අප රටේ දේව ඇදහීම් සහ දේවාල එක් කරන කේන්ද්‍රීය සාධකය පූජා වට්ටියයි.
පසුගිය දිනයෙක කතරගම ගොස් පැමිණි අයකු මා හා කියා සිටියේ දෙවොල ඉදිරියේ
පෙළ ගැසී සිටි බැතිමතුන් ගේ අත්වල තිබූ ඇතැම් පූජා වට්ටි වල රුපියල්
පන්දහසේ නෝට්ටු කිහිපය බැගින් පවා දක්නට තිබූ බවකි. නිතිපතා කතරගම යන
එහෙත් කොරෝනා භීතිය නිසා පසුගිය මාස කිහිපය තුළ කතරගම යාමට නොහැකි වූ
ධනවතුන් එලෙස පසුගිය කාලයේ දීමට මඟ හැරුණු හිඟ පුද පඬුරු ද රැගෙන දෙවියන්
බැහැදැකීමට පැමිණි බව ඔහුගේ අදහස විය. කෙසේ හෝ පසුගිය කාලය තුළ බැංකු
ඇතුළු මූල්‍ය ආයතන වලට ගෙවීමට නොහැකි වූ හිඟ වාරික ගෙවීමට තබා රුපියල්
සියයක් දී පොල් ගෙඩියක් ගැනීමට නොහැකිව සුසුම් ලන බහුතරයක් සිටින රටක
දෙවියන් හට හෝ එසේ හිඟ වාරික ගෙවිය හැකි පිරිසක් හිඳීම සතුටට කරුණකැයි
මම ඔහුට කීවෙමි.
භක්තියට සහ විචාර බුද්ධියට කිසි දා එක මඟක ගමන් කළ නොහැකි ය. ඒ භක්තිය හා
විචාර බුද්ධිය නිරතුරුවම එකි`නෙකට ගැටෙන ස්වභාවයක් පෙන්නුම් කරන බැවිනි.
ඒ අනුව තමන් විසින් වියපැහැදම් කරන සෑම මුදලක්ම අන්තිම සතයට ගණන් බලන දේව
භක්තිකයෝ තමන් දෙවියන් ගේ නාමයෙන් පූජා වට්ටියට තබන රුපියල් පන්දහසේ
නෝට්ටුවට සිදු වනුයේ කුමක් ද කියා සිතීමටවත් නොවෙහෙසෙති. ඒ එලෙස විචාර
පූර්වකව සිතීම තුළින් දැන ගැනීමට ලැබෙන කරුණු මත එම දේව පූජාවෙන් ලත්
මානසික ආස්වාදය මළ මිනියේ උණ බහින්නාක් මෙන් ශීඝ්‍රයෙන් පහළ බසින නිසාය.
එනිසාම ඔවුන්ගේ එම අන්ධ භක්තික මානසිකත්වය අප රටේ දේවාල මඟින් යැපෙන
පාර්ශවන්ට හිමිවන”දිව්‍යමය “වරප්‍රසාදයක් ව තිබේ.
පඬුර යනු පූජා වට්ටියක තිබිය යුතු සාම්ප්‍රදායික අංගයකි. එමෙන්ම මෙම
පඬුරු බැඳීම, ඒ ඔස්සේ බාරහාර වීම සහ ඒවා ඔප්පු කිරීම නොවිධිමත් මනෝ
චිකිත්සාවක් ද වෙයි.
තමන් හෝ සමීප ඥාති මිත්‍රාදීන් මුල් කොට සිතට නැඟෙන කිනම් හෝ ගැටළුවක්
මුල් කොට ආධ්‍යාත්මික විසඳුමක් අපේක්ෂා කරන්නකුට තමන් විසින් අදහනු ලබන
දෙවියකු මුල් කොට දේවාරක්ෂාව අයැද සිටීමක් ලෙස නිවසේ දීම පඬුරක් ගැට
ගැසීමට පුළුවන. කිසියම් මුදල් කාසියක් ගෙන එය කහ දියරින් සෝදා තම සිතෙහි
පවතින කරුණ වාචික ව හෝ සිතුවිලි මඟින් එම දෙවියන් හට පවසන අතරේ එම කාසිය
පිරිසිදු රෙදිකඩක ගැට ගසා උස් පිරිසිදු ස්ථානයක තැබීම පඬුරක් ගැට
ගැසීමෙන් දෙවියන් හට බාර විම බව ජන සම්මතයයි. තම අරමුණ ඉටු වූ පසු ඒ පඬුර
ද රැගෙන ගොස් එම දෙවියන්ට අදාල දෙවොල දී එම බාරය ඔප්පු කළ හැකි ය.
