දරුවන් ගේ පාසල් වැඩ පොත් පිටස්තරයන්ට පෙන්වීමෙන් ඇස් වහ කටවහ වැදිය හැකිද?

October 5, 2020

කුඩා දරුවන් තමන් ගේ පාසල් වැඩ පොත් සහ අභ්‍යාස පොත් තම පවුලේ සමීපතම
ඥාතීන්ට හැරුණු කොට බාහිර කිසිවෙකුටත් නොපෙන්විය යුතුය යන පොදු මතයක්
මෙරට මධ්‍යම පාන්තික සමාජයේ මව්වරුන් අතරේ පැතිර යමින් තිබේ.  තම
දරුවන්ගේ අධ්‍යාපනික තත්වයන් පිළිබඳ ව නිරතුරුවම සංතීක්ෂණ අවධානයෙන් පසු
වන මව් වරුන්ට වරින් වර දරුවන්ගේ අධ්‍යාපනික පසුබෑම් සහ ඒවාට හේතු කාරණා
විමසීමේ දී ඔවුන්ගේ පාසල් වැඩ පොත් බාහිර පුද්ගලයන්ගේ අවධානයට ලක් ව ඇති
බව නිරීක්ෂණය වීම මෙම මතය පැතිර යාමට හේතු වී තිබේ.


 දරුවකුගේ අධ්‍යාපනය යනු ඔහු තුළ පවත්නා බහු විධ බුද්ධිය පෝෂණය කරනු ලබන
යාන්ත්‍රණයකි. නමුදු එහි විධිමත් බව පිළිබඳව අදත් ලොව පුරා වාද විවාද
පවතී.මිනිස් බුද්ධිය යනු  යනු ගණිතමය හා භාෂාමය ගැටලු විසඳීමෙන් විදහා
දැක්විය හැකි තර්ක ශක්තියක් ලෙස පිළිගෙන තිබූ අවදියක බහු විධ බුද්ධි
න්‍යාය ඉදිරිපත් කිරීමෙන් ඇමරිකානු මනෝවිද්‍යාඥයෙකු වන හොවාර්ඩ් ගාඩ්නර්
බුද්ධිය පිළිබඳවපැවති පැරණි මතවාද දුරු කොට මිනිස් බුද්ධිය පිළිබඳ
මානව චින්තනය වෙනත් මගකට යොමු කිරීමට  සමත් විය.ඒ අනුව කිසිදු දරුවකු ගේ
අධ්‍යාපනික හැකියාවන් ඒකාකාරී නොවන අතර නිරතුරුව එහි උච්චාවචනයන් දැකිය
හැක.


නමුත් මෙවන් තත්වයක් යටතේ වුව තම දරුවන්ගේ කුශලතා පිළිබඳ සත්‍ය වටහා
ගැනීමට නොකැමති බොහෝ මව්වරු තම දරුවා ගේ එම පසුබෑම අනෙකකුගේ ඇස්වහ කට වහ
නම් වන ගුප්ත දෝෂ වැදීමක් ලෙස උපකල්පනය කරති.මෙලෙස තමන්ට පිළිගත නොහැකි
සහ එසේ පිළි ගැනීමෙන් මානසික බිඳ වැටීම් ඇති වන දේ වෙනතකට හරවා යැවීමෙන්
එම මානසික බිඳ වැටීම වලක්වා ගන්නා මානසික ක්‍රියාවලිය මනෝ විද්‍යාවේ
හැඳින්වෙනුයේ මනෝ විද්‍යාත්මක ප්‍රක්ෂේපණය[Psychological projection]
යනුවෙනි.එමෙන්ම පසු සිදු වීම පෙර සිදුවීමක අතාර්කික ප්‍රතිඵලයක් ය යන
ගුප්ත විශ්වාසයක් ද ලොව පුරා පවතී.මෙය ලතින් භාෂාවෙන්  Post hoc ergo propter hoc
යනුවෙන් හැඳින්වෙයි.කොළඹ පිටකොටුවේ පීපල්ස් පාක් ගොඩනැඟිල්ලේ විවිධ
මාදිලි වල ස්ටිකර් තොග හා සිල්ලරට අලෙවි කරන වෙළඳ සල් කිහිපයක්ම දක්නට
ඇත.ඒවායේ අලෙවි වන ස්ටිකර් අතුරින් වැඩිම වේගයකින් රට පුරා බෙදා හැරෙන
ස්ටිකර් අතරේ “ඇස් වහ කට වහ දුරු වේවා” “මෙම නිවසට,වෙළඳ සලට,රථයට බුදු සරණයි, දෙවි පිහිටයි” ආදී වශයෙන් සඳහන් ස්ටිකර් වලට මුල් තැනක් හිමි ව තිබේ.


