මන්ත්‍රීවරයෙක් සමගි ජන බලවේගය සමග අනවබෝධයෙන් සහයෝගය දක්වා ඇති නම් නැවත එ.ජා.ප ය සමග එක්විමට අවස්ථාව

July 25, 2020

අධිකරණ තින්දුවට අනුව පළාත් පාලන මන්ත්‍රිවරයෙක් හෝ වෙනත් ක්‍රියාකාරිකයෙක් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වුවහොත් ඔහුට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දැරිය නොහැකි බව එ.ජා.ප. නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැල්ලවායේ දි ප්‍රකාශ කළේය.

සන්ධානයක් මිස පක්ෂයක් හැදිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදි නැති බව අධිකරණ තින්දුවෙන් සනාථ වන බව පැවසු වික්‍රමසිංහ මහාතා අනවබෝධයෙන් කටයුතු කල අය සිටිනම් ඒ අයට දැන් පක්ෂය සමග එක්විමට අවස්ථාව තිබෙන බව පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ වැල්ලවාය ලිට්ල් රෝස් හෝටලයේ දහවල් පැවති ජන හමුවකට එක්වෙමිනි.

වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල සහ ඌවපරණගම ප්‍රදේශවල ජනහමු පැවති අතර, වැල්ලවාය පැවති ජනහමුව අමතා තවදුරටත් මෙසේද කීය.

කොරෝනා සම්බන්ධව ආණ්ඩුව බොරු කිව්වා. රටේ කොරෝනා නැහැ කිව්වා. නමුත් කොරෝනා රෝගින් නොයෙක් තැන්වලින් මතු වෙන්න පටන් ගත්තා. තව කොපමණ සමාජයේ ඉන්නවාද කියන්න දන්නේ නැහැ. කොපමණ සංඛාවක් සඟවාගෙන ඉන්නවාද කියා අපි දන්නේ නැහැ. ඒ ගැන පරික්ෂණ පවත්වන්න ආණ්ඩුව අකමැතියි.

කොරෝනා වෛරසය සමග ඇතිවු ආර්ථික අර්බුදයට මේ ආණ්ඩුවට මුහුණදිමට නොහැකි වි තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු කොරෝනා වෛරසය සමග ඇතිවූ ආර්ථික අර්බුදයට විසදුම් සෙවිමට ක්‍රියා කළා. එම ආණ්ඩු ජනතාවට මුදල් ලබාදුන්නා. ව්‍යාපාර වලට උදව් කළා. රැකියා අහිමි වු අයට ආධාර කළා. ඒ සදහා විවිධ වැඩ සටහන් හඳුන්වා දුන්නා. නමුත් අපේ රටේ එවැනි කිසිදු වැඩ සටහනක් ඇති කලේ නැහැ.

මෙවැනි පසුබිමක රටේ අද උද්ගතව තිබෙන ප්‍රශ්න වලට සාර්ථක විසදුම් ඇතිව මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒ නිසා අපේ සැලසුම් ක්‍රියාත්මක කර කොරෝනා වෛරසය මෙන්ම ආර්ථික අභියෝගය ද ජයගෙන ඔබේ ප්‍රශ්න විසඳා ගැනිම සදහා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමේ වරම ලබා දෙන ලෙස ලක්වාසි ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

රට හමුවේ ඇති අභියෝග ජය ගැනිම සදහා ප්‍රතිපත්ති ප්‍රකාශයට ඔබ්බෙන් ගිය සැලැස්මක් අප ඉදිරිපත් කළා. ඉදිරි අවුරුදු දෙක තුන ඇතුලතදි මේ ප්‍රශ්න සියල්ලටම විසදුම් ලබාදිමට අපට හැකියාව තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව සෑම රටකටම මුහුණ දිමට සිදුව තිබෙන දරුණුම අභියෝගයට අද අප ද මුහුණදී සිටිනවා. මේ අභියෝගයට මුහුණ දීමට අපි ලෑස්ති වුණත් වෙනත් අය ලැස්ති නැහැ. ඇතැම් අය විපක්ෂ නායකකම ගන්න හදනවා. සමහරු සිරිකොත පක්ෂ ගොඩනැගිල්ල අල්ලා ගන්න හදනවා. අද තිබෙන මේ ප්‍රශ්න වලට එය විසදුමක් නොවෙයි.

