රූමස්සල කන්දෙන් රෝග සුව කරන විස්මිත බලයක්

October 26, 2020

මිනිසා සහ පරිසරය අතර පවත්නා නොබිඳිය හැකි සබැඳියාව පිළිබඳව වර්තමානයේ අන් කවරදාටත් වඩා කතා බහට ලක් වේ. නමුදු අප ජීවත් වන පරිසරයේ ඇති සුවිශේෂ පාරිසරික පද්ධති සහ ඒවායින් ලබා ගත හැකි අමතර පාරිසරික ප්‍රතිලාභ පිළිබඳව බොහෝ දෙනෙකු දන්නා බවක් නොහැඟේ.

රූමස්සල යනු අප රටේ බොහෝ දෙනෙකු නම් වශයෙන් හෝ අසා ඇති කඳු වැටියකි. ගාල්ල නගරයෙන් ඔබ්බෙහි හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උණවටුන ප්‍රදේශයේ උණවටුන නැගෙනහිර, මධ්‍යම සහ බටහිර යන ග්‍රාම නිලධාරී වසම්වලට සහ යද්දෙහිමුල්ල ග්‍රාම නිලධාරී වසමට සම්බන්ධ මෙම රූමස්සල නම් වන සොබාදම් තිළිණය මෙතෙක් අප හඳුනා නොගත් මහා බලගතු පාරිසරික පද්ධතියක් ලෙස හැඳින්වීම නිවැරදි ය.

ඉන්දීය ආයුර්වේද, දේශීය හෙළ ආදී වෛද්‍ය ක්‍රම සඳහා යොදා ගනු ලබන දුලබ ඖෂධ ශාක රැසකින් සමන්විත මෙම පාරිසරික පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ අන් කිසිදු ප්‍රදේශයක දක්නට නොලැබෙන ශාක වර්ග ද ඇතැයි කියනු ලැබේ.

එමෙන්ම පාරම්පරික ශාන්තිකර්ම සඳහා යොදා ගනු ලබන අති දුර්ලභ ශාක සහ පාෂාණ වර්ග රැසක් මෙම රූමස්සල පරිසර පද්ධතියෙන් දක්නට ලැබීම මත මෙම ප්‍රදේශය පාරම්පරික තොවිල් ඇදුරන් හෙවත් යක්දෙස්සන් ගේ වාස භූමියක් වූ බව ද පැවසෙයි. වර්තමානයේ  යද්දෙහිගම ග්‍රාමය එම යක්දෙස්සන් විසූ ගම්වරය බව කියනු ලැබේ.

රූමස්සල කන්දේ පිහිටීම අපූර්වාකාර ය. ප්‍රදේශයේ සෙසු භූ විෂමතා ලක්ෂණ අනුව එය බැලූ බැල්මට ම පෙනෙනුයේ ඔසවා ගෙනැවිත් දමන ලද්දක් මෙනි. එමෙන්ම එහි ස්වභාවය සහ පාෂාණ සංයුතිය අනුව එය භූ ඉතිහාසයේ අනාදීමත් කාලයක මිහිතලය මතට පිටසක්වලකින් කඩා වැටුණු කොටසක් සේ ද ඇතැම්හු සලකති. නමුදු සමහරකු පවසන අන්දමට එය කිසියම් කාලයක මහ මුහුදින් ගසාගෙන අවුත් වෙරළ සමීපයේ තැන්පත් වූ සුවිශේෂ භූ රූපනයකි. නමුදු මේ මත විද්‍යාත්මකව සනාථ වී නැත.

දුරාතීතයේ සිටම දුර්ලභ ඔසු උයනක් වශයෙන් ජන සම්මතයේ පැවැති රූමස්සල අනාදිමත් කාලයක දී සිදු වූ බව පැවසෙන රාම රාවණා යුද්ධයේ දී තුවාල ලත් රාම කුමරුගේ සොයුරු ලක්ෂ්මන කුමරුන්ට ප්‍රතිකාර පිණිස හනුමන්තා නම් වානර සෙන්පතියා විසින් ඔසවා ගෙන එනු ලැබූ හිමාල වනයේ ඖෂධ සහිත වන කලාපයකින් කොටසකි.