මීට දශක පහ හයකට ඉහත නොතිබූ මෙවන් ඇස් වහ කට වහ භීතිකාවක් මේ වන විට අප
සමාජය පුරා පැතිරෙමින් පවතිනුයේ ඇයි? මෙය පොදු සමාජ කතිකාවකට ලක් විය
යුත්තකි.”ඔය ඇස් වහ කට වහ විශ්වාස පැතිරෙන්නේ ඉහළ සහ පහළ මධ්‍යම පාන්තික
සමාජයේ විතරයි.සාමාන්‍ය ජනතාව බොහොම දුක සේ සල්ලි හම්බු කරගෙන ගෙවල් හදන
අතරේ ඒවා ඇස් වහ කට වහ කට වහ වලින් බේරා ගන්නත් වෙනම දුකක් විඳිනවා.ඒත්
කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් කොල්ල කාලා සමහර දේශපාලඥයෝ හදන මාලිගා වලට
ඔය ඇස් වහ කට වහ මුකුත් නැහැනේ” දිනක් ඒ සම්බන්ධයෙන් කතා බස් කරමින්
සිටියදී මම මගේ හිතවතෙකුට කීවෙමි.”ඇයි හොරුන්ට ඇස් වහ කට වහ  නොවදින බවට
ජන සම්මතයක් තියනවා ඒක දන්නේ නැද්ද?”ඔහු ගත් කටටම ඇසීය.


සරදමක් සේ පෙනුණ ද ඔහු හේ ඒ කතාවෙහි යම් හරයක් තිබේ.තරාතිරම කුමක් වුව ද
සොරුන් සේම ගණිකාවන්, ආබාධිතයන්, යුද සෙබළුන් ආදී වහ දොස් එල්ල නොවන
පුද්ගල තරාතිරම් පිළිබඳ විවරණයක් ද අපගේ ජන විඥානයේ තිබේ.එමෙන්ම මෙම වහ
දෝෂ පිළිබඳ පොදු ජන විශ්වාසයන්ට අනුව ආගමික සිද්ධස්ථාන සහ පොදු දේපළ
මුළුමනින්ම ඒවායින් නිදහස් ය.


 නවීන සහ රමණීය ගොඩනැඟිලි ඇස්වහ කටවහ බලපෑම් පහසුවෙන් එල්ල වන බව ප්‍රකට
මතයකි. නමුදු කෙතරම්  නවීන සහ රමණීය මට්ටමක පැවැතිය ද රජය සතු ගොඩනැගිලි,
වාහන සහ වෙනත් සම්පත් ද මෙම වහ දෝෂවලින් නිදහස් ය.  කෙතරම් මහේශාඛ්‍ය
ස්වරූපයක් පැවැතිය ද පැරණි වලව් වැනි මහේශාඛ්‍ය නිවහන් සහ මන්දිර සේම
ඒවායේ ජීවත් වන වංශවත් පුද්ගලයෝ ද මෙම වහ දොස් වලින් නිදහස් වෙති. එසේම
රෝගීන් වෙත ද ඇස්වහ, කටවහ වැනි වහදොස් එල්ල නොවේ.ඒ අතරේ රාජ උදහසට
ලක්වූවන්, බන්ධනාගාර රැඳවියන් ආදී වශයෙන් පොදු සමාජයෙන් බැහැර කරන ලද
තවත් පිරිස් කෙරෙහි දමෙම ඇස්වහ කටවහ ආදී වහ දෝෂ බල නොපවත්වන බව ද අප ගේ
ජන විඥානයේ සනිටුහන්ව ඇත.මෙලෙස වහ දොස් එල්ල වීම සම්බන්ධයෙන් අතීතයේ
රජවරුන්ට ඇති හිමිකම ම නීච කුලීනයන් යනුවෙන් හැඳින්වුණු ජන කොටස්වලට ද
හිමිව තිබේ.


