“අපේ රටේ හේතුවාදය දවසින් දවසම ඇට්ටකුණා වෙන්නේ ඇයි”
පසුගිය දිනයෙක මගෙන් එම පැනය අසන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර විසිනි.
ඒ සඳහා දිය යුතු පිළිතුරු කිහිපයක් මගේ මුවට නැංවුණු මුත්”අදටත් හරි හැටි සමාජ බද්ධ නොවූ මතවාදයක් ව්‍යාප්ත කරවීම කෙසේ වත් කළ නොහැකි වීම ඒ තත්වයට හේතු වී ඇතැ”යි කීවෙමි.
සැබැවින්ම හේතුවාදය යනු කුමක්ද?
අඩුම තරමින් අප ජන සමාජයෙන් සියයට දශමයකගෙන් වත් මේ සඳහා නිවැරදි
පිළිතුරක් ලද නොහැකි බව මගේ වැටහීමය.ඉතින් එවන් තත්වයක පවතින මතවාදයක්
ඇට්ටකුණා නොවුණොත් නේද පුදුමෙ?
හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම
ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා වී අවසානයේ මෙම හේතුවාදය යන වදන ඒ සඳහා යෙදී ඇත්තේ ද අඩමානයට මෙනි. කෙසේ හෝ අද වන විට එය හේතුවාදය වශයෙන්ම සිංහල බසෙහි පැලපදියම් වී තිබේ.Rationalism යන ඉංග‍්‍රීසි වදන සඳහා ලොව පිළිගත් අරුත් ගැන්වීම් දෙකක් තිබේ.
ඒ නිගමනයන් හෝ ක‍්‍රියාවන් ආගමික විශ්වාසයන් හෝ භාවාත්මක ප‍්‍රතිචාරයන් මත නොව තර්කය සහ දැනුම මත පදනම් විය යුතු ය යන විශ්වාසය හෝ න්‍යාය වශයෙන් සහ දැනුමෙහි නිශ්චිත පදනම අත්දැකීම් මත නොව තර්ක බුද්ධිය මත පිහිටිය යුතුය යන න්‍යාය වශයෙනි
යම් ජන කොටසක් එක් ව පිළිගන්නා පොදු මතිමතාන්දර “වාද”වශයෙන්
හැඳින්වෙයි.
නමුදු ඒ පොදු මතිමතාන්දර තුළ ද යම් පුද්ගල බද්ධ වෙනස් කම්
දක්නට ලැබේ.හේතුවාදීන් අතරේ ද මෙම මතවාද විෂමතාව ප්‍රබල ලෙසම දක්නට පුළුවන.
මගේ පෞද්ගලික විශ්වාසය අනුව මානව ඉතිහාසයේ ප‍්‍රථම හේතුවාදියා
ක‍්‍රිස්තු පූර්ව හයවන සියවසේ ඉන්දියාවේ පහල වූ සිද්ධාර්ථ ගෞතම නම්
ශාස්තෘවරයා ය. එනම් බුදුන් වහන්සේ ය. මා එසේ කියනුයේ බුදු දහම
න්‍යායාත්මක ලෙස හේතුවාදී ලක්ෂණ පළ කරන බැවිනි.
එහෙත් එම දේශනාවේ මූලික හේතුවාදී පදනම යටපත් කොට පසුව සංවර්ධනය වූ බුද්ධාගම නම් හුදු ආගමික දෘෂ්ටිවාදය නිසා ලොව හේතුවාදීන්ගේ ලේඛනයේ මුලින්ම සඳහන් විය යුතු සිද්ධාර්ථ ගෞතම නාමය ඉන් බැහැරට ඇදී ගොස් ඇති අයුරක් පෙනෙන්නට තිබේ.
කොටින්ම අද වන විට අප රටේ අතිශය ජනප්‍රියත්වයට පත් සිංහල බුද්ධාගම නම් වර්ගවාදී මතවාදය තුළ බුදු හිමියන් පවා වන්දනීය සංකෙතයක් සහ දෙවියකු බවට පත් කොට තිබේ හේතුවාදී න්‍යාය මුළුමනින්ම අන්තර්ගත පටිච්ච සමුප්පාදය නම් න්‍යාය ඇතුළත් මූලික බුදු සමයෙන් එය අර්ථකථනය වනුයේ මෙලෙසිනි.
