ලෝ වැඩ සඟරා ඔවදනින් වත් කොරෝනා අවදානම පිටු දකිමු

September 25, 2020

අසල් ගෙයක සොරකම් ගිය දවසෙක
කුහුල් සිතින් ඉන්නේ් තම ගේ රැක
සියල් සතුන් මරු ගෙන යනු දැක දැක
කුසල් නොකර ඉන්නේ ඇයි නොව සැක

 මා කුඩා කාලයේ නිතර අසා,නිතර කියවා කට පාඩම් කරගෙන තිබූ ලෝ වැඩ සඟරාවේ එන ඒ කවිය දැන් මට යළි යළිත් සිහිපත් වෙයි.ඒ මානව ඉතිහාසයේ බිහිසුණුම  වසංගතයක් ලෙස ලොවම එක හෙළා පිළිගත් කොරෝනාව දැන් අපේ අල්ලපු වැටේ-අල්ලපු රටේ මහා නස්පැත්තියකට මුල පුරා තිබීම නිසාය.

ඉන්දියාවේ දිනකට හමුවන අලුත් කොරෝනා රෝගීන් ගනන 97000 පනියි
ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට තුන්කෝටි හත් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර සමස්ථ මරණ ගණන නව ලක්ෂ පනස් හය දහසකට අධිකය. කොවිඩ් වසංගතයේ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 53 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 85,625 දක්වා වැඩි වී තිබේ.

ඉන්දියාවේ ආසාදිත රෝගීන්ට දැඩිසත්කාර ඇඳ පහසුකම් සහ ඔක්සිජන් සැපයුම අතින් ද හිඟයක් පවතී. ගිලන් රථයක් පැමිණෙන තුරු බලා සිට මහමඟ ම මියැදුණු මිනිසුන් පිළිබඳවත් රෝහල්වලට භාර නොගැනීම නිසා කොවිඩ් වැළඳුනු ගැබිණි මව්වරුන් මියයාමේ සිදුවීම් රැසක් ද ඉන්දියාවෙන් වාර්තා වේ අවසන් ගෞරව දැක්වීමට ඇති නොහැකියාව මත මළසිරුරු සමූහ මිනී වළවල් වලට විසිකර දමන අයුරුද ඉන්දියාව තුළ දක්නට ලැබේ.

නීත්‍යානුකූල සංක්‍රමණ යනු කසාද සහතිකය මඟින් අනාචාරය සිවිල් වරදක් බවට පත් කළාක් වැනි දෙයකි.ලෝකයේ සෑම රටක් තුළටම පාහේ විවිධ උපාය මාර්ග මඟින් අනවසර සංක්‍රමණිකයෝ ඇතුළු වෙති.ඉන්දියාවෙන් අප රටට අනවසර භාණ්ඩ සේම අනවසර සංක්‍රමණිකයන් ද නොපිවිසෙන්නේ යැයි කිව හැක්කේ කාටද? අනික භාෂාත්මක වෙනස හැරුණු කොට  රූප කාය වශයෙන් අපට ඉන්දියානුවන්  අපේ රටේ අයගෙන් වෙන් කර හඳුනා ගැනීම අපහසු ය.

  “කොරෝනාව නැවත ව්‍යාප්ත වීම ගැන වගකිව යුත්තන්ගෙ අවධානය මදිද?”පසුගිය දවසක මගේ හිතවතෙක් ඇසීය. “මොකද නැත්තේ.අපේ ලොක්කෝ අර පාස්කු ප්‍රහාරය වගේ තොරතුරු ලැබිලත් ගාණක් නැතුව ඇල් මැරුණු ස්වභාවයෙන් ඉන්නවා.අනික  අපිට එහෙම හැදෙන්න ඉඩක් නැහැ කියන්න පුලුවන් සෞඛ්‍ය ලොක්කෙක් ඉන්නවාද? මම ආසයි එයාව බලා
ගන්න. ජනතාවට මුලදි වගේ මෑතකදි ආරක්ෂක පියවර ගන්න කිව්වෙ නැහැ. ලොක්කො ඒව ගන්නෙත් නැහැ. මුලදි කොහොමද ෂෝඑක? දැන් නිදි වගේ.

නිකං ලාවට නැගිට නැගිට දොඩවනවා.තමන් කියන්නෙ මොනවද කියලා අඩුම තරමින් ඒ අයවත් දන්නේ නැහැ” මම කීවෙමි. ලෝ වැඩ සඟරාව පරණ පොතකි.එහෙත් එහි දැක්වෙන කරුණු කෙසේවත් පරණ නොවේ.

එනිසා මට සිතෙනුයේ අපේ අල්ලපු රටට මහත් ව්‍යසනයක් උදා කරමින් සිටින කොරෝනා රකුසා මැඬලීමට ලෝ වැඩ සඟරාව හෝ පිහිටට ගත යුතු බවය.

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ

t

o

p