මීට අමතරව සමහරු පූජා වට්ටි වල පඬුරු තබමින් ද දෙවියන්ට බාර වෙති. ඒ අනුව
දෙවියන් උදෙසා වන පඬුරකට ගැට ගැසිය හැකි ලොකුම මුදල රුපියල් දහයකි. මෙම
නොවිධිමත් මනෝ චිකිත්සාව භාව විශෝධන ක්‍රියා [Catharsis] ලෙස සැළකෙයි.
දෙවියන් උදෙසා පුදනු ලබන පූජා වට්ටිය පාරිශුද්ධත්වයේ සංකේතයක් වශයෙන්
සළකනු ලැබේ. ඒ සඳහා ගනු ලබන ද්‍රව්‍ය, කළමණා සෝදා පිරිසිදු කරන්නේ
එබැවිනි.
එහෙත්, එම පඬුරට අමතරව පූජා වට්ටියේ උඩින්ම තැබෙන මුදල් නෝට්ටුව එවැනි
විශේෂ පවිත්‍රකරණයකට ලක් කෙරෙන්නේ නැත. අඩුම තරමින් එය මස් කඩයක, මාළු
කඩයක මුදලාලි නෙනෙකු අත පත ගෑ සත්ව ලේ හෝ මාළු පිළී තැවරීමෙන් කිල්ලට හසු
වූවක් ද යන්න පිළිබඳව හෝ බැතිමතා සිතන්නේ නැත. එසේ සිතුවහොත් එම මුදල්
නෝට්ටුව ද කහ දියරින් සෝදා වියළා ගැනීමට ඔහුට සිදු වෙයි. එහෙත්, මෙහි
සැබෑ කතාව අනෙ`කකි. එම පූජා වට්ටියේ ඇති මල්, පලතුරු ඇතුළු සියල්ල
දෙවියන් උදෙසා වන අතර ඒ මත ප්‍රදර්ශනාත්මකව තැබෙන මුදල් නෝට්ටුව කපුවා
උදෙසා ය. තමන් උදෙසා දෙවියන්ට කන්නලව්, යාතිකා කිරීම වෙනුවෙන් බැතිමතා
විසින් කපුවාට දෙන ඒ මුදල පාරම්පරිකව හැඳින්වෙනුයේ “බැළය” යන නමිනි.
කිසියම් කටයුත්තක් මුල් කොට දෙනු ලබන දීමනාව ගැමි වහරට අනුව ‘බැළය’ නම්
වෙයි. කුලියට පොල් කැඩීම වෙනුවෙන් ‘බැළ ගෙඩි’ ලෙස පොල් ගෙඩි ලැබීම වශයෙන්
අද ද ව්‍යවහාරයේ පවතී. අප රටේ වැඩවසම් සමාජ ක්‍රමයක පැවැති අතීතයේ
ග්‍රාමීය මට්ටමේ දේවාල වල කපුවන්ට යාදිනි කන්නලව් උදෙසා හිමි ‘බැළය’ බොහෝ
විට ලැබුණේ එම බැතිමතුන්ගේ වතු පිටි වල වැවුණු බව බෝග වලින් හා ශ්‍රමය
මුල් කරගත් ඔවුන් ගේ කෘෂි සහ අනෙකුත් නිෂ්පාදන වලිනි. පසුව සමාජයේ මිල
මුදල් පරිහරණය ව්‍යාප්ත වෙත්ම ඒ වන විට තුට්ටුවක දෙකක මුදලක් ‘බැළය’
වශයෙන් කපුවාට දීම ඇරඹුණි. එහෙත්, ඒ ඔහුගේ කාරිය නිම වීමෙන් පසුව විනා
පූජා වට්ටිය මත තබා නොවේ. නමුත් එවකට අප රටේ පැවැති ප්‍රධාන දේවාල වල
තත්වය මීට තරමක් වෙනස් විය.
