නුවර පොළොව එක්කම මිථ්‍යාවත් ඇවිස්සිලා!

September 7, 2020

යථාර්ථය යටපත් කොට මිථ්‍යාව ප්‍රවර්ධනය කර ගැනීම පුද්ගල,පවුල්,ප්‍රජා සහ
සමාජමය වශයෙන් ඒකාන්තයෙන්ම පරිහානිය ළඟා කරවන්නක් බව පොදු මතයකි. එමෙන්ම
අසංවිධිත සමාජ,ආර්ථික ,දේශපාලන ක්‍රම නිසා ඇතිවන පොදු ජන විඥානයේ බිඳ
වැටීම් නිසා ද මිථ්‍යාව ප්‍රවර්ධනය වන බව සමාජ විද්‍යාඥ මතයයි.

පසුගිය
අගෝස්තු 29 වනදා රාත්‍රීයේ මහනුවර, අනුරගම ප්‍රදේශයේ සහ පසුගිය
සැප්තැම්බර් 02 දා පෙරවරුවේ මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ සිදු වූ පොළොවේ
සෙලවීම් මුල් කොට සමාජය පුරා මිථ්‍යා මත පැතිර යාම මේ සඳහා ගත හැකි
ආසන්නතම නිදසුනකි.මෙම භූ චලනය කන්ද උඩරට සිදු වූ අසාමාන්‍ය පුරුෂයකු ගේ
ලොව පහළ වීමක් මුල් කොට සිදු වූවක් බවට මුල දී ප්‍රචාරය වූ අතර මෙම
මිථ්‍යා මතය තමන් විශ්ව ශක්තිය ඇති මහානුභාව සම්පන්න යෝගී වරයකු ලෙස
හඳුන්වා ගන්නා පුද්ගලයකු තම අනුගාමිකයන් මුලා කිරීම පිණිස පැවසූ කතාවක්
බාහිර සමාජයේ පැතිර යාමක් බවට පසුව තොරතුරු අනාවරණය විය.

මේ අතර අතීත මානව සංඝටනයක් සහ අතීත කෘෂිකාර්මීක ජන සමාජය සහ සොබා දහම
පිළිබඳ සංකේතනය වන පුවතක් සහිත ලෝක ප්‍රකට භාරතීය වීර කාව්‍යයක් වන
“රාමායනය” සත්‍ය පුරාවෘත්තයක් සේ පිළිගන්නා ඇතැම් පිරිස් ද මේ සම්බන්ධ
වෙනම මතයක් ප්‍රකාශ කොට තිබේ. එනම් මෙය රාමායනයෙන් ඉඟි කෙරෙන අන්දමට
දීර්ඝ නිද්‍රාවක පසුවන රාවණා එම නින්දෙන් පිබිදෙන අවස්ථාව විය හැකි බවය.
මේ අතර අප රට පාලනය පිණිස දැහැමි රජෙකු පහළ වන බවට සළකුණක් ලෙස මෙම පොළොව
සෙලවීම යමකු අර්ථ කථනය කොට තිබූ අතර මෙම “රජ කතාව” විසි වෙනි ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ අනියමින් හෝ ගළපා ඇති බවක් පෙනෙන්නට තිබිණ.තව ද
බෞද්ධ ත්‍රිපිටක සම්ප්‍රදායෙන් බැහැර විකල්ප බුද්ධාගමක් අදහන කණ්ඩායමක්
විසින් මෙය “බුද්ධ බලය සෙළවීමක්” ලෙස ද හඳුන්වා දෙන ලදී.

එම සෙලවීමට
හේතුව ඔවුන් අති පූජනීයත්වයෙන් සළකනු ලබන ස්ථානයක දී බෞද්ධ භික්ෂුවක්
ඔවුන්ගේ මතවාදය විවේචනය කිරීම බව ද ඔවුන් පවසා තිබේ. එමෙන්ම එසේ සෙළවෙන
බුද්ධ බලය දකුණට ගමන් කරමින් තිබෙන බව ද ඔවුන් විසින් ප්‍රචාරය කොට ඇත.
එහෙත්, එලෙස සෙළවෙන හෝ ගමන් කරන බුද්ධ බලයක් පිළිබඳ ව ත්‍රිපිටකයේ නොමැති
අතර එය ඔවුන්ටම ආවේණික මතවාදයක් විය හැකිය.

