භූත බලවේග ඇතැයි පැවැසෙන නිවෙස් පිළිබඳව අපි අසා ඇත්තෙමු.එම භූත බලවේග මඟින් බොහෝ විට සිදු වනුයේ නිවෙස් වලට ගල්, වැලි වීසි කිරීම්, ආහාර වලට වැලි,අළු ඇතැම් ව්ට අශූචි පවා මුසු කිරීම්, නිවසේ දොර, ජනෙල් රෙදි ගිනි තැබීම් බව ජන විශ්වාසයයි.
එහෙත්,එවන් අයහපත් තත්වයන් හමුවේ නිවෙසට රුපියල් දහසේ නෝට්ටු ගෙනැවිත් දමන භූතයකු පිළිබඳව මට අසන්නට ලැබිණ.
“අපේ අම්මා ඉන්න කාමරේට තමයි ඔය භූතයා ඔහොම සල්ලි ගෙනත් තියන්නේ” වරක් දුරකතනයෙන් මා ඇමතූ කාන්තාවක් කීවාය. මාසෙකට සැරයක් දෙකක් අම්මා උදේ නැගිටලා බලනකොට අම්මා නිදාගන්න ඇඳේ කොට්ටේ යට හරි, එහෙම නැත්නම් ඒ කාමරේ තියෙන ටීපෝ එක උඩ හරි රුපියල් දාහේ කොළයක් තියනවා.
හැබැයි අම්මා කියන්නේ ඒවායින් පින්දහම් කරනවා හැරෙන්න වෙන මුකුත්ම කරන්න බැරිලු.
ඒත් තවමත් අපි මේ කතාව කිසිම කෙනෙකුට කියලා නැහැ. අනික මෙහෙම කතාවක් කිව්වට කිසිම කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ. එම කාන්තාව වැඩි දුරටත් කීවාය.
ඉනික්බිතිව ඇය වැඩිදුරටත් කියා සිටියේ භූතයකුගෙන් හෝ එලෙස වරින් වර මුදල් ලබාගැනීමේ වරදක් නොමැති මුත් තම නිවසටම පැමිණ මුදල් පිරිනමන ඒ දානපති ඒ භූතයා කවරෙක්ද? යන්න සහ එම මුදල් ගැනීමෙන් තම පවුලට නපුරක් අයහපතක් සිදුවේද යන්න නිරාකරණය කර ගත නොහැකිව තමන්, තම සැමියා සේම දියණියන් දෙදෙනා ඉමහත් මානසික තිගැස්මකට ලක්ව හිඳින බවය.
ඒ අනුව එවැනි සංසිද්ධියක් විමර්ශනය කිරීම පිණිස ඒ සම්බන්ධ ස්ථානීය ගවේෂණයක් කළ යුතු බව ඇයට දන්වා සිටි මම ඒ පවුලේ සැමගේ පොදු අනුමැතිය මත ඊට ආසන්නතම දිනයක පැල්මඩුල්ලේ පිහිටි ඔවුන්ගේ නිවෙස බලා පිටත්වීමි.
රත්නපුරය හරහා වැටීගත් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි එම නිවස අවට වූයේ වගුරු බිමකි. ඒ අවට අතහැර දමන ලද මැණික් පතල් කිහිපයක්ද දක්නට තිබිණ. අවට ප්‍රදේශයේ පැවැති තෙත් බව කොතෙක්ද යත් එම ගෙමිදුලේ පවා මීවන කුලයේ ශාක සරුවට වැවී තිබෙනු දක්නා ලදී.අද්දරක වෙනත් නිවාස ද නොවූ බැවින් අවට පරිසරය යම් පාළු සහගත බවක් ඉසිලීය.
එම නිවසේ ගෘහපතියා වයස අවුරුදු පනස් පහක පමණ අයකු වූ අතර ඔහු කලින් කලට විවිධ සුළු ව්‍යාපාරවල යෙදී ඇති බව මට දැනගත හැකි විය. බිරිඳ ඔහුට වඩා පස් වසරකින් ළාබාල වූ අතර වයස අවුරුදු විස්ස, දහසය සහ දහතුන යන වයස් කාණ්ඩවල දියණිවරු තිදෙනෙක් එම නිවසේ වූහ.