මළවුන්ට පණ දිය හැකි බව පැවසෙන ‘මෘත සංජීව’ නම් වන එම ඖෂධය සහිත හිමාලයේ කුට්ටිය ඔසවා ගෙන අහසින් ලංකාපුරයට පැමිණෙන අතරේ එය දෙකඩ වී බිම වැටුණු බවක් ජන ප්‍රවාදයකින් පැවසෙයි. ඉන් එක් කොටසක් ‘රිටිගල’ වශයෙන් ද අනෙක් කොටස ‘රූමස්සල’ යනුවෙන් ද හැඳින්වෙන බව එම ජනප්‍රවාදයේ සඳහන් ය.

විසිවන සියවසේ මුල් භාගයේ, මෙරට වෙසෙමින් මිනින්දෝරු වෘත්තියේ යෙදුණු ඉතිහාසය සහ මානව විද්‍යා විෂය පථයන් පිළිබඳ සුවිශිෂ්ට දැනුමක් තිබූ විද්වතකු වන ආර්. එල්. බ්‍රෝහියර් සූරීන් විසින් ලියන ලද Seeing Ceylon නම් මාහැඟි කෘතියෙහි මෙම ජනප්‍රවාදය දෙඅයුරකින්ම දක්වා තිබේ.

එම දෙවන ජනප්‍රවාදයට අනුව රූමස්සල සහ තල්පෙකන්ද වශයෙන් හඳුන්වන කඳුවැටි දෙක එක් යෝධයකු විසින් ඔසවාගෙන එන අතර අතරමඟ දී එය දෙකඩ වී බිමට කඩා වැටී තිබේ. ඒ මොහොතේ ඔහු ‘ඔන්න වැටුණා’ යනුවෙන් කෑගසා ඇති අතර වත්මන් උණවටුන යන ග්‍රාම නාමයට මුල් වී ඇත්තේ යෝධයාගේ ඒ කෑ ගැසීම් ශබ්දයයි.

“රූමස්සල යනු හිමාලයෙන් කොටසක් යැයි සැලකෙයි. එමෙන්ම තපස්වීහු එහි ගොස් අමරණීයත්වය ගෙන දෙන බව පැවසෙන සන්සෙවි නම් පැළෑටිය සෙවීමට වෙර දරති. ලංකාවේ ද මෙම ජනප්‍රවාදය ඇති අතර මෙහි ඉතා දුලබ ඖෂධීය ශාක රැසක් ඇතැයි විශ්වාස කෙරේ.” බ්‍රෝහියර් සූරීහු සිය කෘතිය මඟින් එසේ ද පවසති.

රූමස්සල කන්ද ආශ්‍රිතව පවතින මෙම දුලබ ඖෂධීය ශාක බහුලත්වය මත ඒ අවට වෙද පරම්පරා ගණනක් ස්ථාපිත වූ බවත් එම පැරණි වෙද පරම්පරා සහ වෛද්‍ය ශාස්ත්‍රයන් අද අභාවයට ගොස් ඇති බවත් කියනු ලැබේ.

නමුදු රූමස්සල කන්දේ ඇති ඖෂධීය ශාක වල සේම එහි ඇති පාෂාණවල පවා විස්මිත ඖෂධීය ගුණයක් ඇති බව වටහා ගත් ඕලන්ද ජාතිකයෝ තම විවිධ රෝගාබාධ සම්බන්ධයෙන් රූමස්සල අවට විසූ පාරම්පරික වෙද මහතුන් ගෙන් ප්‍රතිකාර ලබා ගත් බවට සාක්ෂි තිබේ.

එලෙස ප්‍රතිකාර ගන්නා අතරේ ඔවුන් නැවතී සිටි පැරණි සුව නිවහනක් පිළිබඳව ද තොරතුරු ලැබී ඇති අතර වර්තමාන බොනවිස්ටා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ එම ස්ථානයේ යැයි කියනු ලැබේ.

