මෝඩ චූන් ගන්න එපා! තාම කොරෝනා ඉවර නැහැ

August 31, 2020

කොරෝනා අවදානම දැන් ලංකාවෙන් පහව ගිය බව හැඟවෙන අපූරු ඇගයීමේ උත්සවයක් නොබෝදා ප්‍රභූන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. සාමාන්‍යයෙන් මෙවැනි උත්සව තියෙන්නේ තරඟයකින් ජයග්‍රහණයක් ලැබූ පසුයි.

අපි තවම ඉන්දියාව , ඇමරිකාව , ඉතාලිය වගේ නියම කොරෝනා සටනට මුහුණ දීලා නැහැ. ICU පුරවලා නැහැ. මළමිනී ගොඩ ගැහුණේ නැහැ. නියම සටන මොකක්ද කියල දැකලත් නැහැ.  ඒත් ඔන්න සම්මාන නම් දීලත් ඉවරයි.

ඒ උත්සවය  රූපවාහිනී මාධ්‍යකින් දුටු මා හට හැඟී ගියේ එයට සහභාගීවු සියළු දෙනා සිතා සිටියේ දැන් ලංකාවේ කොරෝනා පරදා එහි අවදානම අපට දැන් නැති තරම් කියලයි.මෙන්න ඒකට සාක්කි.

1. මෙම උත්සවය විශේෂයෙන්ම තිබුණේ අවදානම් කාලයේ කොරෝනා මර්නදය සදහා මෙහෙවරක් ඉටුකළ අයවලුන් ඇගයීම  සදහා වීම.( ඒ කියන්නෙ දැන් අවදානම නැහැ කියලයි හැඟුණේ

2. අවදානම් කාලයේ තම තමන් කළ දේවල් ගැන කතා පැවැත්වීම. එම කාලය පසුකළේ කෙසේද යන්න ඒ කතාවල  මූලික තේමාව වුණා.( දැන් අවදානම ඉවරද? ඒවා දැන් නොකෙරෙන බව හැඟුණා)

3. සහභාගී වුණු වැඩි පිරිසක් මුව වැසුම් නොපැළැඳ, ඇඟට ගෑවෙමින්, දුරස්ථ භාවය නොරැක , සෞඛ්‍ය නීතිරීති නොසලකා සිටී බව පැහැදිලි වුණා.                                
4. සෞඛ්‍ය ලොක්කොත් එතැන සිටි නිසා එයට දැන් නීතියෙන් බාධාවක් නැති බව  වැටහුණා.  ශාලා වගේ වැසු තැන් වලදී කොරෝනා වේගයෙන්ම පැතිරෙන බව දැන් ලෝකයේම පිළිගැනීමයි.  මුව වැසුම් අනිවාර්ය බවත් මුලදි ඒවා විසිකර කොරෝනාවෙන් හොඳටම බැටකෑ පසු පළදින්න නීති දැමූ ලෝක කෙරුම් කාරයන්ට වැටහී තිබුණත්,  අපේ කෙරුම් කාරයන්ට ඒක තාම වැටහී ඇති බවක් පේන්නෙ නැහැ

කොරෝනා දැන් අඩුයි කියා හීන දකින සෞඛ්‍ය ලොක්කො ඇතුළු අදාල අයගේ දැන ගැනීම සදහා ඊයේ දවසට ලොව කොරෝනා තත්වය විස්තර කරන්නම්
අපිට වඩා සෞඛ්‍ය ප්‍රතිකාර අතින් ඉතා ඉදිරියෙන් සිටින දියුණු රටවල් ඇතුළු ලෝකයේ දැනට සිටින මුලු  රෝගීන් ගණන
24789600( කෝටි දෙකහමාරක් ආසන්නයේ)
ලෝකයේම කොරෝනා මරණ  838468( ලක්ෂ අටහමාරක් පමණ)
ලොව ඊයේ පමණක් මරණ 3588
ඉන්දියාවේ මුලු රෝගීන් 3459295 ( ලක්ෂ තිස් පහමාරක්)
ඉන්දියාවේ ඊයේ පමණක් රෝගීන් 74720( හැත්තෑපන් දහසයි)
ඉන්දියාවේ මුලු මරණ 62691 ( හැට දෙදහස යි)
ඉන්දියාවේ ඊයේ පමණක් මරණ 997

ගුවන් ගමන් නවතා,  පැමිණි සියල්ලන් නිරෝධායනය කළ නිසා මෙවැනි තාවකාලික සතූටක් ලබන්න පුළුවන් තමයි. හැබැයි;හැමෝගෙම යහපත උදෙසා ජනතාව ලංකාව තුළ  සිරකර , මගුලකට අවමගුලකට පවා  නීති දමමින් , අප ලබන මේ සතුට නියම සතුට නොවේ.

මේ කොරෝනාවෙන් පස්සෙ ජන ජීවිතය යථාවත් වෙන්නෙ ඒ කටයුතුත් සම්පූර්ණ වුණාට පස්සෙයි.ඒ වගේම කොරෝනාවට නිවැරදි බෙහෙත් ලෝකයේ නිපදවෙන දවසට, සාර්ථක එන්නතක් අප සැමට ලැබුණු දවසට “දැන් අපිට වසූරිය නැහැ” කියන්න පුලුවන් වුණා  වගේ එදාට  මෙසේ සතුටු වීමට තියාගන්න.

මෙවැනි දේවලින් ද අප අපවම රවටා ගන්නවා නොවේද? අනික මහ ජනතාවට මෙයින් වැරදි ආදර්ශයක් ලබාදීමෙන් ඔවුන්ගේ සිත් තුළ තියන කොරෝනා බිය-සැක මුළුමනින්ම පහ වෙනවා.මෙම කොරෝනා මර්දන කාර්යයට  ලැබෙන ජනතා  සහාය   අඩුවෙනවා. ඒ විතරක් නෙවෙයි;  භයානක තත්වයක් ඉදිරියේදී මෙරට තුළ නිර්මාණය කිරීමට මෙවැනි ඊනියා උත්සව ඉවහල් වෙන්න පුළුවන්.


ඉන්දියාවේ තත්වය ගැන අපි නිරන්තරයෙන් බලා සිටිය යුත්තේ දකුණු ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මහ රෑට ඇස්වලට වැලි ගසා ධීවර වෙස් ගෙන එක් රෝගියෙකූ ආවොත් මේ රට අමාරුවේ වැටෙන්න ඒ හොඳටම ඇති නිසයි. දැනට මත් ද්‍රව්‍ය ව්‍යාපාරය කෙරෙන්නේ ඒ වගෙයි. අපිට ජයපැන් බොන්න තවම බැහැ.

රට වටේම කොරෝනා නිසා අපි තවමත් ඉන්නෙ ලොකු අනතුරක. පාර පනින හරකෙකුට වාහන ගැන තේරෙන්නෙ නැහැ වගේ අප දැන් කොරෝනා මර්ධනය කළා මෝඩ චූන් ගන්න අයගේ මොල සෝදිසි කිරීමට වෙනම වැඩ සටහනක් දියත් කළත් ලොකු ගැටළුවක් නැහැ,මට හිතෙන විදිහට
 

විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී රාජපක්ෂ

t

o

p