අවවාදයයි; ‘පිරිත් කඹ’ කාරයන්ගෙන් ප්‍රවේසම් වනු

August 1, 2020

වර්තමාන සමාජය හමුවේ පෙනී සිටින ඇතැම් දේශපාලනඥයන් ගේත්, ප්‍රභූවරුන් ගේත් ඉඳ හිටෙක සුපිරි ගණයේ කලාකරුවන් ගේ සහ ක්‍රීඩකයන් ගේත් දකුණු අත්වල වළලු කරවල් ළඟින් යම් විශේෂත්වයක් දක්නට ලැබේ. එනම් බැලූ බැල්මට අවුල් සහගත බවක් පළ කරන සුදු පැහැති නූල් කන්දරාවකි. ඇතැම් විට මේවා සුදු පැහැති කඹ ලෙසින් දිස්වන අවස්ථා ද  තිබේ.

ලොව අන් කිසිදු රටක ජනතාවගේ සුරත්වල කලාතුරකින් වත් දක්නට නොමැති යැයි සිතෙන මෙම නූල් කන්දරාව කුමක් ද යන්න පිළිබඳව ඇතැම් විදේශිකයකුට ප්‍රශ්නයක් විය හැකිය. නමුත් ශ්‍රී ලාංකික අපට එය එතරම් අරුමයක් නොවේ. ඒ ඒවා පිරිත් නූල් වශයෙන් අප කාහට වුව පහසුවෙන් හඳුනාගත හැකි බැවිනි. තුන් තිස් පැය, සර්ව රාත්‍රික, තුන්වරුව ආදී වශයෙන් වන පිරිත් පජ්ජායනා කරන භික්ෂුහු ඒවා ඊට සවන් යොමු කළ දායක කාරකාදීන් ගේ අත්වල බඳිති.

ඇතැම් විට සෙත් පිරිත් සජ්ජායනා වලින් පසුව ද ඒවා බඳින අවස්ථා තිබේ. අතීතයේ එසේ පිරිත් සජ්ජායනා කළ භික්ෂුන් ඒවා පුරුෂ පාර්ශවයේ අත්වල ගැට ගැසූ අතර ස්ත්‍රී පාර්ශවයට ඒවා පැළඳ ගැනීම පිණිස ඔවුන්ගේ දෝත් වලට ලබා දෙන ලදී. ඒ අනුව අතීතයේ බොහෝ කාන්තාවෝ එම පිරිත් නූල් තම ගෙලෙහි ගැට ගසා ගත්හ. නමුදු අද වන විට භික්ෂුන් ඒවා කාන්තාවන් ගේ ද සුරත්වල ගැට ගසනු දැකිය හැක.

භික්ෂුන් මෙම පිරිත් නූල් ගැට ගසන එක්තරා ‘කලාවක්’ ද තිබේ. එනම් පිරිත් කරන ලද නූල් පන්දුවෙන් අඩි දෙක තුනක් දිග නූල් කැබැල්ලක් කඩා ගෙන එය තුන්පටක් වශයෙන් සකසා ගැනීමෙනි. මෙම තුන් පොට සහිත නූලක් පැළඳවීම ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සංකේතනය කරවන්නක් බවට විශ්වාසයක් අපගේ පැරණි ජන සමාජයේ විය.

මෙම ක්‍රියාව හඳුන්වනුයේ “තුන් නූල් කිරීම” යනුවෙනි. නමුදු මෙසේ නූල් පන්දුවෙන් වෙන් කර ගනු ලබන කොටස අඩි තුන හතරක් දිගට ඇදගත හැකි නම් පළමුව එය තුන් පටක් කොට යළි එය ද දෙකට නවා සය පටක් ලෙස යමකුගේ සුරතේ බඳින්නට පුළුවන. මේ ආකාරයට එය යළි නවා දොළොස් පටක් කිරීමට නම් සැලකිය යුතු දිගකින් යුතු නූල් කොටසක් ඒ සඳහා භාවිතා කළ යුතුය. නමුත් පොටවල් ගණන වැඩිවන විට එහි බලය, ගුණය, ආනුභාවය ඉහළ නැංවෙන බවක් බුදු දහමේ, නූතන ජනප්‍රිය බුද්ධාගමෙහි තබා අප ගේ ජන සංස්කෘතියේ හතර මායිමකවත් නැත.

