රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කළත් පරීක්ෂණ අවසන් නෑ – චමල් රාජපක්ෂ

October 6, 2020

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොයුරු රියාද් බදියුදීන් සම්බන්ධයෙන් වන පරික්ෂණ අවසන්ව නැතැයි වාරිමාර්ග හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයේ බෝම්බ පිපිරවීම, ඊට සහයවීම හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට සෘජුව සම්බන්ධ බවට සිදුකරන ලද විමර්ශන වලින් මෙතෙක් අනාවරණය නොවු හෙයින් ඔහුව මුදා හැරීමට පියවර ගෙන ඇතැයි වාරිමාර්ග හා ආරක්ෂක රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

 අදාළ තැනැන්තා නිදහස් කිරීමෙන් ඔහු නිර්දෝශි පුද්ගලයෙකු ලෙස නොසැළකෙන බවත් මේ පිළිබඳව විමර්ශන අඛන්ඩව සිදුකරන බවත් ඇමතිවරයා පැවසීය. 

එමේන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් අය අත්අඩංගුවට ගනු ඇතැයිද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ අදාළ තැනැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස හයකට ආසන්න කාලයක් රඳවා ගනිමින් විමර්ශන සිදුකළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සියළු දෙනා කම්පාවට පත්කළ සිදුවීමක්. මීට සම්බන්ධ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගත්තා. නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් අයකු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පරස්පර ප්‍රකාශ දෙකක් සිදුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා අදාළ බෝම්බ ප්‍රහාරයට මේ තැනැත්තා සම්බන්ධ බවට . දැන් කියනවා, එවැනි සම්බන්ධයක් නොමැති බවට. ඒ නිසා මේ ප්‍රකාශ පරස්පරයි. මෙවැනි ක්‍රියා නිසා අදාළ තැනැත්තන් අගතියට පත්වීමත් සිදුවෙනවා. දැන් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ අත්වැල් බැදගැනීමක් වෙනුවෙන්ද.

ඇමති චමල් රාජපක්ෂ මහතා

“හොඳ වෙලාවට ප්‍රශ්නේ ආවේ. මෙකේ කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් සමග නෑ. සාමාන්‍යයෙන් පොලීසියේ රාජකාරී කරන ක්‍රමවේදයන් අනුව, තමයි ඒ කටයුතු සිදුවෙලා තියෙන්නේ.ඔබතුමා අහපු ප්‍රශ්නයකට මම පිළිතුරු දුන්නා දහදෙනකු සිටින බවට. ඒ අයගෙන්ද ඇතැම් අය නිදහස් කර තිබෙනවා;එලෙස නිදහස් කර තිබෙන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ බවට තෙරතුරු නොමැති නිසා.

ඒ වගේම නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන අයත් සිටිනවා.ඒ වගේම සැකකරුවන් මුදාහැර ඇති අවස්ථාත් තිබෙනවා. සමහර අය වෙනුවෙන් ඉදිරි නඩු දින තිබෙනවා.

ඔය කියන පුද්ගලයා 2019.04.21 වන දින කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වසරේ පවත්වනු ලබන ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 2020.04.14 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කරලා තියෙනවා. තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින 3ක කාලය අවසන් වීමෙන් පසුව මාස 3 බැගින් දෙවතාවක් මාස 6ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදුකරනු ලැබු විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීමට සහය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා නෑ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර 2020.09.28 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනම ම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ පිළිබඳ විමර්ශන කරන්න. ඒ අය සියලුම දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා ඒ සියලුම දුරකථන ඇමතුම් අමාත්‍යාංශයේ දුරකථන මඟින් අරගෙන තියෙන්නේ. අවසාන දුරකථන ඇමතුම් ලබා ගෙන තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. ඒ නිසා තමයි ඍජුව මේ ගැන සාක්ෂි නැති නිසයි නිදහස් කරන්න තීරණය කරලා තියෙන්නේ.නිදහස් කරයි කියලා ඒක නිර්දෝෂීභාවය නෙමෙයි.  පොලීසිය තවදුරටත් මේ ගැන සොයා ගෙන යනවා. විමර්ශනයන් නතර කරලා නෑ. සමහර වෙලාවට  ඉදිරියේ දී තව තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්.

ඒ වගේම මෙම තැනැත්තා ත්‍රස්තවාදි ක්‍රියාවට සම්බන්ධ තැනැත්තාට දුරකථන ඇමතුම් ලබාදි තිබෙනවා. ඇතැම් විට ඒ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වෙන්නට ඇති.අවසාන දුරකථන ඇමතුම දී තිබෙන්නේ බෝම්බ ප්‍රහාරයට මාස තුනකට පෙරයි. ඒ වගේම  පොලිස් විමර්ශන වලදී යම් යම් තැනැත්තන් අත්අඩංගුවට ගන්නට සිදු වෙනවා. විමර්ශන කටයුතු සිදුකරන විට නිවැරදි තොරතුරු නැත්තම් මුදා හරින්නට සිදුවෙනවා. ඒ වගේම නිවැරදි තොරතුරු නැතිව කව්රුත් හිරකරගෙන තියාගන්නට බැහැ.මානව හිමිකම් යන්නට පුළුවන්. කාටවත් අසාධාරණයක් සිදුවෙන්නට බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.

පොලිසිය  පිළිබඳව විශ්වාසය බිද වැටිලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පරස්පර ප්‍රකාශ සිදුකර තිබෙනවා.

ඇම‍ති චමල් රාජපක‍්ෂ මහතා

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය සුදුසු නැහැ. එම ප්‍රකාශය සිදුකළ යුතුව තිබුනේ විමර්ශන අවසන් කිරිමෙන් පසුවයි. දේශපාලකයින් වගේ මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම සුදුසු නැහැ. මේ ගැනත් සොයා බලනවා.

t

o

p