සියවස් කිහිපයක් තිස්සේ පැවත එන චාරිත්‍ර ධර්ම අනුව උඩරට දේවාලවල සියලු
බලතල පවරා ඇත්තේ බස්නායක නිලමේ වරයා වෙතය. අතීතයේ රජ වරුන් විසින් මෙම
තනතුර සඳහා ප්‍රභූන් පත් කළ අතර පසුව එය ඊට අදාල පාර්ශවයන්ගේ ඡන්දයෙන්
පත් කර ගැනීම අරඹන ලදී. එමෙන්ම එම දේවාලවල කපුවන්ගේ රාජකාරී අධීක්ෂණය කළ
‘බෙත්මේ රාළ’ නිලය ද මේ වන විට අහෝසි හෝ අක්‍රිය වී තිබේ. අතීතයේ දේවාල
වල සිදු කෙරෙන මේ සෑම රාජකාරියක් සඳහාම වැටුප් ගෙවීමක් කළේය. දේවාලයේ
තේවාව භාර කපුවකුගේ වැටුප රුපියල් දෙකක් හෝ තුනක් විය. ඒ අනුව ඒවායේ සේවය
කරන කපුවන්ට ගම්බද දේවාල වල දී මෙන් ‘බැළයක්’ ලැබීමට අවශ්‍ය නොවිණි.
අද වන විට අප සමාජයේ බොහෝ දෙනෙක් මෙම ‘පඬුර’ සහ ‘බැළය’ එකකැයි සිතති.
1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් ආඥා පනතට අනුව ශ්‍රී ලංකාවේ සියළු
සියලු විහාර සහ දේවාලගම්හි ආදායම් මාර්ගයක් වන ‘පඬුරු පෙට්ටිය’ මඟින්
ලැබෙන ආදායම් පිළිබඳ ව එම ස්ථානයේ භාරකාර තැන විසින් ගිණුම් පවත්වාගෙන
යා යුතු වෙයි. ඒවායෙහි අයවැය හා ඇස්තමේන්තු වාර්ෂික හෝ අර්ධ වාර්ෂික
වශයෙන් සකස් කර බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත එවිය යුතුය. මෙම පඬුරු
පෙට්ටිවල ආදායම් ගණනය කිරීම අදාල භාරකරුගේ ලිඛිත ඉල්ලීමකින් පසුව
දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව භාරකරු සහ බැංකු නිලධාරින්
ඉදිරිපිටදී සිදු විය යුතු වේ. අවසානයේ මෙම සියලු ආදායම්
පාරදෘෂ්‍ය භාවයකින් යුතුව ගනණය කර අදාල ස්ථානයේ නමින් පවත්වාගෙන යන බැංකු
ගිණුමකට බැර කළයුතු අතර එම පනතෙහි 24 වන වගන්තිය මඟින් මෙම මුදල් බැංකුගත
කිරීම පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා ඇත.
නමුදු අද වන විට මෙම බැළය ‘අල්ලසක’ ස්වරූපය ගෙන තිබේ. මීට හැට වසරකට පමණ
පෙර ‘බලදේව දේශබන්ධු’ නම් ලේඛකයකු ‘සර්ව දේව යාදිනි සහ දේව කන්නලව්ව’ නම්
කෘතියෙහි පෙර වදනෙහි “රුපියල බැගින් පගාව නොදුන්නොත් කපුවන් පූජා වට්ටි
ප්‍රතික්ෂේප කිරීම බැතිමතුන්ගේ කලකිරීමට හේතු වී ඇති බව” සඳහන් ය.
‘හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය
කතරගමට අපි යහතින් ආවාය
සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව
සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය’
වත්මන් සමාජයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවති අප රටේ ප්‍රධාන පෙළේ
දේවාල හා සබැඳි දෙවියන් ඉදිරියේදීම කපුවන් බැතිමතුන්ගෙන් පගාව ගැනීමේ
ක්‍රියාවලිය පිළිබඳ ජනතා අප්‍රසාදය මීට දශක කිහිපයකට පෙර ගීතයකට එක් ව
තිබුණේ එලෙසිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලදුව
විශාරද නන්දා මාලිනී විසින් ගයනු ලැබූ “පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය”
නම් වන ගීතයේ අදහස මේ වන විට වෙනස් ව තිබේ නම් ඒ එහි දැක්වුණු රුපියල්
සියය රුපියල් දස දහස තෙක් ඉහළ නැඟීම පමණි.