බෞද්ධ සූත්‍ර පිටකයේ සූත්‍ර දහ නව දහස් ගණනක් තිබේ. නමුදු ඒ අතරින් පිරිත් වශයෙන් දේශනා කළ බව පැවසෙන එකම සූත්‍රයක් වත් නැත. අඩුම තරමින් මූලික බුදු දහමෙහි පිරිත් යන අරුත පළවන ‘පරිත්ත’ යන වදනවත් නැත. ඒ වදන මුල්වරට අපට හමුවනුයේ පසුකාලීනව ලියැවුණු සූත්‍ර අටුවා වලිනි.

සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ චුල්ලවග්ගයේ එන රතන සූත්‍රය එවන් පිරිත් දේශනාවක් බවට අප ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තුළ සුවිසල් පිළිගැනීමක් තිබේ. නමුදු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා 25 දරණ වෙලුමේ 68-73 පිටු මගින් රතන සූත්‍රය එහි නිධාන කතාව  ද සමඟ කියැවිය හැකි අතර එහි ‘පිරිත් කතාවක්’ ඇත්තේම නැත. රතන ස්‍රත්‍රය පිරිතක් බව පැවසෙනුයේ සුත්ත නිපාත අටුවාව වැනි පසුකාලීන ලේඛනයන්හිය.

පිරිත් දේශනාවන් හැඳින්වීම පිණිස පරිත්‍රාණ යන වදනක් යෙදෙයි. එහෙත්, මෙම පරිත්‍රාණ යන වදන සංස්කෘත සහ මරාති යන භාෂාවල ද එලෙසින් ම දක්නට ලැබේ. ඒවායේ පොදු අරුත ‘ආරක්ෂාව’ යනුවෙනි. ඒ අනුව බෞද්ධ සූත්‍ර වලින් තෝරාගත් කොටසක් පසු කාලීනව පිරිත් වශයෙන් භාවිතා වන්නට ඇත. ‘පරිසමන්ත තායස්සු රක්ඛතී ති පරිත්තං’ යනු අටුවාව මගින් පිරිත විස්තර කොට ඇති අන්දම ය. ‘හාත්පස උවදුරු වලින් වලකාලන්නේ යමක් විසින් වේද ඒ පිරිත් නම් වේ’ යනු එහි සිංහල අදහස ය.

ඒ අනුව ශ්‍රී ලාංකිකයන් අතරේ බුදුසසුන ව්‍යාප්ත වූ මුල් සමයේම ඔවුන් තම ලෞකිකත්වය මත පදනම් කරගත් ශාන්තිකර්ම අවශ්‍යතාව සපුරා වනු පිණිස සූත්‍ර පිටකයේ සූත්‍ර ධර්මවලින් කොටසක් එක්තරා ගණිත ක්‍රමයකට අනුව චතු භාණවර පාලි හෙවත් සතර බණවර වශයෙන් වෙන් කොට ගත් බව පෙනේ. වසර සිය ගණනක් තිස්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ශාන්ති කර්ම අවශ්‍යතා සපුරන ‘පිරුවානා පොත් වහන්සේ’ ජනතාව අතර ව්‍යාප්ත වනුයේ ඒ පසුබිම යටතේ ය. පරිවහන හෙවත් කට පාඩම් කිරීම යන අදහස ගෙන දෙන බැවින් මීට ‘පිරුවානා’ යන නම ලැබී තිබේ. භික්ෂුන් සඳහා වන අධ්‍යාපන ආයතන හැඳින්වීම පිණිස ‘පිරුවන’ යන වදන භාවිතා වන්නේ ද මෙම මූලය අනුව බව පෙනේ.