අද ඇතැම් අය ප්‍රකාශ කරනවා මේ වතාවේ අපට විපක්ෂයේ බලය දෙන්න ඊලඟ වතාවේ ආණ්ඩු බලය දෙන්න කියා. නමුත් ඒ සදහා තව අවුරුදු පහක් සිටිය යුතුයි.

1947 දි ඩි.එස්. සේනානායක මැතිතුමා සිදුකළ ප්‍රකාශය මට සිහිපත් වෙනවා. එතුමා එදා ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂය ඇති කළේ රට ආරක්ෂා කරන්න යි. අද අපි ඇවිත් තමුන්නාන්සේලා ගෙන් වරමක් ඉල්ලනවා. ආණ්ඩුවක් හදන්න. ඒ වරම දෙනවා නම් අපි ආණ්ඩුව හදනවා. වරම නොලැබෙනවා නම් අපි විපක්ෂයේ ඉන්නවා. ඒත් අපේ මුලික වැඩ කටයුත්ත විපක්ෂයේ ඉන්න නෙවෙයි. අපේ මුලික වැඩ කටයුත්ත වරමක් ඉල්ලා ආණ්ඩුවක් හැදිමයි. එලෙසයි එදා මේ ක්‍රමය ක්‍රියාත්මක වුනේ. ඒ අනුව අද එක්සත් ජාතික පක්ෂය ඔබ ඉදිරියට පැමිණ ඒ වරම ඉල්ලා සිටිනවා.

අද සමහරු එක්සත් ජාතික පක්ෂ දෙකක් තිබෙන බව ප්‍රකාශ කරනවා. තවත් සමහරු අර බලවේගයක්ද ගෑස් සිලින්ඩරයක්ද කියන එකේ සාමාජිකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂය ඉඩදුන් බව ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධව එහි ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර උසාවි ගියා. මාවත් උසාවියට ඇදගෙන ගියා. ප්‍රථමයෙන් දිස්ත්‍රික් උසාවියට ගිය පසු එතැනින් පරාද වුණා. ඉන්පසු අභියාචනාධිකරණයට ගියා. එතනිනුත් පරාජයට පත්වණා.

රංජිත් මද්දුම බණ්ඩාර ලේකම්වරයා සැම අධිකරණයකටම ගියා. තවත් උසාවි ගණනාවකට යන බව ඒ අය ප්‍රකාශ කරනවා. මා මේ අයට කියා සිටින්නේ ලංකාවේ බැරිනම් ජාත්‍යාන්තරය අධිකරණය දක්වා යන ලෙසයි. ඊටත් ඉහලින් යමක් තියෙනවා නම් ඒකට හරි කමක් නෑ යන්න. සක්‍ර දෙවියන් ලඟට හෝ කමක් නැ යන්න. ඒ කිසිවක් අප නතර කරන්නේ නැහැ.

මේ අයට අවසන් වතාවට අධිකරණයෙන් ලබාදි තිබෙන තින්දුව ඔබගෙ දැනගැනිම සදහා කියවන්න මා කැමැතියි. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයට බහුතර සාමාජිකත්වයක් ඇති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය එකඟ වූ පරිදි සන්ධානයක් නොවන බව ඉතාමක් පැහැදිලි වේ. සමගි ජන බලවේගය යනු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පැමිණිලිකරු සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් කොටසක් විසින් මැතිවරණ කොමිසම මගින් ලියාපදිංචි කර ඇති වෙනම දේශපාලන පක්ෂයක් බව පැහැදලිය. තවද එළෙඹෙන මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයන්ට විරුද්ධව ඡන්දය ඉල්ලමින් සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බව පැහැදිලියි.

මිට වඩා තව මොනවා කියන්නද මෙයින් සනාථ වන්නේ අපේ පක්ෂයට විරුද්ධව ඒ පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බවයි. මෙයින් සනාථ වන්නේ මේ අය අපේක්ෂකයින්ගේ විනය උල්ලංඝණය කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පැමිණිලිකරු පැහැදිලිව ප්‍රතිවිරුද්ධව ක්‍රියාකර ඇති බවත් එවැනි අවස්ථාවකදි පක්ෂයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම උදෙසා පරික්ෂණයක් පවත්වන තුරු පැමිණිලිකරුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිමට පක්ෂ නායකයාට පක්ෂ ව්‍යවස්ථාව අනුව අයිතියක් තිබු බවත් පෙනේ. ඔහු සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වූ පසුව එක්සත් ජාතික පක්ෂයට ඔහුට විරුද්ධව විනය පියවරක් ගැනිමට හැකියාවක් ඇත්තේ නැත. එක්සත් ජාතික පක්ෂයේ නම් පාවිච්චි කර ඡන්ද ලබාගැනිම පැමිණිලිකරුගේ පමාර්ථය වූ බැවින් එයින් එක්සත් ජාතික පක්ෂයට අතිශයින්ම අගතියක් ඇතිවිය හැකිය.