ඉමස්මිං සති ඉදං හොති – මෙය ඇති කල්හි මෙය වෙයි.
(හේතුව පවත්නා කල්හි ප‍්‍රතිඵලය පවතී.)
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති – මෙය ඉපදීමෙන් මෙය උපදී.
(හේතුව හට ගැනීමෙන් ඵලය හටගනී.)
අමස්මිං අසති ඉදං නහොති – මෙය නැති කල්හි මෙය නොවේ.
(හේතුව නොපවත්නා කල්හි ප‍්‍රතිඵලය නොපවතී.)
ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති – මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
(හේතුව නැතිවීමෙන් ප‍්‍රතිඵලය නැතිවේ.)
හේතුඵලවාදය හෙවත් පටිච්ච සමුප්පාදය යන්න හැඟවෙන Causality යන ඉංග‍්‍රීසි වදන හා මනාව සැසඳෙනුයේ එබැවිනි.බෞද්ධහේතුඵලවාදය පිළිබඳව කතා කරන විට ඊට අතිශයින් සමාන්තර ගමනක යන චින්තන ධාරාවක් වන හේතුවාදය පිළිබඳව ද සඳහන් කළ යුතු ය.
නමුදු අද වනවිට සමස්ත ශ‍්‍රී ලාංකීය ජන සමාජයෙන් සියයට අනූවකටත් වඩා සිතනුයේ හේතුවාදය යනු අනාගමික සේම ආගම් විරෝධී චින්තන ධාරාවක් බව ය.එමෙන්ම හේතුවාදීන් යනු මිනිස් සාරධර්ම,සදාචාරය,සංස්කෘතිය පවා නොපිළිගන්නා නරුම පිරිසක් ලෙසිනි.
එය බලවත් මුලාවකි.සත්ව හිමිකම් සහ සුබ සාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ස්ථාවරය සම්බන්ධයෙන් නැඟුණු පැනයකට පිළිතුරු
දුන් ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක තාරක වරාපිටිය මහතා කියා සිටියේ මේ මිහිතලය මිනිසුන්ගෙත් සතුන්ගෙත් පොදු උරුමයක් ය යන ස්වභාවික යුක්තිය හේතුවාදයේ මූල ධර්ම වලට ද අනුකූල බවය. සැබැවින්ම එය”පන්සිල් රකින්න ඕනෙ හින්දා සත්තු මරන්නෙ නැහැ”[පන්සිල් නොතිබුණා නම් දෙන්න තිබුණා වැඩේ]යන හුදු ආගමික පිළිතුරකට වඩා අර්ථ සම්පන්නයැයි මට සිතෙයි.ප්
රමුඛතම බෞද්ධ ග්‍රන්ථයක් වන ධම්ම පදයේ පණ්ඩිත වග්ගයෙහි එන”අත්තානං දමයන්ති පණ්ඩිතා”[නුවණැත්තෝ තමන්ම හික්මෙති]යන වදන ද අප මෙහි දී සිහිපත් කළ යුතුය.
නමුදු ඉන් ආගමික විශ්වාස දරන්නවුන්ට හේතුවාදියකු විය නොහැකිය යන අදහස පළ නොවේ.
නමුදු ඉන්පසු ඔහු හුදෙක් තම ජීවන සහ සමාජ ද්‍රශ්ඨිය ආගමික කෝණ
වලින් තොර නිදහස් දැක්මක් ලෙස පවත්වා ගෙන යායුතුය.නැතිනම් ඔහුට සිදු
වනුයේ සැබෑ හේතුවාදියකු නොව”හේත්තු වාදියකු” වීමට ය
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය කොවුර්ගේ අගනා අදහස් දැක්වීමක් මෙහි දී ඉදිරිපත් කරමි.
ඒ සඳහා මුල පිරෙනුයේ පරගම්මන සිරිල් විජේසිංහ නම් මහතකු 1968 ඔක්තෝබර් හත්වන දා ‘සිලෝන් ඔබ්සවර්’ පුවත්පත සඳහා ලියනු ලැබූ ලිපියකි.විජේසිංහ මහතාගේ ලිපිය මෙලෙසිනි.”‘පුනරුත්පත්තිය, කර්මය, බුද්ධත්වය ආදී සියලූ ආගමික විශ්වාසයන් හේතුවාදය මගින් ප‍්‍රතික්ෂේප වන බව අප රටේ හිඳින ප‍්‍රමුඛතම හේතුවාදියා වන ඒබ‍්‍රහම් ටී. කොවුර් මහතා නොබෝදා දේශනයක දී සඳහන් කොට ඇත.