නමුදු චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර පද්ධතියක් හඳුන්වා දී ඇති ආචාර විද්‍යාත්මක දර්ශනයක් වන මූලික බුදු දහමේ යමක් ශ්‍රවණය කිරීමෙන් පමණක් යම් පිහිටක්, ඉෂ්ටාර්ථ සිද්ධියක් සැලසෙන බව සඳහන්ව නැත. බුදු දහමෙහි ඉගැන්වෙන අන්දමට යමකුට ධර්මයෙන් පිහිටක් ලබා ගත හැක්කේ එය ඇසීමෙන්, ධාරණය කිරීමෙන් හා ඒ අනුව හැසිරීමෙනි. (සුනා ථ ධාරේ ථ චරා ථ ධම්මේ) යනුවෙන් එහි දී බුදුන් විසින් කොට ඇත්තේ අණ කිරීමකි. මක් නිසාද යත් ඉහත සඳහන් පාලි වැකියේ සිංහල අරුත ‘අසව්! ධාරණය කර ගනිව්; (ඒ අනුව) හැසිරෙව්’ යන බැවිනි.

එහෙත් බුදුන් හැඳින්වීම පිණිස කට පුරා බුදුරජාණන් වහන්සේ යැයි පවසන අප ගේ බෞද්ධයෝ  බුදු රජාණන්වහන්සේ නිකුත් කොට ඇති එවන් ‘රාජාඥාවන්’ තුට්ටුවකට වත් මායිම් නොකරන අවස්ථා බොහෝ ය. අඩුම තරමින් මෙම ‘බුදුන්ගේ අණ’ යන ශාසනික අර්ථ නිරූපණයක් සහිත වදන භික්ෂුවක ගේ මුවින් නිකුත් වනු මට නම් අහම්බෙන්වත් ඇසී නැත. නමුදු බලි, තොවිල්, ශාන්ති කර්ම සිදුකරන ඇදුරන් නම් මෙම ‘බුදුන්ගේ අණ’ යන වදන පවසනු මා සිය දහස් වරක් අසා තිබේ.

අප ශ්‍රී ලාංකීය ජන සමාජයේ පිරිත් නූල ව්‍යවහාර වන්නට ඇත්තේ හින්දු, වෛදික ආභාෂයෙනි. එම සංස්කෘතියට අනුව හින්දු පුරාණෝක්තිවල පැවසෙන මිථ්‍යා සංකල්ප පදනම් කොට ගත් රතු සහ කහ නූල් පැළදීමක් සිදුකෙරේ. හින්දි බසින් මේවා කෞතුක්, කෝතුක් යනුවෙන් හැඳින්වේ. මෙම වදනෙහි අරුත විශ්මිත, ආශ්චර්යමත් යන්නය. නූල් වශයෙන් සහ ආරක්ෂක පළඳනා (Amulet) වශයෙන් සකස් කොට ඇති මේවා බොහෝ ශ්‍රී ලාංකිකයන් ගේ අත්වල ද තිබෙනු මා දැක තිබේ.

තත්වය මෙසේ තිබිය දී තුන් පටකින් යුතු නූලක් විය යුතු පිරිත් නූල ඇතැමුන් ගේ සුරත්වල කඹ ලෙස දැකිය හැක්කේ කවර කරුණු පදනම් ව දැයි මම නොයෙක් වර සිතා ඇත්තෙමි. මූලික වශයෙන් ඉන් හැඟී යන්නේ ඒ තැනැත්තා නිතර නිතර භික්ෂුන් විශාල සංඛ්‍යාවක් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන ඇති තැනැත්තෙකු බවය. නමුදු අපගේ ජන සම්මතයට අනුව පිරිත් නූලක බලය රඳා පවතිනුයේ තුන් වරුවකි. මෙහි දී ‘වරුව’ යනු කාර්යාල ජීවිතයේ වරුව නොව; දවසේ පැය දොළහක කාලයකි. ඒ අනුව අපගේ ජන සම්මතය අනුව පිරිත් නූලක වලංගු කාලය පැය තිස් හයකි. ඉන්පසු එය කල් ඉකුත් වන අතර එය කිසිවකුටත් නොපෑගෙන හෙවත් ‘යටි පහු නොවන’ ලෙස ගස් අතු රිකිල්ලක් වැනි තැනක රඳවා දිරා යන්නට සැලසිය යුතු බව ජන මතයයි.