මා මේ කියවන්නේ මගේ අදහසක් නොවෙයි. උසාවි නියෝගයයි. රජ කාලේ නම් මෙය හඩනගා කියවන්න අඩබෙර කරුවෙක් යවනවා. අද මේ තිබෙන්නේ ඩි.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල ,ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩි.බි. විජේතුංග යන නායකයින්ගේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ පක්ෂයේ අද අපි සාමාජිකයෙක් වී කටයුතු කරනවා.

මේ පක්ෂය එක පක්ෂයක් බව කිව යුතුයි. බලවේගයද ගෑස් සිලින්ඩර් ද කියන්නේ වෙනත් පක්ෂයක් එය හරියට ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවට මෙන්ම වෙනත් පක්ෂයක් එය එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නොවෙයි. එහෙම නම් ඒ පක්ෂයේ සිට සිරිකොත අල්ලන්න එනවා කියා කියන්න බැහැ. මේ පසුබිම තුල මේ අය සිරිකොතට පැමිණියහොත් ඒ කටයුත්ත පොලිසියට මම බාර දෙනවා. ඒ අනුව පොලිසිය නිතිය ක්‍රියාත්මක කරාවි. පක්ෂ අපේක්ෂකයන්ගේ විවිධ වාදවිවාද තිබෙනවා. නමුත් මෙලෙස පිටින් ඇවිත් සෙල්ලන් දාන්න දෙන්න බැහැ. පිටින් පැමිණ අපේ මේ ලයිට්, දොර අගුළු ගලව ගෙන, පුටු සෙට් ඉවත් කරනවා නම් පොලිසියට කියනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මේ අය දැන් ප්‍රකාශ කරන පරිදි ඡන්දයෙන් පසු ඔවුන්ගේ ප්‍රථම කාර්යය වන්නේ සොරකම් කිරිමයි. අනුන්ගේ ගෙවල් වලට පැන පහර ගැසිමයි. මෙවැනි අයට ඡන්දය දෙන්නේ කව්ද?

අද මැතිවරණ වේදිකාවේ වෙනත් පක්ෂ කතා කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන. නිතිය සාමය ආරක්ෂා කිරිම ගැන. පොහොට්ටුව කියනවා ඔන්න අපි කුඩු කායෝ ඇල්ලුවා කියා. නමුත් මේ අය කියන්නේ ඡන්දයෙන් පසු ගහලා සිරිකොත අල්ලා ගන්නවා කියන එකයි.

මේ අයට දැන් පක්ෂ දෙකේම ඉන්න බැහැ. තමන් එක්සත් ජාතික පක්ෂයේ නම් මේ පක්ෂයේ ඉන්න ඕන. තමන් එක්සත් ජාතික පක්ෂයේ නොවෙයි නම් වෙන පක්ෂයකට යා හැකියි. ඉතිහාසය දෙස බලන විට අවස්ථා ගණනාවකදි නොයෙක් අය මේ පක්ෂයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඉවත්ව ගියා. ඒ වගේම තවත් අය ඉවත්ව ගොස් තිබෙනවා.

තම පරමාර්ථය එක්සත් ජාතාක පක්ෂ නැති කිරිම නම් ඒ අයට මෙතැනින් පිටවි ඕනෑම පක්ෂයකට එක්විය හැකියි. තමන්ගේ පරමාර්ථය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න නම් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකර එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදිය යුතුයි. නඩු තින්දුවෙන් පසු දෙකම කරන්න බැහැ. ඒ අනුව කුමන පැත්තකට යනවාද කියා තිරණය කළ යුතුය. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් හෝ වෙනත් අපේ ක්‍රියාකාරිකයෙක් හෝ සමගි ජන බලවේගයට වැඩ කලොත් ඔහුට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරිමට නොහැකියි. මේ ගැන අනවබෝධයෙන් වැඩ කළ අය සිටිනවා නම් ඒ සියලු දෙනාම හෙට සිට පක්ෂය සමග එක්ව වැඩ කළ හැකියි. ඒ අවස්ථාව අප ලබාදෙනවා.

