“සෞඛ්‍ය පොලිසියක්” අපිට අවශ්‍ය ද ?

July 27, 2020

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව හෙවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ 16 වන පාර්ලිමේන්තුව සඳහා ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීම, මැතිවරණ කොමසාරිස්වරයාට අනුව ලෝකය කැරකවීම නැවතුනහොත් හැර 2020 අගෝස්තු මස 05 දින පැවැත්වෙනු ඇත.ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් සිදුකරන මහ මැතිවරණය වන මෙය සුවිශේෂ වන්නේ අපේ රට ද ඇතුළුව ලොව පුරා කොරෝනා වසංගතය පැතිර පවත්නා අතරතුර මහමැතිවරණය පැවැත්වීමයි.

මේ අවස්ථාව වන විට,රට තුළ කොරෝනා ආසාදනය පැතිර යෑම අවම වී ඇතත් කලින් යොදා ගත් පරිදි ,අප්‍රේල් මස 25 වැනි දා හෝ ජූනි මස 20 වෙනිදා මහ මැතිවරණය පැවැත්වූයේ නම් අවදානම මීටත් වඩා ඉතාමත් අඩු විය හැකිව තිබුණා නමුත් කවර හේතුවක් මත හෝ මැතිවරණ කොමිසම දැන් සිටින ස්ථාවරයේ ඒ දිනවල සිටියේ නැහැ .

එය එසේ වූවා නම් එම කාල වකවානුවේ ඡන්දය කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වීමේ හැකියාව තිබුණා මහමැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ අවශ්‍යතාවය මා විසින් පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක්ම ඔස්සේ අවධාරණය කළා .නමුත් අධිකරණයෙන් කිසිදු වාරණයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට තිබියදී ද මැතිවරණ කොමිසම විසින් ස්වයං වාරණයක් යොදා ගනිමින් ඡන්ද දිනය නියම කිරීම සඳහා ඒ පිළිබඳව පවරා තිබූ නඩුව අවසන් වනතුරු කල් ගත්තා .ඒ හේතුව නිසාම තමා මැතිවරණය අගෝස්තු 05 දා දක්වා කල් ගියේ.


මීළඟට මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මහ මැතිවරණය පැවැත්වීමට නම් නිරෝධායන නීතී ගැසට් කළ යුතු බවයි.ඇත්තෙන්ම නීති සැකසීමට තිබුණේ ප්‍රසිද්ධ රැස්වීම් නවත්වා ජන මාධ්‍ය උපයෝගී කර ගනිමින් ඡන්ද ප්‍රචාරක කටයුතු සිදුකිරීම සඳහායි .පෞද්ගලිකව එක් එක් පුද්ගලයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ මොකද පත්වෙන අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත් වන්නේ යම්කිසි දේශපාලන පක්ෂයකින් නිසා මුළු රටටම බලපාන්නේ එම පක්ෂයේ ප්‍රතිපත්තිය පමණක් වන නිසයි .

තම පක්ෂය සහ සලකුණු අදාළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය වෙනත් විකල්ප ක්‍රමවේදයන් ද රීති මගින් සැකසිය යුතුව තිබුණා නමුත් මැතිවරණ කොමසාරිස්තුමාගේ බලවත් ඉල්ලීම මත ගැසට් මගින් මැතිවරණයට අදාල නිරෝධායන නීති ප්‍රකාශයට පත්කොට එය නීතියක් බවට පත් කොට තිබුනත් ඒවා කිසිසේත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව පැහැදිලියි.


සාමාන්‍යයෙන් ඡන්ද රැස්වීමක පුද්ගලයන් ප්‍රමාණය තුන්සියයක් ලෙසත් පක්ෂ නායකයා සහභාගීවන වන රැස්වීමක සහභාගිත්වය පන්සියයක් බවටත් එම නීති මඟින් ප්‍රකාශ කොට තිබෙනවා .නායකයා රැස්වීමට පැමිණෙන විට පන්සියයක් රැස්වීමට සහභාගි විය හැක්කේ කොරෝනා වෛරසය පක්ෂ නායකයා එනවිට පලා යන හේතුවෙන් දැයි නොදනිමි.එලෙසින්ම මීටරේ පරතරය තබා ගනිමින් රැස්වීම් වලට සහභාගි වන මහජනතාව සීමා කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව ඡන්ද රැස්වීම් වල රූපවාහිනි දර්ශන බලන විට ඉතාම පැහැදිලි වනවා.