එමෙන්ම එවක ගාල්ලේ කොටුව භාරව සිටි ඕලන්ද සේනාධිපතිවරයා ගේ බිරිඳට වැළඳුණු ආතරයිටිස් ලෙස සැලකිය හැකි රෝගයක් එම ප්‍රදේශයේ විසූ පාරම්පරික වෙද මහතකු රූමස්සලින් ගලා හැළෙන දියපහරකින් ගත් මඩ උණුසුම් කොට ශරීරයේ ගැල්වීමෙන් සුවපත් කළ බවත් ඉන්පසුව ඕලන්ද සේනාධිපතීන් ඒ දොල පාර ආශ්‍රිතව තමන්ට දිය නෑම පිණිස ළිඳක් පවා කප්පවා ගත් බවක් කියනු ලැබේ. වර්තමානයේ ද රූමස්සලින් ගලා හැලෙන බෙහෙත් දොළ එය ද යන්න විමසා බැලිය යුතු ය.

එමෙන්ම ඖෂධීය ගුණ සහිත විශේෂිත මඩ වර්ග ශරීරයේ තැවරීමෙන් සිදු කෙරෙන කලල චිකිත්සාව (Pelothearpy)  මීට සියවස් කිහිපයකට පෙර අප රටේ පැවැති බවට මෙය කදිම නිදසුනකි. එම පුවත ඇතැයි පැවසෙන පැරණි ඕලන්ද මුලාශ්‍රය හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ වරයකු වන පී. ඊ. පී. දැරණියගල සූරීන් ගේ ලේඛන අතර ඇති බවක් පැවසුණ ද මෙතෙක් එය සොයා ගැනීමට මට නොහැකි විය.

නමුදු මේ පිළිබඳව ම’විසින් කරනු ලැබූ දැනුම් දීමකට අනුව දැරණියගල සූරීන්ගේ එම ලේඛණය පිළිබඳව සොයා බැලීමට හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා ඉදිරිපත්ව සිටී.

නමුදු ඕලන්ද කාලයේ දීම ඕලන්ද ජාතිකයන් ගාල්ලේ කොටුව සහ ගාල්ල වරායේ දිය කඩනය තැනීම පිණිස රූමස්සල කන්ද ආශ්‍රිතව විශාල කළුගල් කැඩීමක් සිදු කරනු ලදුව එම පරිසර පද්ධතිය බොහෝ දුරට විනාශයට ලක්ව ඇති බව කියනු ලැබේ.

අපගේ අතීත පුරාවෘත්තයකට අනුව රාවණා රජු විසින් ලංකාපුරයට පැහැර ගෙන එන ලද සීතා දේවීය රූමස්සල කන්දේ පිහිටි සුවිසල් ගල් ලෙනක සඟවා තිබේ. ඒ බව දැන ගත් රාම කුමරු හනික පැමිණ එම ගල ඔසවා එතැනින් ඉවත් කොට සීතාව බේරා ගත් බවත් ඉන්පසු රාමා ඉස්සූ ගල පිහිටි ප්‍රදේශය රාමස්සුගල වී පසුව රූමස්සල නමින් ප්‍රකට වූ බවට ද ජන ප්‍රවාදයක් තිබේ.

එමෙන්ම රූමස්සල කන්ද ආශ්‍රිතව ඇතැයි පැවසෙන ඖෂධීය ශාක ප්‍රමාණය එකසිය පනහක් පමණ වන බව මීට කලකට පෙර රුහුණු විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි ද කියනු ලැබේ.

නමුදු එම කන්දෙන් ගලා හැලෙන බෙහෙත් දොළ නම් වන ජල මූලාශ්‍රය ආශ්‍රිත පාෂාණ ව්‍යුහය පරීක්ෂාවකට ලක් කළහොත් රෝග නිවාරන සහ රූපාලංකරණ චිකිත්සාවන් ආදිය සඳහා ඒවා යොදාගැනීමේ යෝග්‍යතාව විද්‍යාත්මකව සනාථ කර ගත හැකි වනු ඇත.

තිලක් සේනාසිංහ

t

o

p