කොරෝනා භීතිය මඳක් පහ වූ පසුගිය ජූලි මාසයේ උදයක මම ගම්පහ නගරයේ බොජුන් හලකට පිවිසුණෙමි.ඒ මොහොතේ එහි ඉන්දීය සුපිරි ගායිකාවක වන අනුරාධා පෞද්වාල්ගේ අතිශය ජනප්‍රිය භජන් ගායනයක් වාදනය වෙමින් තිබිණ.ඉන්දීය දෙවි වරුන් උදෙසා ගැයෙන භක්ති ගී හෙවත් භජන් ගී ඇසීමට මම ද අතිශයින් ප්‍රිය කරමි.
ඒවායේ අරුත් හරිහැටි නොවැටහුණ ද එම ගී තනු, තූර්ය භාණ්ඩ සුසංයෝගය සහ ගායනා විලාසයන් මගේ සිත ඇද ගැනීමට සමත් වීම ඊට හේතුව ය.ඒ අනුව එම බොජුන් හල් හිමියා ද මා මෙන් භජන් ගී රසිකයකු යැයි සිතූ මම ඉන් උදය ආහාරය ගෙන එම ගීය සහ ගායිකාව මුල් කොට විනාඩියක දෙකක සුහද පිළිසඳරක් පැවැත්වීමට අදහස් කළෙමි.එහෙත් ඔහු භජන් රසිකයකු තබා ඒ ගායනය කුමක්ද? යන්න වත් දැන සිටියේ නැත.” පහුගිය ටිකේ නම් අපි උදේට දැම්මෙ පිරිත්.
ඒත් මේවා දැම්මම බිස්නස් වලට හොඳයි කියලා හුඟ දෙනෙක් කියන හින්දා තමයි දැන් මේවා දාන්නෙ. නැත්නම් පහුගිය කාලෙ වැටුණු වැටිල්ලට ගොඩ එන්න අමාරුයි” බොජුන් හල් හිමියා කීයේ මා අන්ද මන්ද කරමිනි.ගිය කාරිය පසෙක තිබිය දී ඉන්පසුව ගම්පහ නගරයේ ව්‍යාපාරික ස්ථාන විමසුම් කළ මට වාහන සේල් පළක් ඇතුළු භජන් ගී වාදනය කළ තවත් ව්‍යාපාරික ස්ථාන දෙකක් නිරීක්ෂණය විය.
මෙම තත්වය යටතේ පසුගිය දිනවල මහනුවර,ගාල්ල,කුරුණෑගල,රත්නපුර ආදී ප්‍රදේශවල වෙසෙන මගේ සංගීත ලෝලී මිතුරු මිතුරියන්ගෙන් කළ විමසුම් වල දී අනාවරණය වන ලද්දේ කලින් එම නගරවල “සයිවර් කඩ”: වලින් පමණක් ඇසුණු හින්දු දේව ස්තෝත්‍ර ගණයට අයත් භජන් ගී අද වන විට සිංහල ව්‍යාපාරික ස්ථාන වලින් ද ඇසීමේ වැඩි නැඹුරුවක් පවතින බවය.ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විශ්ව විද්‍යාලයෙන්,සහ බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් පෙරදිග සංගීතය පිළිබඳ උපාධි සහ පශ්චාත් උපාධි හිමි කරගත් අනුරාධපුරයේ වෙසෙන තරුණ සංගීත ආචාර්ය වරයකු වන ශාස්ත්‍රපති,සංගීත් නිපුන් තිසුන් කෝවිද වෛද්‍යරත්න මහතා ගෙන් ද මම මේ පිළිබඳව විමසා සිටියෙමි.
එවිට ඔහු කියා සිටියේ අනුරාධපුර නගරයේ ඇතැම් වෙළඳ ආයතන වලින් සේම සමහර වෙළඳ සමාගම් වලින් ද තමන්ට මෙම භජන් ගී හඬ ඇසී ඇතත් ඔවුන් කුමක අරමුණකින් ඒවා වාදනය කරන්නේ ද යන්න තමන් මෙතෙක් විමසා නැති බව ය.
සබ්බාවමංගල මුපද්දව දුන්නිමිත්තං
සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාව පවරේණ පයාතුනාසං
ධම්මානුභාව පවරේණ පයාතුනාසං
සංඝානුභාව පවරේණ පයාතුනාසං
මීට වසර කිහිපයකට ඉහත කොළඹ තොටළඟ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් සෑම හිමිදිරියකම ශබ්ද විකාශන ඔස්සේ සෙත් පිරිත් සජ්ජායනාවක් පතුරුවා හරින ලදි.පෙරවරු අටට වැඩ කටයුතු ආරම්භ කරන එහි ඒ මොහොතේ සිටියේ ආරක්ෂක නිලධාරීන් පමණි.