නමුදු මෙම සියළු තොරතුරු පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල වෙබ් අඩවි මඟින්
ප්‍රචාරය වෙමින් තිබූ අතර ඒවාට ප්‍රතිචාර දැක්වූ සමහරු “කැලණියේ නයා
නුවරින් මතු වෙලා” ආදී වශයෙන් ද ඊට ප්‍රතිචාර දක්වා තිබිණ. කෙසේ හෝ
මහනුවර ප්‍රදේ­ශයේ ස්ථාන කිහිපයක සිදු වූ මෙම පොළොව සෙලවීම මුල් කොට
පැතිර යන මෙවන් මතවාද හුදු මිථ්‍යාවන් බව අනාවරණය කළ සියම් මහ නිකායේ
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය
කොට සිටියේ විද්‍යාත්මක විමසුමට ලක් කළ යුතු ස්වාභාවික සංසිද්ධීන්ට ගුප්ත
ආරෝපණ ලබා දීමට තරම් අප රටේ බෞද්ධයන් අනුවණ විය යුතු නොවන බවය.
පේරා­දෙ­ණිය සර­ස­වියේ හිටපු උප­කු­ල­පති, අභාවප්‍රාප්ත භූ විද්‍යා
ජ්‍යෙෂ්ඨ මහා­චා­ර්ය පී.ඩබ්. විතා­නගේ මහතා ශ්‍රී ලංකාවේ භූ කම්පන කෙරෙහි
දැඩි අව­ධා­නය යොමු කළ විද්වතෙකි. ඔහු ප්‍රකාශ කළ අන්දමට ගත වූ වසර
තුන්සියය තුළ මෙරට සුළු භූ කම්පන ද ඇතුළු භූ කම්පන පනස් හතක් සිදු ව
තිබේ. එමෙන්ම කිඹු­ල­න්තොට සිට වික්ටෝ­රියා වේල්ලේ හත­ර­වැනි කොටස හරහා
දිගන වත්තේ­ගම දක්වා කිලෝ­මී­ටර් 20ක් පමණ දුරට භූ විද්‍යා­ත්මක පැල්මක්
ඇති බැවින් වික්ටෝ­රියා ජලා­ශය එම ස්ථානයේ ඉදි­කි­රීම පිළි­බ­ඳව තමන් මුල
සිටම විරුද්ධ වූ බව පැවසූ මහාචාර්ය වරයා නමුත් ජලා­ශය හා වේල්ල එහිම
ඉදි­කළ නිසා එම ප්‍රදේ­ශයේ නිතර භූ කම්පන සිදුවිය හැකි බව මාධ්‍යයට
ප්‍රකාශ කොට සිටියේය.

ඒ 1995 ජුනි 20 වැනි දින වික්ටෝ­රියා ජලා­ශය අසල
රිච්ටර් මාප­ක පහක ප්‍රමාණයේ භූමි කම්පා­ව පිළිබඳව අදහස් දක්වමිනි.
එමෙන්ම අනා­ග­ත­යේදී මේ ප්‍රදේ­ශයේ සිදු­වන භූ චල­න­ය­කදී මේ ගැඹුරු
පැල්ම දිගේ යම් චල­න­යක් සිදු වුව­හොත් වික්ටෝ­රියා වේල්ලට හා ඉන් පහළ
ඇති රන්ටැඹේ හා රන්දෙ­නි­ගල වේලි වල­ටත් හානි සිදු­විය හැකි බවට ද
මහා­චාර්ය විතා­නගේ අනතුරු අඟවා තිබිණ.

මහනුවර දළදා මාලිගයට කොටි බෝම්බ ප්‍රහාරය එල්ල වූ 1998 ජනවාරි 25 වනදා
අභාවප්‍රාප්ත වූ එම විද්වතා ගේ මතය ඇතුළු ඒ සම්බන්ධ විද්‍යාත්මක මත
වෙනුවට මෙම පොළොව සෙළවීම සම්බන්ධ මෙවැනි මනස්ගාත සමාජ ගත වීම දරුණු
ඛේදවාචකයකි.

මේ අතර මහනුවර අවට ප්‍රදේශ කිහිපයක් පසුගියදා සෙලවීමට ලක්වුණේ මහනුවර
ආශ්‍රිතව පවතින ඩොලමයිට්  නිධියේ ස්ථරවල ඇති වූ ආතතිය නිදහස් වීමකින් බව
භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කොට තිබේ. මෙම සෙලවීම්
දෙක සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාවේ කරුණු
අධ්‍යයනය කිරීමෙන් පසුව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මේ බව
නිගමනය කොට තිබේ.