අප රටේ ප්‍රසිද්ධ දේවාල සම්බන්ධ භාරකාරත්වයක් සහ පරිපාලන ව්‍යුහයක්
තිබියදී බැතිමතුන්ගේ අන්ධ භක්තිය දඩමීමා කර ගනිමින් කපුවන් විසින් මේ
අයුරින් වාර්ෂිකව ගසා කන මුදල රුපියල් කෝටි ගණනක් බව නිසැකය. කිසිදු
විගණනනයක් තබා එදිනෙදා ගණන් බැලීමක් වත් නොමැති දේවාලය පැත්ත පළාතට වත්
නො එන මේ මහා ධනස්කන්ධයට සිදු වන දෙය පිළිබඳව බැතිමතුන් තබා අඩුම තරමින්
දෙවියන් වත් දන්නා බවක් නොපෙනේ.
හින්දූන්ට හැකිනම් ‘සිංහල බෞද්ධයාට’ බැරි ඇයි..?
නමුදු තම භාරකාරත්වයේ පවතින හින්දු කෝවිල් වල චාරිත්‍ර සිදු කරන පූජකයන්
වෙතින් මෙවන් මුදල් අවභාවිතාවන් සිදු නොවීමට එම කෝවිල් පවත්වාගෙන යන පාලක
සභා සමත් ව තිබේ. ඒ කෝවිලට පූජා වට්ටියක් රැගෙන යන සෑම බැතිමතකුම රුපියල්
සියයක් වැනි නියමිත මුදලක් ගෙවා එහි කාර්යාලයෙන් ඒ සඳහා වන අවසර පතක් ලබා
ගත යුතු බවට නියම කිරීමෙනි. පසුව ඒ බැතිමතා තම පූජා වට්ටිය සමඟ ඒ ටිකට්
පත ද පූජා චාරිත්‍ර සිදු කරන පූජකයා වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට එම
සිද්ධස්ථානය වෙත නිතිපතා ලැබෙන මුදල් ගණන් බැලෙන අතර ඒවා හින්දු ආගමික සහ
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට සහ නියාමනයට ලක් කෙරේ.
එසේ නම්, ‘සිංහල බෞද්ධයන්ගේ’ පුද පූජා වලට ලක් වන බෞද්ධ සම්ප්‍රදායට අයත්
දේවාල වල ආදායම් පරිපාලනය එබඳු විධිමත් සහ දියුණු තත්වයකට පත් කළ
නොහැක්කේ ඇයි?
මට හැඟෙන අන්දමට නම් ඒ දෙවියන් ඉදිරියේ බැතිමතුන්ගෙන් අල්ලස් ගැනීමේ
සුපුරුදු ක්‍රියාවලිය පාලක සභාවක් මඟින් නිශ්චිත මිලකට ටිකට් කැඩීමෙන්
ලබන වැටුපකට වඩා සිය ගුණයකින් කපුවන්ට වාසිදායක බැවිනි. එමෙන්ම එම දේවාල
වල බස්නායක නිලමෙලා ඇතුළු තවත් පාර්ශව කිහිපයකට “කොමිස් ගෙවූ” පසුව ද
සුවිසල් මුදලක් නිතිපතා තමන් අතට පත් වන බව ද ඔවුන් හොඳාකාරවම දන්නා
බැවිනි.
ඒ අනුව දෙවියන්හට පුදදෙන පඬුරක් ලෙසින් පිරිසිදු කාසියක් තබන පූජා
වට්ටියේම කිලිකුණු සේම සදාචාර විරෝධී අල්ලසින් දූෂිත නෝට්ටුවක් තබා
දෙවියන් හමුවට යන බැතිමතුන් ද දෙවියන්ට තුති පිදිය යුතු විශේෂ හේතුවක්
තිබේ. ඒ තමන්ට පිහිට වීම පසෙක තිබියදී තමන්ගේ කණට දෙකක් ගසා දේවාලයෙන්
එළවා නොගැනීම පිළිබඳවය.
තිලක් සේනාසිංහ