එවිට සිදුවන්නේ නීතිය ගැසට් පත්‍රයට පමණක් සීමා වීමයි නිරෝධායන නීති කඩකරන ,දේශපාලන රැස්වීම් වලට මේ දක්වා ගැසට් කරන ලද නීති වලින් කිසිදු බලපෑමක් සිදුව නැහැ නමුත් එමගින් අවශ්‍ය නම් දේශපාලන හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයන් මත මහජනතාව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවා පොලිසිය සතුව පවතිනවා

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලන බලතල මොනවාද?

මේ අතරේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරෝධායන පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම සඳහා තමන්ට බලය පවරන ලෙස ඉල්ලා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් රැගෙන තිබෙනවා. එනම් ඔවුන් පොලීසිය සතු බලතල තමන් වෙත ලබාදෙන ලෙස බලකර සිටිනවා .මෙය ඉතාම භයානක ප්‍රවණතාවයක්.රටේ තියන පොලීසියට අමතරව මෙමගින් “සෞඛ්‍ය පොලිසියක්” ඇතිවෙනවා.


නිරෝධායන පනත පනවා ඇත්තේ අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව සිටි කාලයේදීයි. එනම් 1807 වසරේදීයි.ඒ වන විට අපේ රටේ විධිමත් ලෙස සැකසුණු සෞඛ්‍ය අමාත්‍යාංශයක් තිබුණේ නැහැ.ජනගහනයත් ඉතා අඩු ප්‍රමාණයක් තමා හිටියේ එම නිසා ඒ කාලයට ගැළපෙන පරිදි තමා අදාල පනත සකස් කොට තිබෙන්නේ.කෙසේ වෙතත් පනත සම්මත කරන කාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපේ රටේ සිටියේ නැහැ
.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉතිහාසය

සෞඛ්‍ය පරීක්ෂකයන් (sanitary inspectors) ලෙස මුලින්ම මාස හයක පුහුණුවක් ලද හය දෙනෙක් 1913 වසරේ දී අරඹන ලද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සනීපාරක්ශක ශාඛාවට (sanitary Branch) පත් කරනු ලැබුවා. 1934/35 කාලයේ පැවති මැලේරියා වසංගතය මර්ධනය කිරීම සඳහා ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති කළ අතර, එතුවක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සිටි කණ්ඩායම “,සනීපාරක්ශක සහකාර”(sanitary assistants) නමින් එම ඒකකයට බඳවා ගනු ලැබුවා.ඉන් අනතුරුව 1954 දී වෛද්‍ය Cumpston මහතාගේ නිර්දේශ මත ඔවුන්ගේ නිල නාමය මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector) ලෙස වෙනස් කරනු ලැබුවා.

වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවාරණ සෞඛ්‍ය ඒකකයට අනුයුක්තව මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් 2000 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරනවා.රෝග නිවාරණය සඳහා වැදගත් වන රටේ වරාය, ගුවන් තොටුපල පළාත් පාලන ඒකක වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල මෙම නිලධාරීන් සේවයේ යොදවා තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දී ලබා දී ඇති බලතල

රටේ රෝග නිවාරණ ආඥා පනත් රාශියක් ක්‍රියාත්මක කිරීමේ බලතල යම් යම් සීමාවන්ට යටත් කොට මෙම නිලධාරීන්ට පවරා තිබෙනවා.මේ අනුව දුම්කොළ සහ මධ්‍යසාර පනත සහ ආහාර පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී හැර,අනෙකුත් සියලුම පනත් සඳහා ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය , ඒ සඳහා නිසි බලධාරීන් වන පලාත් පාලන ආයතනයේ සභාපතිවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා වෙතින් ලබා ගත යුතු වනවා.