ඔහුගේ එම ප‍්‍රකාශය වෙත මගේ අවධානය යොමුව තිබේ. ඒ ඔහුගේ හේතුවාදී සංගමයේ නිලධාරීන්ගෙන් වැඩි දෙනකු බොදු වත් පිළිවෙත් අනුගමනය කරන්නවුන් බව මා පෞද්ගලිකව දන්නා නිසා ය. (කොවුර් මහතා කෙසේ කීව ද) මෙම මහතුන්ට පුනරුත්පත්තිය ආදී ආගමික විශ්වාස පරම සත්‍යයක් මිස බොරු නොවේ.
ඒ අනුව මෙම විෂයය පිළිබඳව සභාපතිවරයා දරන ස්ථාවරය පිළිබඳව මෙම මහත්වරුන් සිතනුයේ කුමක් ද? යන්න දැනගැනීම අපට වැදගත් වනු ඇත. මේ සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ සමාජයෙන් ‘‘මිථ්‍යා විශ්වාස’’ දුරු කරලීමට පෙර ඒවා තම සාමාජිකයන් වෙතින් ඉවත් කිරීම ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයට වඩාත් ඵලදායී විය හැකි බව ය.’’
සිරිල් විජේසිංහ මහතාගේ මෙම අභියෝගාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් එවක ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමය මගින් ප‍්‍රකාශිත The Rationalist Ambassador ලිපි කළඹ මගින් ආචාර්ය කොවුර් දී ඇත්තේ මෙබඳු අතිශය සහනශීලී පිළිතුරකි.
‘‘හේතුවාදය මගින් සියලූ ආගමික විශ්වාස ප‍්‍රතික්ෂේප වන බව මෑතක දී මා
ප‍්‍රකාශ කළ බවක් විජේසිංහ මහතා පවසා ඇත. මා කිසි විටෙකත් එබඳු
ප‍්‍රකාශයක් කොට නැත. එපමණක් නොව මගේ ප‍්‍රකාශය වාර්තා කළ පුවත්පතේ ද එවැන්නක් සඳහන්ව නැත.
කිසිදු ආගමක යහපත්, සදාචාරාත්මක අංග ප‍්‍රතික්ෂේප කිරීමට හේතුවාදීන්ට
අවශ්‍ය නැත. ඔවුහු එසේ නොකරති. ඔවුන් පසුබට නොවනුයේ ආගම් හා සබැඳුණු මිථ්‍යා විශ්වාස ප‍්‍රතික්ෂේප කිරීමට පමණි.
අනෙක බොහෝ ආගම්වලින් ඉදිරිපත් කෙරෙන යහපත් සදාචාරාත්මක ඉගැන්වීම් එම ආගම්වල ඒකාධිකාරයන් නොවන බව ද හේතුවාදීහු දනිති. එනිසා ඒවා ආගම් හා සබැඳුණු මිථ්‍යාවන් හා කලවම් කර නොගන්නා හේතුවාදීහු ඇතැම් ආගමික භක්තිමතුන්ටත් වඩා හොඳින් එම සදාචාර ධර්ම
පිළිපදිති.’’
ආචාර්ය කොවුර්ගේ මෙම සඳහන මුළුමනින්ම සත්‍යයකි.ආගම් වලින් නියම කරන ලද සදාචාරාත්මක පිළිපැදීම් පසෙක ලා ආගමික පුද පූජා මත්තේම නැහෙන අන්ධ බැතිමතුන්ට සාපේක්ෂව එබඳු අභිචාර විධි පිටු දකින හේතුවාදීන් ගේ සදාචාරාත්මක ප්‍රමිතිය ඉහළ මට්ටමක පවතී.
එසේ පවසන ආචාර්ය කොවුර් එහි මෙසේ ද සඳහන් කර ඇත.