මේ සියළු කරුණු විශ්ලේෂණාත්මකව බලන විට අප සමාජයේ ඇස්වහ, කටවහ ආදී වශයෙන්
වන අවදානම ඇත්තේ ද යහපත් දිවි පෙවෙතක් ගත කරනු ලබන ඉහළ හා පහළ මධ්‍යම
පාන්තික ජනතාවට පමණක් බව ඉතා පැහැදිලි ය.මෙය මෙතෙක් බොහෝ දෙනෙකුගේ
අවධානයට යොමු වී නැත.එබැවින් මෙම ජන විශ්වාසය පිළිබඳ සමාජ මනෝ
විද්‍යාත්මක මූලය ද විමසා බැලිය යුතුය.


මිනිසුන් හට ගුප්ත හානි පමුණුවන මිනිසුන් විසින් මිනිසුන් වෙත එල්ල කරන
අන, වින හදි හූනියම්, ශාප කිරීම් ආදී වශයෙන් විවිධාංගීකරණයට ලක් කළ හැකි ඒවා
අතුරින් මුල් තැනක් ගනු ලබනුයේ ඇස්වහ, කටවහ ය. මෙම ගුප්ත විශ්වාසය
සම්බන්ධ විශේෂත්වයක් ද තිබේ. එනම් මෙය ලොව පුරා කිසිදු ආගමික,
සංස්කෘතික භේදයකින් තොරව සෑම ජන සමාජයක් තුළම දැකිය හැකි
ප්‍රධානම ගුප්ත විශ්වාසයක් වීම ය. මිනිසා තුළ පවත්නා ආත්ම කේන්ද්‍රීය
භාවයත්, සමාජමය සත්වයන් වශයෙන් මිනිසුන් අතර පවත්නා අනොන්‍ය
තරඟයත් මුල් කොට හට ගන්නා අන්‍යයන් වෙතින් තම ජීවන යහපැවැත්මට
අනතුරක් සිදුවිය හැකිය යන සිතුවිලි දාමයේ ගුප්ත ආරෝපණයක් ලෙස මෙම
ඇස්වහ, කටවහ හැඳින්විය හැකි බව සමාජ මනෝ විද්‍යාඥයන් ගේ පොදු
මතයයි.


පහුගිය වසර කිහිපය පුරා මෙම වහ දෝෂ සම්බන්ධයෙන් ම’විසින්
කරනු ලැබූ නිරීක්ෂණයන් මඟින් තහවුරු වූ පරිදි ඇස් වහ, කටවහ, හෝවහ
සහ අඬෝවැඩියා දෝෂ නමින් හඳුන්වන මෙම ගුප්ත දෝෂ සමාජයේ ඉහළ සහ
පහළ මධ්‍යම පන්තිය අතර පමණක් දෝලනය වන්නකි. ජන සම්මතයේ එන
ඇස්වහ කටවහ වදින සහ නොවදින පුද්ගලයන් සහ වස්තූන් පිළිබඳ
අධ්‍යයනය කිරීමෙන් මෙම නිගමනයට ඒමට මට අවකාශ ලැබිණ. එසේ ගොනු
කර ගන්නා ලද ඇතැම් කරුණු පදනම් කර ගනිමින් 2018 වසරේ දී ‘ඇස්වහ
කටවහ – වහදොස් පිළිබඳ සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක්’ යනුවෙන්
කෘතියක් එළි දැක්වීමට ද මට අවකාශ ලැබිණ.


අන වින, හදි හූනියම් ආදී සෙසු වින දෝෂ ඒවා සිදු කළවුන් වෙත
ආපසු හරවා යැවීමේ ගුප්ත ක්‍රම ඇති බව පුරාණ භාරතීය ගුප්ත
ශාස්ත්‍රාවලියේ එන අෂ්ට කර්ම අතරින් සත්වැන්න වන උච්ටාටන කර්මයෙන්
පැහැදිලි වේ. නමුදු ඇස්වහ කටවහ ආදී මෙම වහ දොස් එලෙස උච්චාටනය
හෙවත් ආපසු හරවා යැවිය නොහැකි බව ද පොදු ජන සම්මතයයි. ඒ හුදෙක්
ඒවා යම් යම් පුද්ගලයන් ගේ සමාජ, ආර්ථික අසරණ හා අනාරක්ෂිත බව
මගින් පැන නඟින පවිටු සිතුවිලි මත පදනම් වන නිසා විය හැක. නමුදු
මෙබඳු වහ දොස් පිළිබඳ විශ්වාසයන් බුදු දහමින් සෛද්ධාන්තිකව ප්‍රතික්‍ෂේප
වන බව ඉතා පැහැදිලි ය.