අද ඇතැම් අය ප්‍රකාශ කරනවා එක්සත් ජාතික පක්ෂය නැති වෙනවලු. බණ්ඩාරනායක මැතිතුමා යනවිටත් ඔය කතාවම කිව්වා. 1956 ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැසු බව ප්‍රකාශ කලා. අන්තිමට එතුමාගෙම පක්ෂයේ අය එතුමාව මරා දැමුවා.

එක්සත් ජාතික පක්ෂය ලෙස අපි කිසිවකුටත් මඩ ගසන්න හෝ අපහාස කරන්න යන්නේ නැහැ. අපේ අරමුණ මේ රට ගොඩ ගැනිමයි. ඒ සදහා වන අපේ සැලැස්ම අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන අපි ඔබට කරුණු කියනවා. අද මේ රට මුහුණපා තිබෙන අභියෝගය ජයගත හැකි සැලසුමක් තිබෙන අප හැර කිසිදු පක්ෂයක් මේ මැතිවරණයට ඉදිරිපත්ව නැහැ.

2015 මා අගමැති ධූරයට පත්විමෙන් පසු විවිධ අමාත්‍යාංශ මාර්ගයෙන් මේ ප්‍රදේශ සංවර්ධනය කිරිම සදහා මුදල් ලබාදුන්නා. මන්ත්‍රිවරු 106 කින් කෙසේ හෝ අපේ ආණ්ඩුවට ඉදිරියට ගෙන ඒමට අප කටයුතු කළා.

2001 වසරේදි වැල්ලවාය කුඩාඔය ප්‍රදේශයේ ගුවන් තොටුපලක් ඉඳිකරන්න සැලසුම් කළා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය මත්තලට ගෙන ගියා. 2015 අපි බලයට පැමිණ ඒ ගුවන්තොටුපල නැවත මේ ප්‍රදේශයට ගෙන ඒමට නොහැකි නිසා හම්බන්තොට වරාය යටතේ විශේෂ ආර්ථික කලාපයක් අප ඇති කලා. එය දකුණු ආසියාවේ විශාලතම ආර්ථික කලාපයයි. ඊට අක්කර දස දහසක් අයත් වෙනවා. හම්බන්තොටින් 5000ක් සහ මොණරාගලින් 5000 ක් බැගින් ඒ සංවර්ධන කටයුත්ත ආරම්භ කරන්න අප සැලසුම් කළා.

ඒ වගේම මත්තල සිට වැල්ලවායට අධිවේගි මාර්ගයක් ඉඳිකරන්න සැලසුම් කලා. මේ වැඩ කටයුතු කිසිවක් පොහොට්ටුව ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොණරාගල දියුණු කිරිම සදහා එවැනි වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන්න අප සැලසුම් කර තිබුනා.

අද අපි ඔබේ අනාගතය, ඔබේ දිස්ත්‍රික්කය දියුණු කිරිම සදහා එක්සත් ජාතික පක්ෂය ලෙස ඔබ හමුවට පැමිණ සිටිනවා. ඔබේ බලාපොරොත්තු ඉටුකර ගන්න එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂය ඇති කළා සේ ඇතැම් අය සිතුවා පක්ෂයක් හදලා නැවත පැමිණ එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගත හැකියි කියා. නමුත් එය එක්සත් ජාතික පත්ෂය තුල කරන්න බැහැ. එය කිසි කලකින්වත් සාර්ථක වෙන්නේ නැහැ.

අපේ පක්ෂයෙන් පිටව ගිය අය මේ ඡන්දයට පෙර එතැන ඉන්නවාද නැතිනම් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වෙනවාද කියා තිරණය කළයුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදි අපට සිංහල ඡන්ද අහිමි වුනා. ඒ අහිමි වු සියලු ඡන්ද නැවත පක්ෂයට ලබාගෙන ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරිම අපේ අරමුණ වි තිබෙනවා. ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපකෂට ඡන්දය දුන් ජනතාව අද අපේක්ෂා භංගත්වයට පත්ව සිටිනවා. ඒ අය එකතු කර ගනිමින් රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනිමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරනවා.

රට ඉදිරියට ගෙන ගොස් තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් උදාකර ගැනිම සදහා අගෝස්තු 05 වැනිදා අලියා ඉදිරියෙන් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස මා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

t

o

p