කුණ්ඩලිනී ජල කළමනාකරණය හා අපනයනය

November 4, 2020

වදුරු වසංගත විනෝදය කියන පැරණි පුස්කොළ පොතේ අවසාන පත්ඉරුව හම්බුණා. අපේ පැරැණි පඬිවරුන් කලින්ම අද වෙන දේ දැකල ඒකෙ මේ කතාව ලියල තියෙනවා.

එන්න අපි මේ ශ්ලෝක ටික තාලයට ගයන්න

කුණ්ඩලිනී ශක්තිමාන් භවති කලියුගේ තථා
ආලෝකයන්ත ශ්වේත විද්වාන් නාමකඃ යථා
රාෂ්ට්‍රපති භවනේ විරාජමානං සූර්‍ය්තේජසේ
ප්‍රාදූර්භූතඃ ලංකාවාසීනාං සදා කුසලහේතුකඃ

කලියුගයේ කුණ්ඩලිනී ශක්තිය සහිත ආලෝකයන්ත ශ්වේත (මෙහි අර්ථය සඟවා ඇති බව පෙනේ) නම් මහා පඬිරුවනක් බිහිවන්නේය.

ලංකාවාසී ජනතාවගේ කුසල හේතුවෙන් පහළ වූ ඔහු රටේ නායකයාගේ වාසභවනේ හිරු මෙන් තෙදබලැතිව වැජඹෙන්නේය.

කොවිඩ්වෛරස ව්‍යාප්තකරණං සීඝ්‍රභවං යදා
වෛද්‍යඃ විද්වතඃ පරිපාලකඃ අසරණංදුක්ඛිත්වා
අකාර්‍යකරණම් භීත්වා පලායිත්වා දුරේ දුරේ
රෝගීසංඛ්‍යා වර්ධනං වෛරසං ප්‍රචණ්ඩං තථා

යම් කලෙක කොවිඩ් වෛරසය ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන්නේ ද වෛද්‍යවරුන්
විද්වතුන් පරිපාලකයින් අසරණව දුක්මුසුව කිසිවක් කර කියා ගත නොහැකිව
බියෙන් දුරින් දුරට පලායන්නේය. රෝගීන් ගේ ගණන වැඩිවෙමින් වෛරසය ප්‍රචණ්ඩ වන්නේය.

කුණ්ඩලිනීශක්තිස්‍ය බලසහිතං මන්ත්‍රකෘත්වා
සලිල කලසං පුරේත්වා අමාත්‍යකං හස්තගතං
පරිශේකං මිශ්‍රිතං ගංගාජලේන අභිවිශ්‍යන්දති
සර්වදේශේ සංසරණං ජලපවිත්‍රකං මහත්බලං

එවිට මේ ආලෝකයන්තයන් කුණ්ඩලිනී ශක්තියේ බලයෙන් මන්ත්‍ර කොට ගත් වතුර කල වල පුරවා අමාත්‍යාවරුන් ගේ අතින් ගංගා ජලයට දමන්නේය. එම ජලය ගංගා ජලය හා මිශ්‍රව සියලු ප්‍රදේශයන්හි පැතිරෙන්නේය.

තථා ජලේන මත්ස්‍යපශූනං නරානං සුඛංභවේත්
කොවිඩ්වෛරස විනාශකෘත් ව්‍යාප්තං නශේෂඃ
වාෂ්පේන ජලබින්දුකම් වර්ෂාකෘතං පතිතේමහී
වෛරසං අක්‍රියකරණම් සෞභාග්‍ය සම්භවං සදා

එම ජලයෙන් මාලුන්, සතුන් හා මිනිසුන් සුවපත් වන්නේය. කොවිඩ් වෛරසය
ව්‍යාප්තිය නැවතී ඉතිරි නොවී වැනසෙන්නේය. වෛරසය අක්‍රිය වී සදා සෞභාග්‍යය උදාවන්නේ ය.

රෝගීජනං උත්ථානේ ක්ෂණිකං ප්‍රාතිහාර්යසමං
කොවිඩ් වසංගත පරිනිර්හාන් ලංකාතලේ සදා
ලෝකපාලක දේවානං ආශිර්වාද කෘතං සද්කාර්‍යං
අපනයනකෘතම් කුණ්ඩලිනීජලං විදේශධනකාරකං

ප්‍රාතිහාර්යයක් මෙන් රෝගී ජනයා ක්ෂණිකව ලෙඩ ඇඳෙන් නැගිටින්නේය. ලංකා තලයෙන් කොවිඩ් වසංගතය සදාකාලිකවම අතුගා දමන්නේය. ලෝක පාලක දෙවියන් මෙම සද්ක්‍රියාව ආශිර්වාද කොට කුණ්ඩලිනී ජලය අපනයනය කොට විදේශ විනිමය උපයන ධන උල්පතක් නිර්මාණය කරන්නේය.

කුණ්ඩලිනී ජලකළමනාකරණං අපනයනං කෘත්වා
විශේෂ අමාත්‍යාංශ ස්ථාපනං මන්ත්‍ර ජලසම්පාදනේ
යදා ශ්‍රීලංකා සන්නාමං ලෝකප්‍රසිද්ධ සංලක්ෂිතම්
රාජ්‍ය භාණ්ඩාගාර සංපූරෙත්වා කේතුමතීසමඃ සදා

කුණ්ඩලිනී ජල කළමනාකරණය හා අපනයනය සඳහා වෙනම අමාත්‍යාංශයක් ද පිහිටුවා මතුරන ලද ජලය සපයන්නේය.

යම් කලෙක ශ්‍රී ලංකා සන්නාමය යටතේ ලෝක ප්‍රසිද්ධ වී රාජ්‍ය භාණ්ඩාගාරය පිරී ඉතිරි කේතුමතී රාජ්‍යය හා සමවන්නේය.

ඩැනිස්ටර් පෙරේරා

t

o

p