එසේ නිසි බලධාරියාගේ ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරීමක් සිදු කළහොත් එය අධිකරණය ඉදිරියේ බල රහිත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සඳහා වන උපදේශන අත් පොතේ (Manual for SriLankan public Health inspectors ) 4 වන පරිච්ඡේදයේ (160 පිටුව) සඳහන් කොට තිබෙනවා එය එසේ කොට ඇත්තේ ආයතන ප්‍රධානියාට තමන්ගේ නිලධාරීන්ගෙ රාජකාරි කටයුතු මනා ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලබා දීමටත්,එහි ඇති යම් යම් බලතල පොලිස් නිලධාරීන්ගේ බලතල හා සමාන වීම හේතුවෙන් ඇතිවිය හැකි ගැටීම් නවතා ගැනීමට සහ ඔවුන්ගේ රාජකාරිමය ක්‍රියාවන්ට එරෙහිව මහජනතාව විසින් නෛතික ක්‍රියාදාමයන්ට අවතීර්ණ වුවහොත් ඒ සඳහා අවශ්‍ය නෛතිකමය ආවරණය අදාල නිසි බලධරයන් විසින් ලබාදීම සඳහායි.


නිරෝධායන පනතේ 6 වැනි වගන්තියෙන් පනත කඩ කරන්න පුද්ගලයන් අත්අඩංගුවට ගෙන වහාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ බලතලත් 83 වගන්තිය යටතේ ඕනෑම නිවාස පරිශ්‍රයකට ඇතුළත්ව පරික්ෂා කිරීමේ බලයත් මේ අනුව පැහැදිලිවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ (නිසි බලධාරියාගේ ) අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ අවසරය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දී තිබෙනවා.
නමුත් ඒ සියල්ල පසෙකලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙනම ගැසට් පත්‍රයකින් නිරෝධායන පනත යටතේ මැතිවරණය සඳහා පණවා ඇති නීති ක්‍රියාත්මක කිරීම සඳහා බලය ඉල්ලා සිටිනවා.

පනත් මගින් බලය පැවරීම සුදුසු නැහැ

එවන් ආකාරයට බලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බැහැරව ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කොටසකට ලබාදුනහොත් එය බරපතළ ගැටලු ගණනාවකට හේතු වනවා. යම් හෙයකින් එසේ ගැසට් පත්‍රයකින් මිනිසුන් අත්අඩංගුවට ගැනීමට අභිමතානුසාරී බලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයන් වෙත ලබා දුනහොත් ඔවුන් තම ක්‍රියාවන් සඳහා තමන්ගේ ආයතන ප්‍රධානියා වෙත වගකීමට බැඳෙන්නේ නැහැ.එවිට ඔවුන්ගේ ක්‍රියාවන් පාලනය කිරීමට ක්‍රමවේදයක් නැතුව යනවා.එමෙන්ම තම ක්‍රියාවන් පිළිබඳව ආයතන ප්‍රධානියාට වග නොකියන නිලධාරීන් පිරිසක් සිය ආයතනයේ සේවය කරන විට එම ආයතනයේ පරිපාලනය බිඳවැටෙනවා .


මේ අයුරින් ඉන්පසු පවුල් සෞඛ්‍ය සේවිකාවන් , කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ආදී කණ්ඩායම් ද ආයතන ප්‍රධානියාගේ පාලනයෙන් මිදී ස්වාධීනව වැඩ කිරීම සඳහා පනත් මගින් බලය ඉල්ලා සිටීමේ හැකියාව තිබෙනවා එම නිසා මෙම ඉල්ලීම ඉටු කළහොත් ලෝකයේ ඉහළම මට්ටමක තිබෙන අපේ සෞඛ්‍ය සේවය විශේෂයෙන්ම නිවාරණ සෞඛ්‍ය ඒකකය සම්පූර්ණයෙන්ම කඩා හැලීමට හේතු වනවා
.