කුඩා කාමර තුනකින් යුතු එම නිවසේ එක් කාමරයක් එම යුවළ සඳහා වෙන්ව තිබිණ. ඊළඟ කාමරය දියණියන් තිදෙනා පරිහරණය කළ අතර එම බිරිඳගේ මව එහි අනෙක් කාමරයේ පදිංචිව සිටියාය. ගෙහිමියන්ගේ අවසරය මත එම නිවසට පිවිසි මා එහි සැකැස්ම විමසා බැලූ අතර මගේ විශේෂ අවධානයට ලක්වූයේ එම වියපත් කාන්තාව ජීවත් වූ කාමරයයි.
ඒ කාමරයේ එක් මුල්ලක් හසුවන සේ බිත්තියේ සවි කෙරුණු රාක්කයක් මත කුඩා බුද්ධ ප්‍රතිමාවක් සහ විෂ්ණු, කතරගම, සමන් සහ පත්තිනි යන දෙවිවරුන්ගේ රාමු කරන ලද කුඩා චිත්‍රද දැකිය හැකි විය. එම රාක්කය රතු සහ නිල් තිරවලින් වසා තිබිණ.
එම කාන්තාව එම කාමරය තුළ උදය සවස බුදුන් වැඳ පුදන බව මා යන විටද කාමරය පුරා පැතිර තිබූ හඳුන්කූරු සුවඳින් මනාව වටහා ගත හැකි විණි.නමුදු එහි එතරම් පිරිසිදු බවක් නොවූ අතර සිවිලිමක් නොමැති වහලයේ පරාල රීප්ප අතරේ මකුළුවන් සිත් සේ දැල් බැඳ තිබිණ.
“මම හැමදාම හවසට බුදුන් වැඳලා පිරිත් කියලා තමයි නිඳාගන්නේ. එක දවසක් මම උදේ නැගිටින කොට මගේ කොට්ට උරේ යට තිබිලා මොකක් හරි කඩදාසියක් වගේ දෙයක් හම්බ වුණා.
අත දාලා බලනකොට රුපියල් දාහේ කොළයක්. ඒක දැක්ක හැටියේ මට අදහාගන්න බැරි වුණා. ඊට පස්සේ මේ ළමයින්ගෙනුත් ඇහුවා උඹලා කවුරු හරි මගේ කොට්ටේ යටින් සල්ලි හැංගුවද කියලත්.
කොහොම හරි පහුවෙනකොට සති දෙක තුනකට සැරයක් මම උදේ නැගිටිනකොට එක්කෝ මේ ටීපෝ එක උඩ, එහෙමත් නැත්නම් අර කාපට් එක උඩ අර විදිහටම රුපියල් දාහේ කොළයක් තියනවා; මට කීයටවත් හිතාගන්න බැරි විදිහට.
හැබැයි ඉතින් මම ඒවා පින් දහම් වැඩවලට මිසක් වෙන කිසිම දේකට ගත්තේ නැහැ.” වැඩිදුරටත් එම කාන්තාව කියා සිටියේ වරින්වර මෙලෙස තමන්ට රහසින් මුදල් ලබාදෙනුයේ තම මියගිය ඥාතිවරයකු විය හැකි මුත් ඒ කවුරුන්දැයි තමන්ට නිශ්චයක් නොමැති බවය.අඩුම තරමින් ඒ ඥාති වරයකු ද නැතිනම් ඥාති වරියක ද යන්න පවා තමන් නොදන්නා බව ඇය කීවාය
ඉන්පසුව එම වැඩිහිටි කාන්තාව, ඇගේ දියණිය සහ දියණියගේ සැමියා සමග වෙන් වෙන්ව කතා බස් කළ මට එම වැඩිහිටි කාන්තාව ඉතා කලාතුරකින් මිස නිවසින් පිටතට නොයන්නියක බව ද තහවුරු විය.නමුදු තමන් සතු කුඩා තේ ඉඩමකින් ඇයට ඉඳ හිට යම් මුදලක් ලැබිණ.