එබැවින් මා ඒ සම්බන්ධයෙන් කළ කළ විමසුමක දී ඔවුන් පවසා සිටියේ එම ආයතනයේ අභිවෘද්ධිය පිණිස දිනපතා අළුයම සෙත් පිරිත් වාදනය කරන ලෙස එහි හිමි කාර කාන්තාව තමන්ට නියෝග කොට ඇති බවය.
එහෙත් එහි රසවත්ම කොටස එය නොවේ.තම ආයතනයේ කටයුතු වලට බාධා පැමිණෙන බැවින් එහි සේවා කටයුතු ඇරඹීමට පෙර එම සෙත් පිරිත් වාදනය නිමා කරන ලෙස ද එම කාන්තාව ඔවුන්ට උපදෙස් දී තිබීම ය.මෙය වර්තමාන ජන සමාජයෙන් සෙත් පිරිත් වලට හිමි කොට දී ඇති තැන පිළිබඳව පැවසෙන එක් නිදසුනක් පමණි. තිපිටකයෙහි ඇති දහ නව දහසකටත් වැඩි සූත්‍ර අතරින් පිරිත් වශයෙන් හුවා දක්වමින් දේශනා කරන ලද එකම සූත්‍රයක් වත් නැත.ඒ සූත්‍ර අතුරින් පිරිත් නමින් කොටසක් වෙන් කොට ගෙන ඇත්තේ ද අප රටේ දී මය. උට්ඨාන වතෝ සතිමතො
සුචි කම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති
උට්ඨාන වීර්යය, සිහිය, නිවැරැදි ක්‍රියා විමසා බලා කටයුතු කිරීම, හික්මුණු බව, දැහැමි බව, ප්‍රමාද නොවීම ආදී පුරුෂාර්ථයන් මත සමෘද්ධිය ගොඩ නඟා ගත හැකි බව ඉහත ගාථා පාඨයේ අරුතය.එවන් පසුබිමක බෞද්ධ සදාචාර මාර්ගයෙන් පිට පැන දවසේ පැය විසි හතරේම පිරිත් අසා හෝ ප්‍රචාරය කොට ලැබිය හැකි ප්‍රතිලාභ මොනවාදැයි අප රටේ බෞද්ධයන් සිතා බැලිය යුතුය.පසුගිය කොරෝනා උවදුර තෙක් සෙත් පිරිත් ශාන්තිකර්ම මානසිකත්වයෙන් යැපුණු අප සමාජයේ බෞද්ධයන් ගෙන් යම් පිරිසක් හෝ පිරිත් වෙනුවට භජන් නම් වන මෙම නව විකල්පය තෝරා ගෙන ඇත්තේ ඒ අනුව යැයි මට සිතෙයි.
භජන් යනු උත්තර භාරතීය මහා සම්ප්‍රදායට අයත් ගායනා විශේෂයකි. බුදුන් දවස භාරත්යේ ද මෙම සංගීත සම්ප්‍රදායන් පැවැති බව මානව විද්‍යාත්මකව පවා තහවුරු වී තිබේ. එනිසාම ධර්මය තාලානුරූපව ගායනා කිරීමේ ආදීනව කීපයක් පෙන්වා දුන් බුදුන් වහන්සේ එය දුක්කටාපත්ති නම් විනයානුකූල වරදක් බව ද අවධාරණය කොට තිබේ .
[භික්ඛවේ ආයතනෙන ගීතස්සරෙන කම්මො ගායිතබ්බො යො ගාය්‍යෙය ආපත්ති දුක්කටස්ස] ඒ තමා එහි ඇලීම, අනුන් ද එහි ඇලවීම, .ගිහියෝ භික්ෂූන් ගී ගයතැයි පහත් කොට සිනාසීම,.ස්වර නිර්මාණය විෂයෙහි සිත යොමු වන භික්ෂුවගේ සමාධිය බිඳ වැටීම ,.පශ්චිම ජනතාව අගතියට පත්වීම යන කරුණු නිසා බව බෞද්ධ විනය ග්‍රන්ථ වල සඳහන් යඉහත සඳහන් පසුබිම යටතේ ව්‍යාපාර ප්‍රවර්ධනය අරමුණු කරගත් මධුර තනු,තූර්ය භාණ්ඩ සුසංයෝගය සහ ගායනා විලාසයන් ගැබ් වූ භජන් ගායනා ප්‍රචාරය මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතරේ තව දුරටත් ප්‍රවර්ධනය වන්නේ ද යන්න පිළිබඳව සමාජ විමර්ශකයන් ගේ අවධානය යොමු විය යුතු බව මගේ වැටහීමය.
තිලක් සේනාසිංහ