මහජනතාවගෙන් ගුටි කන වැඩක්

මැතිවරණය සඳහා ගැසට් කර ඇති නිරෝධායනය නීතිය දැන් රටේ නීතියක් බවට පත් වෙලා තිබෙනවා.රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානතම බලධාරියා වන්නේ ශ්‍රී ලංකා පොලීසියයි.මෙම ගැසට් කර ඇති නීති දෙස බැලූ විට එය වඩාත් ම හොඳින් ක්‍රියාත්මක කළ හැක්කේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට නොව ශ්‍රී ලංකා පොලීසියට බව ඉතා පැහැදිලියි.”නායකයා පැමිණෙන රැස්වීමට උපරිම සහභාගිත්වය පන්සියයයි කියලා නීතියේ දක්වා තිබෙනවා.නමුත් එය නොතකා දහසක් දෙදහසක් පමණ රැස්වීමට පැමිණියහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කළ හැක්කේ කුමක්ද ?

ඔවුන් අතර මීටරයේ පරතරයක් නොතිබුණේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කළ හැක්කේ කුමක්ද ?එවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙතුන් දෙනෙක් ගියහොත් සිදුවන්නේ අනිවාර්යයෙන්ම එම පිරිසගෙන් ගුටිකා රෝහල්ගත වීමටයි ඇත්ත වශයෙන්ම ගැසට් මගින් නීතිගත කොට ඇති මැතිවරණය සඳහා වන නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය කිසිලෙසකින් අත්‍යවශ්‍ය නොවේ .ඒ සියල්ල පොලිස් නිලධාරීන්ට පහසුවෙන්ම කල හැකියි.

කොරෝනා මර්දනයට මැනවින් සහය දුන්නා

කොවිඩ් රෝග මර්දනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්,තමන්ට පැවරී ඇති රාජකාරිය මනා ලෙස ඉටු කිරීමට ඉදිරිපත් වූ බව අප සැම පිලිගන්නවා.එය ඔවුන්ගේ රැකියාව .ඔවුන් විසින් එය ඉටු කිරීමට බැඳී සිටිනවා .ඒ සඳහා තමා රජය විසින් ඔවුන්ට වැටුප් ගෙවන්නේ.නමුත් ඔවුන් විසින් අයථා ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිය රාජකාරි කටයුතු පැහැර හරිමින් කටයුතු කරන බව පෙනී යනවා.නමුත් මතක තබා ගත යුත්තේ ඔවුන් කොරෝනා මර්දනයට සක්‍රිය දායකත්වයක් මීට පෙර දක්වා සිටිය ද,එම රෝගය මර්දනය කිරීමට ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය නොවන බවයි. මැතිවරණ කොමසාරිස්තුමාට,ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය වන්නේ කුමකටද යන්න පැහැදිලි නැහැ .මැතිවරණ දිනය විටින් විට කල් දමා අගෝස්තු මාසයට නියම කිරීම, බලාත්මක කරන්න බැරි නිරෝධායන නීති මැතිවරණයට පැනවීම, වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය නොමැතිව මැතිවරණය පැවැත්වීමට අපහසු බව කීමත් විහිළු සහගතයි


තමන්ගේ සේවාව අත්‍යවශ්‍ය බව පෙන්වමින් “කල දුටු කල වල ඉහ ගැනීමට” දක්වන උත්සාහය සහ “බොර දියේ මාළු බෑමට ” දේශපාලන හස්තයන් මගින් මෙහෙයවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉතා පිළිකුල් සහගතයි .


රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය වන පොලීසිය පවා චූදිතයන් වෙත නඩු පවරනු ලබන්නේ අදාල පොලිසියේ ස්ථානාධිපති ගේ අත්සනින් යුතුව මිස අත්අඩංගුවට ගන්නා නිලධාරියාගේ නමින් නොවෙයි.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ අනුව ඉල්ලා සිටින්නේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ බල තලයි. කාකි නිල ඇදුම ,රාජ්‍ය ලාංඡන සහ තරු මෙන්ම වර්ණ සංකේතයන් කිසිදු පදනමක් නැතුව තම නිල ඇඳුමට එකතු කරගෙන ඇති මෙම නිලධාරීන් සිටින්නේ තම බලය මහජනයා වෙත පැතිරවීමේ ඒකායන බලාපොරොත්තුවෙන් බව ඔවුන්ගේ මෙම ඉල්ලීමෙන් පැහැදිලි වෙනවා .හැංගි හොරා නැතුව ගරු සෞඛ්‍ය ඇමතිතුමිය ඉතාම නිවැරදිව මෙම තත්ත්වය ජන මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනු ලැබුවා.

