“කුඩු පූසා” හිරෙන් පනී – ලෝක වාර්තාවක්!

August 4, 2020

පසුගිය අගෝස්තු 01 වනදා බෙල්ලේ ගැට ගසා තිබූ මත් කුඩු ග්‍රෑම්1.8ක්  සමඟ බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ බේස්ලයින් දොරටුව අබියස දී බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් බළලා බන්ධනාගාරය තුළ රඳවා සිටියදී අතුරුදන් ව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

ඒ අනුව බන්ධනාගාරයක් තුළ එහි නිලධාරීන්ගේ භාරයේ සිටියදී ඉන් පැන ගිය පළමු බළලා ලෙස ඔහු ලෝක වාර්තාවක් තබා ඇත.එම මත් ද්‍රව්‍ය සිද්ධිය හා සම්බන්ධ සාක්ෂියක් වශයෙන් පොලීසියට ඉදිරිපත් කිරීම පිණිස රඳවා සිටියදී ඔහු මෙසේ පලා ගොස් ඇත.බන්ධනාගාර නිලධාරීන් පවසන අන්දමට බළලා රඳවා තිබූ කුටියේ තිබූ කුඩා සිදුරක් ඔහු මෙම පලා යාම සඳහා උපයෝගී කරගෙන තිබේ.

මේ අතර මෙම සිදුවීමට විවිධ අර්ථකථන දෙන සමාජ ජාල ක්‍රියාකාරීන් පිරිසක් “අපට ඇත්තේ බළලෙකුවත් රැක ගත නොහැකි බන්ධනාගාර දෙපාර්තමේන්තුවකැ”යි උපහාසාත්මක චෝදනාවක් එල්ල කොට තිබේ.මේ අතර තවත් පිරිසක් අධිකරණය මඟින් ලබා ගන්නා වරෙන්තුවක් මත දැනට බන්ධනාගාරය සතු ඡායාරූප යොදාගෙන මෙම බළලා පොලිස් අත් අඩංගුවට ගත නොහැකිද?යන හාස්‍ය ජනක පැනය අසා තිබේ.

මේ අතර මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පෙර මෙම මත් ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ මහ මොළ කරු ගේ පෙළඹවීම මත බන්ධනාගාර නිලධාරීන් මෙම බළලා “අතුරුදන් කරවන්නට ඇතැ”යි  යනුවෙන් ද සමාජ ජාල වෙබ් අඩවි තුළින් අදහස් පළ වී තිබේ  

රේණුකා දමයන්ති

t

o

p