත්න සිය නිලධාරීන් ද සමඟ තිනිපිටිය වැව
ප්‍රදේශයට පැමිණියේ විවිධ පාර්ශ්වයන් වෙතින් ධනුෂ්ක පිළිබඳ තොරතුරු
විමසා බැලීමෙන් ද පසුව ය.
ඒ අනුව ඔහුගේ එම උත්සාහය වැව ශුද්ධ කරන
මුවාවෙන් එහි පතුලේ වැලි ඉවත් කිරීම වැනි යටි අරමුණක් සහිත ජාවාරමක්
නොවන බව මනාව තහවුරු කර ගත් ඉංජිනේරු විජේරත්න ධනුෂ්කට මෙම
වගකීම පැවරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි සමිති මඟින් විරෝධයක්
එල්ල නොවන බව ද පසක් කර ගත්තේය.
එහි දී ධනුෂ්ක විසින් ඉංජිනේරු වරයාට පෙන්වා දෙන ලද්දේ ඒ කාලයේ පැවති සුළං රටාවට අනුව වැවේ පාසි වැව් ඉවුරේ ඇති දේවාලය දෙසට පා වී අවුත් ගොඩ ගැසීමේ නැඹුරුවක් පවතින බැවින් වැව ශුද්ධ කිරීමට සුදුසුම කාලය එය බව ය.
ඒ අනුව කාර්යාලයට ගොස් ඒ සම්බන්ධ යතුරු ලියනය කළ රාජකාරි ලිපියක් ධනුෂ්ක ගේ නිවසේ ලිපිනයට තැපැල් මඟින් එවීමට කල්ගත වන බැවින්, ඊට වඩා සුදුසු ක්ෂණික ප්‍රායෝගික විසඳුමක් කෙරෙහි ඉංජිනේරු විජේරත්න ගේ අවධානය යොමු විය. එනම් ඒ මොහොතේම තම අත් අකුරින් ලියා අත්සන් කරන ලද කුවිතාන්සියක් මඟින් ධනුෂ්කට ඒ සඳහා අවසරය ලබා දීම ය.
සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරියෙකු වෙතින් අපේක්‍ෂා කළ නොහැකි මෙම ක්‍රියා
පටිපාටිය පිළිබඳ ඉංජිනේරු වරයා තුළ ද යම් වැටහීමක් තිබූ බැවින් ඉන්පසු
කාර්යාලයට ගිය ඔහු ඒ සම්බන්ධයෙන් ආයතනික ලොග් සටහනක් තැබීමටත් පසුව මාදම්පේ පොලිස් ස්ථානාධිපති වරයාට, ප්‍රාදේශීය ලේකම් වරයාට සහ ප්‍රදේශයේ ගොවි සමිති වලට ද පිටපත් සහිතව ධනුෂ්ක වෙත වැව ශුද්ධ කිරීම සම්බන්ධ නිල අවසර ලිපිය තැපැල් මඟින් එවීමටත් කටයුතු යොදා තිබිණ.
ඒ වන විට තනිවැල්ලේ දේවාලය සමීප වැව් ඉවුරු ජලය මත පාවෙමින්
තිබූ සැල්වීනියා සහ ජපන් ජබර ප්‍රමාණය ටොන් සිය දහසකි. එනිසා තමන්
විසින් කායික ශ්‍රමයෙන් එක් කර ගන්නා ඒවා ගොඩ දැමීමට ‘යෝධ යකඩ
අතක්’ අවශ්‍ය වෙයි.
ඒ සම්බන්ධයෙන් මීට පෙර ද එම වැවේ සංවර්ධන කටයුතු සඳහා හවුල් කර ගත් බැකෝ යන්ත්‍ර කරුවකු කියා සිටියේ කායික ශ්‍රමයෙන් වැව් ඉවුරට එක් කරන පාසි ගොඩ දැමීමට පමණක් බැකෝ යන්ත්‍රය සඳහා රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් අවශ්‍ය විය හැකි බව ය. එහෙත්, කුලී වැඩ මඟින් එදිනෙදා උපයා ගන්නා මුදලින් දිවි පෙවෙත සරි කර ගන්නා ධනුෂ්ක එවැනි ධනස්කන්ධයක් සිහිනයකින් වත් දැක නොතිබෙන්නට ඇත.
කෙසේ හෝ වැව් දියවරේ මතු පිට සහ දිය පත්ලේ ඇති පාසි එක් රොක්
කොට බැකෝ යන්ත්‍රයට දීමට තමන් තුළ ඇති අයෝමය හැකියාව ගැන මනා
ආත්ම විශ්වාසයක් සිත තුළ තිබූ ධනුෂ්ක එම වැව් දියෙන් පිහිට ලබන
ජනතාවගෙන් එම මුදල් සම්මාදම් කිරීමට ඉටා ගත්තේ ය. එහෙත්, එය ඔහු
සිතූ තරම් පහසු කටයුත්තක් නොවිණි.
ඊට හේතුව සංවිධානාත්මක පදනමකින් තොරව තනි පුද්ගලයකුට මුදල් දීමට ඇතැමුන් කැමති නොවීම ය.
කෙසේ හෝ ධනුෂ්කගේ මෙම අවංක අභිලාෂය උත්සාහය සහ කැපවීම
තේරුම්ගත් සංජු සිහින, චාමර ජනිත්, නිශාන්ත හෙවත් මහතුන් සහ අමිල
සුසන්ත කුමාර යන සගයෝ ධනුෂ්ක හා ගමේ ගෙයක් ගානේ සම්මාදම්
යැදීමට යන්නට එකඟ වූහ.