කොරෝනා මර්දනය කළ හැක්කේ නීති වලින් නොව මහ ජනතාවගේ සාමූහික එකතුවෙනි

කොරොනා රෝගය සමාජයෙන් තුරන් කර හැක්කේ මහජනතාවගේ සාමූහික එකතුවෙන් මිස මිනිසුන්ට නීති මගින් දඬුවම් කිරීමෙන් නොවේ.ඇත්තෙන්ම අපේ රටේ සිදු වුයේ රෝගය අප රටට පැමිණි මුල් අවස්ථාවේදීම රෝගය දරුණු ලෙස ප්‍රජා ව්‍යාප්තිය අවස්ථාවේ තිබූ වෙනත් රටවල දර්ශන පෙන්වමින් රටම “ලොක්ඩවුන්” කරමින්,මුඛවාඩම් බැඳීමට බලකරමින් , සංගීත සංදර්ශන පවත්වමින් සින්දු නිර්මාණය කරමින් මහජනතාව අතිවිශාල භීෂණයකට ඇද දැමුවා.ඉන් පසු පළමු රැල්ල අවසන් බව ද ප්‍රචාරය කළා.දැන් දෙවන රැල්ලත් ඉවර බව ප්‍රකාශ කරමින් සිටිනවා .නමුත් සත්‍යය වශයෙන්ම මේ රටෙහි කොරෝනා රැල්ලක් ඇති වුණේ නැහැ .

ඇත්තම කියනවා නම් මෙහි ඇති වුණේ කොරෝනා “පූර්ව රැලි'” මිස සැබෑ “රැලි ” නොවෙයි .සැබෑ රැළි ඇති වන්නට නම් එය ප්‍රජා ව්‍යාප්ත අවස්ථාව එනම් වසංගතය ක 4 වන අවස්ථාව පසු කර තිබිය යුතුයි.නමුත් මේ දක්වා අප රට වසංගතයේ තුන්වන අවස්ථාවට මිස හතරවන අවස්ථාවට පැමිණ නැහැ. චීනයේ පලමු “කොරෝනා රැල්ල” මුහුදු රැල්ලක් හා සමාන නම් අපිට ආව “රැල්ල” නුවර වැවේ සුළඟට ඇතිවන රැල්ලක් හා සමානයි නමුත් මහජනතාව රෝගය ව්‍යාප්තවීමේ හතරවන අවස්ථාවේදී කළ යුතු දේවල් මුල් අවස්ථාවේදීම කරවීමට පෙලඹවීම හේතුවෙන් මහජනයාගේ සිත් තුළ ඇතිව තිබූ බිය මේ වන විට දුරුව ගොස් තිබෙනවා.

රටේ රෝගීන් දහතුනක් හමු වූ විට මුළු රටම “ලොක්ඩවුන්” කර පාසල් වැසීමට ක්‍රියා කළා.අකුරණ ප්‍රදේශයෙන් රෝගියෙකු හමු වූ විට කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නාවලපිටිය ,හසලක ආදී ප්‍රදේශවල මිනිසුන් ඇඳිරි නීතිය යොදා ගෙවල් වලට සීමා කළා .නමුත් දැන් දිනකට රෝගීන් තිහක් හතළිහක් හමුවුනත් රට එසේ “ලොක්ඩවුන්” කරන්නේ නැහැ.පාසල් නැවත පටන් ගන්නවා ,මහමැතිවරණ තියෙනවා, ඡන්ද රැස්වීම් තියෙනවා,.මීටරයක් ඈතින් ඉඳලා බස් එකට නැගලා ඔඩොක්කුවෙ ඉඳගෙන යනවා ,නායකයා නැති විට තුන් සීයක් සහ නායකයා ඇතිවිට පන්සියයක් සහිත ඡන්ද රැස්වීම් පැවැත්වීමට නීතියෙන්ම ඉඩකඩ ලබා දීලා තියෙනවා .