එය ඇගේ අතට පත් කරන ලද්දේ ඇගේ දියණිය විසිනි. ඒ අනුව මින් ඉදිරියට කවර ක්‍රමයකින් හෝ එම නිවස තුළට ගෙනෙන සෑම රුපියල් දහසේ නෝට්ටුවකටම අංකය වෙනම පොතක සටහන් කර ගන්නා මෙන් මම ඒ ගෙහිමියන් ගෙන් ඉල්ලා සිටියෙමි. එම වැඩිහිටි කාන්තාවගේ අතට පත්වන රුපියල් දහසේ මුදල් නෝට්ටුවල අංකය විශේෂයෙන් සටහන් විය යුතු බව පැවැසූ මම යළි එලෙස අද්භූත අයුරින් ලැබෙන රුපියල් දහසේ නෝට්ටුවල අංකයන් ද වෙනම සටහන් කොට ගන්නා මෙන්ද ඔවුනට උපදෙස් දුනිමි.
එම ස්ථානීය නිරීක්ෂණයෙන් මාස කිහිපයකට පසුව එම පැල්මඩුල්ලේ කාන්තාවගෙන් යළි මට දුරකථන ඇමතුමක් ලැබිණ. එහිදී ඇය කියා සිටියේ මගේ පැමිණීමෙන් පසු එකම දිනකවත් එම භූතයා එලෙස තම මවට මුදල් ලබා නොදුන් බව ය.
මෙහිදී සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්ද? එම වැඩිහිටි කාන්තාව තම දියණිය සමීපයේ එක්තරා අන්දමක සංතෘප්තිමත් දිවි පෙවෙතක් ගතකරමින් සිටියාය. ඒ ඇගේ එදිනෙදා බොහෝ ඕනෑ එපාකම් ඇගේ දියණිය සහ බෑනණුවන් වෙතින් ඉටුවූ බැවිනි.
එහෙත් තමන් විසින් ගතකරනු ලබන ආගමික දිවි පවෛත කෙරෙහි තම දියණිය, බෑණා තුළ සේම ඔවුන්ගේ දියණිවරුන් තුළද නිසි හැඟීමක් තැකීමක් නොමැති බව මුල සිටම වටහාගත් මෙම වැඩිහිටි කාන්තාව තමන්ගේ පින් දහම් කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලැබෙන සහාය කෙසේවත් ප්‍රමාණවත් නොවන බවද කලක් තිස්සේ සිත තුළ ධාරණය කරගෙන සිටියාය.එමෙන්ම නවීන සමාජ පුරුදු වලය යොමු වී සිටි මිනිපිරියන් තම නියෝග ක්‍රියාත්මක නොකරන බව ද ඇයට කෙමෙන් වැටහෙමින් තිබිණ.
එම කාන්තාවට රුපියල් දහසේ නෝට්ටු මවා දෙන ‘භූතයා ගේ ක්‍රියාකාරිත්වය එම පවුල හමුවේ ඉදිරිපත් වනුයේ එම කාන්තාවගේ එම මානසික ගැටුම මුල් කර ගනිමිනි. මෙම තත්ත්වය විඝටන ආබාධය යනුවෙන් විද්‍යාත්මකව විස්තර කෙරේ.
එහෙත් මෙහිදී නිවසට එන සෑම රුපියල් දහසේ නෝට්ටුවකම අංකය ලියා ගන්නා ලෙස ඇයගේ ද දැනුවත් කම මත මා ගෙහිමිටන්ට දුන් උපදෙස හමුවේ තවදුරටත් එම භූත ක්‍රියාව හෙවත් මුදල් මැවීම කළ නොහැකි බව එම කාන්තාවගේ යටි සිත තේරුම් ගෙන තිබේ. තවදුරටත් මෙම රුපියල් දහසේ මුදල් නෝට්ටුව මැව්වහොත් වැඩ වරදින බව ඇය තම යටි සිතෙන් මතුවන “භූතයාට” දන්වා ඇත්තේ ඒ අනුවය.
ඒ කෙසේ හෝ මසකට
දෙවරක් වශයෙන් සෑහෙන කලක් තිස්සේ එම භූතයා විසින් එම පවුල හමුවේ මවා පා
ඇත්තේ එකම මුදල් නෝට්ටුව හෝ නෝට්ටු දෙක තුනක් බව ඒ අනුව පැහැදිලිය.
තිලක් සේනාසිංහ