ඒ කෙසේ හෝ ලෝකයේ බටහිර ජාතීන්ට සාපේක්ෂව පෙරදිග වැසියෝ ගුප්ත ආධ්‍යාත්මික
සංකල්ප කෙරෙහි ලොල් වෙති. ඒ අනුව ගංවතුර,සුළි සුළං කුණාටු,භූමි කම්පා
වැනි ස්වභාවික සංසිද්ධීන් හට ද ගුප්ත ආරෝපණ ලබා දීම මින් අප රට තුළ පෙර ද
සිදු වී තිබේ. වර්ෂ 1938 දී ලංකාවේ ඇති වූ භූ චලනය, දියසේන කුමරුන්ගේ
පිළිසිඳ ගැනීම හෝ උත්පත්තිය පිළිබඳ සළකුණක්‌ බව ප්‍රකට ලේඛක පියදාස
සිරිසේන සූරීන් සඳහන් කිරීමත් සමඟ එය එවක රට පුරා පැතිරුණි.ඒ අනුව එය
ඉංග්‍රීසි යටත් විජිත ග්‍රහණයෙන් අත්මිදුණු නිදහස් රටක් පිළිබඳ සිහින
දුටු එවක තරුණයන්ට එම භූමි කම්පා පුවත ද මහත් ආශ්වාදනීය වූ බවට සැක නැත.
බුද්ධ චරිතය සහ ලෝකය තුළ පවත්නා සොබා දහම අතික්‍රමණය කරනු ලබන ආශ්චර්යමත්
සහ අද්භූත සංසිද්ධීන් නවයක් පිළිබඳව නවාංග ශාස්තෘ ශාසනයට අයත් ‘අද්භූත
ධම්ම’ මඟින් විස්තර කෙරෙයි. බුදු සිරිතේ සිදුවීම් කිහිපයක් මුල් කොට මහ
පොළොව කම්පා වීම් එහි අට වැන්න ලෙස සඳහන් වෙයි. එහෙත්, එය හුදෙක් බුද්ධ
චරිතයේ ඇති අනුපමේය බව හඟවන සංකේත නිරූපණයන් බව ධර්ම විනය පිළිබඳ
විශාරදයන් ගේ මතයයි.

ඉහත සඳහන් ‍යම් යම් ගුප්ත හේතූන් මත මහ පොළොව සෙලවෙන්නේය යන මතය ඒ
අනුසාරයෙන් අපගේ ජන විඥාණයට පැමිණෙන්නට ඇතැ‍යි යන්න මගේ වැටහීමය. එමෙන්ම
පොළොව සෙලවීම ඔය තරම් “සිල්ලර මට්ටමක” ලා සැළකීම මිහිකතට කරනු ලබන
නිගරුවක් සේ ද යමකුට හැඟී යා හැකිය.

මහනුවර පොළොව සෙළවීමට හේතු වශයෙන් ඉදිරිපත් වී ඇති අසාමාන්‍ය පුරුෂයකුගේ
ලොව පහළ වීම,රාවණා යළි පිබිදීම, දැහැමි රජකු පහළ වීම,සහ බුද්ධ බලය සෙලවීම
යන ගුප්ත මනස්ගාත මෙලෙස පැතිර යාම තුළින් යම් මානසික ආශ්වාදයක් ලබන
පිරිස් ද හිඳිනු පෙනෙයි. නමුදු එම සිදුවීමට හේතුව ඒ එකක් වත් නොව “ශ්‍රී
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ” යනුවෙන් හැඳින්වෙන අප රටේ
සර්වාධිකාරී බලය විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපති
වරයා නම් තනි පුද්ගලයකු අතට පත්වීම මුල් කොට ලක් මිහිතලය කම්පා වීමකැයි
යමකු කිව හොත් එහි කිසියම් දාර්ශණික අරුතක් තිබේ. නමුදු භූමි කම්පා
පෙරනිමිත්තකින් වුව “මෝඩ චූන් එකක්” ගත හැකි ජාතියකට ඉහත සඳහන් බියකරු
තත්වයේ ද එතරම් බැරෑරුම් බවක් නොපෙනෙනු ඇතැයි ඒ සමඟම මට සිතෙයි.


තිලක් සේනාසිංහ

t

o

p