“ඔය වගේ වැඩකට සල්ලි එකතු කරන්න කලින් සමිතියක් පිහිටුවා
ගනිල්ලා; නැත්නම් ගමේ මිනිස්සුන්ට උඹලා ගැන සැක හිතෙයි” ඔය අතරේ
සමහරෙක් ධනුෂ්ක ඇතුළු පිරිසට එසේ අවවාද කළහ.
“එතකොට උඹලා කියන්නේ සමිති පිහිටුවා ගෙන සම්මාදමේ එන
හැමෝම අවංකයි කියල ද?;” ධනුෂ්ක ඒවාට පහසුවෙන් පිළිතුරු දුන්නේ
එලෙසිනි.
“ධනුෂ්ක අයියේ, අපි නිකමට හරි සමිතියක් පිහිටුවා ගත්තොත් මොකද
වෙන්නේ?” ධනුෂ්ක ගේ සගයෝ ද අවස්ථා කිහිපයක එලෙස යෝජනා කළහ.
‘මට ඔය ලොකු ලොකු සමිති සෙල්ලං තේරෙන්නේ නෑ බං; මම කියන්නේ මේ
වැව සුද්ද කරන වැඩේ මට උපරිමයෙන් කරන්න පුළුවන් කියලයි”. එම
අවස්ථා වලදී ද ධනුෂ්කගේ පිළිතුර වූයේ එවැන්නකි.
කතෝලික භක්තිකයෙකු වන ධනුෂ්ක තුළ පවතින මෙම අයෝමය
චිත්ත සහ කායික ශක්තිය එම ප්‍රදේශයේ කිසිවකුටත් රහසක් නොවූ අතර
ඔහුගේ එම සමත්කම් පිළිබඳව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා පවා දැන
සිටියහ. ඒ අනුව මාදම්පේ, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය, නෙළුම් පොකුණ
ශ්‍රී සිරිවර්ධනාරාමය සහ සුමන කුසුමාරාම පුරාණ විහාරය යන විහාරස්ථාන
වල භික්ෂුන් වහන්සේලා ද ධනුෂ්කගේ මේ කටයුත්තට අත හිත දෙන මෙන්
දායකකාරකාදීන් ගෙන් ඉල්ලා සිටියහ. අවසානයේ ගෙයින් ගෙට සම්මාදමේ
ගිය ධනුෂ්ක ඇතුලු පිරිසට නිවෙස් අසූවකින් පමණ රුපියල් එක් ලක්ෂ හැට
දහසක් පමණ එකතු කර ගත හැකි විණි.
ඉන්පසුව තමන් ඇතුළු තවත් තරුණ පිරිසක් විසින් ඔරු පාරු මඟින්
තිනිපිටි වැව මැදට ගොස් කඩා දමන ලද පාසි තට්ටු සහ ඉවුර සමීපයේ වැව්
පත්ලේ දිරා යමින් තිබෙන පාසි කුට්ටි ටොන් ගණනක් බැකෝ යන්ත්‍රය මඟින්
ගොඩ බිමට ඇද දැමීමෙන් ඇරඹුණු මෙම මහා සංග්‍රාමය සති කිහිපයක් පුරා
එක දිගට පැවතියේ වැවේ තිබූ පාසි ස්කන්ධය මඳින් මඳ අඩු කරමිනි.
පසුව එසේ ගොඩ දමන ලද පාසි ටොන් තුන හමාරක ට්‍රක් රථයක් රුපියල් දහස බැගින් පොල් පොහොර සේ අලෙවි කරමින් බැකෝ යන්ත්‍රයට ගෙවිය යුතු කුලියේ මදි පාඩුව පියවා ගැනීමට ද ඔව්හු සමත් වූහ. මේ සියළුම කටයුතු
පුත්තලම දිස්ත්‍රික් වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයේ අධීක්‍ෂණය සහ
නියාමනය යටතේ සිදුකිරීම ද තවත් විශේෂත්වයකි.
මේ අතර කලින් වල් බිහි වී තිබූ වැව් දියඹ මඳින් මඳ හෙළි පෙහෙළි
වනු දුටු ගම්වාසීන්ගේ ධනුෂ්ක නම් යකඩයා ගේ යෝධ කායික සහ ශක්තිය
සුළුපටු නොවන බව වටහා ගනිමින් ඔවුනට යම් යම් උපකාර කිරීමට ද
පෙළඹුනහ. මේ වන විට ඔවුන් විසින් බැකෝ යන්ත්‍රය සඳහා රුපියල් ලක්ෂ
හතරකටත් වැඩි මුදලක් ගෙවා තිබේ.
මේ සියළු තත්වයන් යටතේ ධනුෂ්ක ඇතුළු පිරිසගේ යෝධ ශක්තියෙන්
සුපෝෂිත තිනිපිටි වැවේ සක්‍රීය දියවර ඉදිරි මාස් කන්නයේ කුඹුරු අස්වැද්දීමට
අපේක්ෂා කරන ප්‍රදේශයේ ගොවීන්ට දිව්‍යමය වරප්‍රසාදයක් සේ වනු ඇත.
දෙවියන් මිනිසුන්ට පිහිට වන බවට පවත්නා පොදු ජන විශ්වාසය උඩු
යටිකුරු කරමින් කලක් තිස්සේ අසරණව පැවැති මෙම තිනිපිටියේ දෙවියන්ගේ
වැවට තනිවැල්ලේගම යකඩයා පිහිට වීම පිළිබඳ වෘත්තාන්තය නිමා වනුයේ
එලෙසිනි.
තිලක් සේනාසිංහ
ඡායාරූප – මනුජය ශ්‍රීනාත්