අත්තනාව කතං පාපං – අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං – අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං – නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ
(තම කිළිටි බවට හේතුව තම අයහපත් කම් ය. අයහපත් දේ
නොකිරීමෙන් තමන්ට කිළිටි බව දුරලිය හැක. පිරිසිදු බව සහ කිළිටි බව
තමන් සතුවනු මිස අනුන් සතු කළ නොහැක) යන ධම්මපදයේ අත්ත
වග්ගයට අයත් ගථා පාඨයෙන් මේ බව මනාව තහවුරු වෙයි.


“නුඹේ දකුණු ඇස නුඹට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ
මුළු ශරීරයම නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට
යහපත් බැවිනි”බයිබලයේ ශුද්ධ මතෙව් සුභාරංචියේ පස් වන පරිච්ඡේදයේ 29 වන
ඡේදය වශයෙන් සඳහන් ඉහත දැක්වෙන ප්‍රකාශය මත යමකුට ද්‍රෂ්ටිමය වශයෙන්
කෙරෙන පාපය වුව බරපතල විපාක ගෙන දෙන්නකි.එමඟින් පැවසෙනුයේ ද ඇස් වහ වලට
ලක් වන්නා නොව ඇස් වහ එල්ල කරන්නාම අපායගාමී වන බවකි.


 මෙවන් පසුබිමක් යටතේත් ලොව බොහෝ ජන සමාජයන් තුළ ඇස් වහ කට වහ විශ්වාස
පැතිරීම පිළිබඳව විමසීමේ දී ඊට මුල් වන හේතූන් මනෝ මූලික,පෞරුෂ සහ සමාජ
සංස්කෘතික වශයෙන් හඳුනා ගත හැකිය.යම් යම් පුද්ගලයන් තුළ පවත්නා මානසික
අර්බුද සහ රෝග මත හටගන්නා  මෝහමය ප්‍රත්‍යක්ෂයන්[Delusional perception]
හෙවත් ගුප්ත වටහා ගැනීම් නිසා මෙවන්  විශ්වාස පැන නැඟිය හැකි බව මනෝ
විද්‍යාත්මක මතයයි. ඒ අතර  ඇස් වහ කට වහ විශ්වාස පැතිරීම පිළිබඳව වඩාත්
පොදු තත්වය වනුයේ බොහෝ දෙනෙකු  තම දිවි පැවැත්ම තුළ ඇතිවන අයහපත් බලපෑම්
නිසා හට ගන්නා කාංසාවෙන් අත් මිදීම පිණිස එම අයහපත් බලපෑම්  සඳහා වෙනත්
අර්ථ කතන දීමෙන් තම මානසික සුරක්ෂිතතාවය  රැක ගැනීමය.මෙය සංරක්ෂණ
උපයෝග[Defense mechanism] නම් වන මනෝ විද්‍යාත්මක සංසිද්ධිය හා සම්බන්ධ
වන්නකි.සාම්ප්‍රදායික සිතුම් පැතුම් ආකල්ප බහුල නවීකරණය නොවූ සමාජයන් තුළ
ද මෙවන් ගුප්ත විශ්වාස සහ ඒවා සඳහා සිදු කරනු ලබන ශාන්ති කර්ම වල
ව්‍යාප්තියක් දක්නට පුළුවන. මේ කවර තත්වයක් යටතේ වුව මෙවන් පදනම් විරහිත
ගුප්ත විශ්වාස කුඩා දරුවන් ගේ මනැස් තුළට පිවිසුවීම ඔවුන්ගේ අනාගතය
සම්බන්ධයෙන් කරනු ලබන අතිශය අයහපත් බලපෑමක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.
තිලක් සේනාසිංහ


තිලක් සේනාසිංහ

t

o

p