ඒ අනුව මේ දිනවල මැතිවරණ වේදිකාවල මොර දෙන ඇතැම් දේශපාලනඥයන් ගේ අත්වල ඇති පිරිත් කඹ ගලවා එහි ඇති තුන් නූල් ගණන පරීක්ෂා කිරීමෙන් ඔහු ගත වූ පැය තිස් හය තුළ බැහැ දැක ආශිර්වාද ලබා ගත් භික්ෂුන් ගේ ගණන දැන ගත හැක. ඇතැම් විට එම ගණනයට අනුව එම භික්ෂුන්ගේ සංඛ්‍යාව සිය ගණනක් වීමට ද පුළුවන. එමෙන්ම ගත වූ පැය තිස් හය තුළ යමකු එපමණ භික්ෂුන් පිරිසක ගෙන් ආශිර්වාද ලබා ගෙන ඇත්නම් ඔහුට වෙන වැඩක් කිරීමට කාලයක් ඉතිරි නොවන බව ද ඔබට ඉන් වටහා ගත හැකි වනු ඇත.

අතීතයේ බොහෝ දේශපාලනඥයන් කෙරෙන් දක්නට නොලැබුණු මෙම පිරිත් කඹ උන්මාදය අප රටේ රූපවාහිනිය ව්‍යාප්ත වීමත් සමඟ ඇති වූවකැයි මම අනුමාන කරමි. සාමාන්‍යයෙන් පොටවල් තුනකින් යුතු පිරිත් නූලක් රූපවාහිනිය මතින් හරිහැටි දර්ශනය නොවන නිසා; ඔවුන් මෙලෙස රටටම පෙනෙන සේ තම පිරිත් නූල් පිරිත් කඹ බවට පත් කර ගන්නට ඇත.

ඒ කෙසේ හෝ ඔවුන් ගේ මෙම පිරිත් නූල් භාවිතය මුල් කොට විධිමත් විමසුමක් කළ හොත් ඉන් අපට ඉතා පැහැදිලිවම කිව හැක්කේ මේවා ද අහිංසක ජනතාව මුලා කිරීම පිණිස ඔවුන් විසින් යොදනු ලබන අනේකවිධ මවා පෑම්වල තවත් එක් අංගයක් පමණක් බවය. නමුදු යමෙකු තම ආගමික භක්තිය, විශ්වාසය පෙරදැරිව සාම්ප්‍රදායික පිරිත් නූලක් සුරතේ බැඳගැනීම පිළිබඳ කිසිදු විවේචනයක් මෙහිදි එල්ල නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ සූරීහු වරක් මා හා අපූරු කතාවක් කීහ.

“ඇඟ පුරාම පච්ච කොටාගෙන, ලේන් වලිගයක් වගේ එල්ලෙන පාට කරපු කොණ්ඩෙකුත් තියන, එක එක පාට මාල, වළලු, කරාබු දාගත්තු හාදයෙක් මගෙත් එක්ක කතා බහට ආවොත් මට තරමක් හරි අනුමාන කර ගන්න පුළුවන් මේ මොන ජාතියේ එකෙක්ද කියලා; ඒත් කොකෙක් වගේ සුදු පාටට ඇඳගෙන අතේ පිරිත් කඹේකුත් බැඳගෙන උපාසක තාලෙන් එන එවුන් ඉන්නවා නේද? උන්ව හඳුනගන්න එක හරිම අමරුයි. ඒ සමහර වෙලාවට අර පච්ච කොටපු හාදයටත් වඩා භයානක එකෙක් වෙන්න පුළුවන්; ඒ හින්දා මං නම් වැඩිපුරම පරිස්සම් වෙන්නේ උන්ගෙන්”

ආචාර්ය ලක්දුසිංහයන් ගේ ඒ අපූරු පාඩම මෙම මැතිවරණ සමයේ සුදුසු අයුරකින් තමන්ට ආදේශ කරගෙන කටයුතු කිරීම මෙරට පොදු ජන සමාජයේ යහපත පිණිස හේතු වනු ඇතැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ  

t

o

p