2016 – 2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11 ක මූල්‍ය වංචාවක්

August 2, 2020

2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කමිටුවක් පත්කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේය.


එම කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා,විශ්‍රාමික කැබිනට් අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර මහත්වරුන්ගෙන් සමන්විත විය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව මගින් 2016 – 2019 කාල සීමාව තුළ අරමුදලේ බරපතල මුදල් අවභාවිතාවක් සිදුව ඇති බව තහවුරු කර ඇත.

ඒ අනුව –

නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608 ක්

නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්

සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක්

පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266 ක්

අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්

විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316 ක්

බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060 ක් වශයෙන් රුපියල් මිලියන 11059 ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බව කමිටුව අනාවරණය කර ගෙන තිබේ.

සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇත.

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට 2019.11.15 දින අධ්‍යක්ෂ මණ්ඩලයක් කැඳවා ඇත. එයට සාමාජිකයින් 5 ක් සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයින්ගේද අත්සන් ලබාගෙන ඇත. මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේනිත්‍යානුකූලභාවය පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව සාමාජික අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද අවධාරණය කරයි.

කමිටු වාර්තාව භාරදුන් අවස්ථාවට කමිටු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන යන මහත්වරුන්ද සහභාගි වුහ.

t

o

p