කොරෝනා රැලි දෙකක්ම ආවත් මියගොස් ඇත්තේ එකොළොස් දෙනයි කියලා හිතාගෙන . තමා මිනිසුන් මෙම රෝගය සැහැල්ලුවට ගෙන තිබෙන්නේ.නමුත් ඇත්ත කතාව තාම අපේ රටට එක කොරෝනා රැල්ලක් වත් පැමිණ නැති බවයි .එම නිසා දැන් කළ යුතු වන්නේ මහජනතාව නිවැරදිව දැනුවත් කොට,ඔවුන් වෙත අවම අපහසුතාවයන් ඇති වන පරිදි නිරෝධායන මාර්ගෝපදේශයන් පිළිබඳව දැනුවත් කිරීමත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය, මර්දනයෙන්, භීෂණයෙන් නීතියෙන් නොව හදවතින් ලබා ගැනීමයි.

නිරෝධායන කටයුතු සඳහා ප්‍රමාණවත් බලතල මේ වනවිටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත පවතිනවා

මේ වන විට නිරෝධායන පනත යටතේ නිරෝධායන නීති ලෙස සැලකිය හැක්කේ මහා මැතිවරණ උදෙසා ගැසට් මඟින් ප්‍රකාශ කරන ලද නිරෝධායන නීති පමණයි .ඒවා සාමාන්‍ය ජන ජීවිතයට අදාළ වන්නේ නැහැ. මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටින්නේ මැතිවරණයට අදාල නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට සෘජු බලයක් තමන් වෙත පවරන ලෙසයි.නිරෝධායන නීති අනිත් සාමාන්‍ය පුද්ගලයන්ට බලාත්මක නොවන නිසා ඇත්ත වශයෙන්ම නිවාස තුළට ඇතුළු වීමට ඔවුන්ට අවශ්‍යතාවක් ඇතිවන්නේ නැහැ.නමුත් නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයාට ලැබී ඇති බලතල අනුව, ඔහුගේ උපදෙස් අනුව නිරෝධායන කටයුතු සඳහා එසේ නිවාස පරිශ්‍රයන් වෙත ඇතුලත් වීමේ බලය ඔවුන් වෙත තිබෙනවා.

මක්නිසාදයත් අදාල බල ප්‍රදේශයේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත බලතල පැවරී ඇති බැවිනි
මෙතුවක් කල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරුන් යටතේ ඔවුන්ගේ බලතල භාවිතා කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය රාජකාරි මැනවින් ඉටු කරනු ලැබුවා.ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය බලතල ලබාදී තිබෙන්නේ අනාදිමත් කලක සිටයි .නමුත් තම උපැස් යුවළ නළල මත රඳවාගෙන එම උපැස් යුවළ තමන් සතුවම ඇති බව නොදැන නැවත එය ඉල්ලා සණ්ඩු කරනවා වැනි දෙයක් තමා ඔවුන් දැන් කරමින් පවතින්නේ.

ඇත්තෙන්ම එය ඔවුන්ගේ උවමනාවට නොව,කොරෝනා මර්දනය කිරීමේ සාර්ථක රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීමේ දේශපාලන අදිසි හස්තයකින් ක්‍රියාත්මක කරන්නන් බව ඉතා පැහැදිලියි මේ නිසා. “සෞඛ්‍ය පොලීසියක්” ඇති කිරීමට අවස්ථාවාදීන් විසින් කරන කුමන්ත්‍රණය පරාජය කිරීම අප සැමගේ වගකීම වන බව අවධාරණය කරනවා. එසේම මෙම ඉල්ලීම් ඉටුකර ගැනීමට නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත්ව ආරක්ෂක අමාත්‍යාංශයට අයත් පොලීසියේ හෝ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් පළාත් පාලන ආයතන වල සේවාවක් ලෙස ස්ථාපිත වීමට ඉල්ලා සිටීමත් හොඳ විකල්පයක් ලෙසයි මට පෙනෙන්නේ
.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
MBBS (PERADENIYA)
LLB (OUSL)
CER.PSYCHOLOGY AND COUNSELING
වෛද්‍ය නිලධාරී
ජාතික රෝහල මහනුවර

t

o

p