‘‘ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමය එම අරමුණු හා එක්වන සැමට එක සේ විවෘත
ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යූහයකි. දැනට ගුප්ත අන්ධකාරයේ ගිලී ඇති තර්කයටත්,
විමර්ශනයටත් ලක් කළ හැකි සෑම දෙයක් කෙරෙහිම සංවිභාගශීලීවීම එහි මූලික අරමුණු අතර වෙයි. එමෙන්ම ජාති, ආගම්, කුල ආදිය මුල් කර ගනිමින් සමාජීය,
දේශපාලනික, ආර්ථිකමය වශයෙන් මානව සංහතියේ අභිවෘද්ධියට සිදු කෙරෙන නොවිධිමත් බලපෑම්වලට විරෝධය පෑම ද අප සංගමයේ අරමුණකි. ලෞකික වූ ආචාර ධර්මීය විනයවත් අධ්‍යාපනයක් තුළින් බුද්ධිමත්, සදාචාරාත්මක පුරවැසියන් සමාජයට දායක කරවීම අප සංගමයේ අරමුණය.
ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සියලූ සාමාජිකයෝ මෙම පොදු අරමුණු උදෙසා ක‍්‍රියා කරති.
අන් බොහෝ අය සේම අප සාමාජිකයෝ ද කුඩා වියේ සිට ආගම්වල නාමයෙන් විවිධ අන්ධ මිථ්‍යා විශ්වාස මගින් හැසිරවුණු මනැස්වලින් යුක්ත වූවෝ වෙති. අපගේ අරමුණ වනුයේ ඒ තුළින් මුදා ගන්නා ඔවුන් හේතුවාදී චින්තනයට යොමු කිරීම ය.
මෙහි දී ආගම්වලින් මෙන් ඔවුන්ගේ සිතීමේ හා විමසීමේ නිදහසට අප විසින් වැට කඩොලූ බඳිනු නොලැබේ. ඒ අනුව ඇත්තෙන් නැත්ත වෙන්කර ගැනීමට ඇති හැකියාව මත එම මිථ්‍යා විශ්වාස එකි’නෙක දුරු කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත.
එබැවින් හේතුවාදී සංගමයේ සාමාජිකයන් ආගම් විශ්වාස මුලිනුපුටා දැමිය යුතු ය යන විජේසිංහ මහතාගේ උපකල්පනය හුදු සාවද්‍ය එකක් බව කිව යුතු ය.ශී‍්‍ර ලංකා හේතුවාදී සංගමයේ සාමාජිකයන් වැඩි දෙනකු බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කරන බව විජේසිංහ මහතා පෞද්ගලිකව දැන හිඳින්නට පුළුවන.
එය අපට ප‍්‍රශ්නයක් නොවේ. එමෙන්ම ලෝකය මැවූ සර්වබලධාරී දෙවියකු පිළිබඳවත්, මරණින් මතු ඉවත්ව යන ආත්මයක් පිළිබඳවත් සංකල්ප මුළුමනින්ම බැහැර කොට ඇති බුදු දහමින් ශේෂ වී ඇති බුද්ධාගම දැනට පවත්නා සෙසු ආගම් අතුරින් වඩාත්ම හේතුවාදී දහම බව ද
කිව යුතු ය.
එමෙන්ම සෙත් කවි, නැකත්, පිරිත්, පුනරුත්පත්තිය, පේ‍්‍රත
ලෝක, දිව්‍ය ලෝක, ධාතු වන්දනා, බෝධි පූජා, යක්ෂ, පේ‍්‍රත විශ්වාස,
සූනියම්, නැකත් ආදී බුදු දහමේ මූලික හරයනට අයත් නොවන දේ නූතන බෞද්ධයන් මූලික බෞද්ධ ඉගැන්වීම් ලෙස පිළිගන්නා බව ද හේතුවාදීහු හොඳින් දැන අවබෝධ කරගෙන හිඳිති.’’
ආචර්ය කොවුර් මීට අඩසිය වසකට පමණ පෙර දුන් ඇති පිළිතුර අනුව වර්තමානයේ හේතුවාදී ජීවන සහ සමාජ ද්‍රශ්ඨියට පිවිසිය නොහැක්කේ වර්තමාන ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ හිඳින අන්ධ භක්තිකයන්ට පමණකැයි මට සිතෙයි.
තිලක් සේනාසිංහ