රටේ වනාන්තර ඇමෙරිකානු සමාගම් වලට දෙන්න සූදානමක්

July 9, 2020

මම පෝස්ටර් ගහන්නේ නෑ, රතිඤ්ඤා දාන්නෙ නෑ, මම ඉතාමත්ම පරිසර හිතකාමියෙක්, පරිසර හිතකාමීව තමයි මෙම ඡන්දෙ කරන්නෙ කියල, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙ දියත් කරනකොට කිව්ව. මේ මෑතදිත් කියල තිබුණ මම පෝස්ටර් ගැහුවෙ නෑ කියල. නමුත් ගම්පහ පොහොට්ටුවෙ පෝස්ටර් නැතුව තිබුණද ? පෝස්ටර් හැම තැනම විශාල වශයෙන් තිබුණා. එයා ගැහුවෙ නැති වුණාට වෙන අය ලවා ගැස්සෙව්ව. එයා එක එක අපේක්ෂකයට මඩ ගහන්න ගියේ නෑ, මොකද එයාට වාද විවාද වල කතා කරන්න බැරි හින්දා. එයා වාද විවාද වලට ගියේ නෑ, හැබැයි කියන්නෙ කොහොමද. මම අනෙක් අයට මඩ ගහන්න ගියේ නෑ කියල.

පාලනය පටන් ගත්ත හැටියෙම, වැලි, පස්, කළුගල් වලට දීල තියෙන පර්මිට් එක නතර කළා. නතර කරල නිදහසේ  පස්, කළුගල් වැලි කපන්න පොහොට්ටුවේ ආධාරකාරයින්ට දොර විවෘත කළා. 2008 දි මමයි පතල් කැණීම් කාර්යාංශෙ ඔය පර්මිට් ක්‍රමය හඳුන්වල දුන්නෙ. මොකද දැදුරු ඔයට, මා ඔයට කරල තිබුණ විනාසෙ දැකල. මුලුමනින්ම ගඟවල් විනාස කළා. කළු ගඟ, කැලණි ගඟ විනාස කළා. අන්තිමට කොළඹට පානීය ජලය නැති වුණා ඔය ගංගාවල් දෙක විනාස කළ නිසා. දැදුරු ඔය සම්පූර්ණයෙන්ම නාය ගිහිල්ල පාලම් නාය යන තැනට පත්වුණා. ඒ තරම් විනාසයක් මාඔයේ වැලි කාරයො ටික එකතු වෙලා කළා.

අධිවේගී මාර්ග හදද්දි කොච්චර කළුගල්, පස්වලින් හම්බකළා ද. සම්පූර්ණ පරිසරය වැනසුවා. ඒව බොහොම අමාරුවෙන් අපි පාලනය කරල ගෙනිච්චෙ. දැන් ඔක්කෝම නිදහස දීල තියෙනවා ඇති වෙන්න පස්, කළුගල්, වැලි කපපල්ලා කියල. හැබැයි රටට පෙනී ඉන්න හදනව මහා විසාල පරිසරවේදියෙක් හැටියට.

එදා අපිට ගැහුව රිෂාඩ් බදියුදීන් විල්පත්තුව එළිකරනව කියල. රිෂාඩ් බදියුදීන්ට විල්පත්තුව එළකරන්න දුන්නෙ බැසිල් මහත්තයයි කියල බදියුදීන් ප්‍රසිද්ධියේ කිව්ව. බැසිල් මහත්තයයි ඒකට පර්මිට් දුන්නෙ කියල. එකෙක්වත් කතා කළේ නෑ, දැන් මොකද කරල තියෙන්නෙ, එස්. එම්. චන්ද්‍රසේන කෙලින්ම දීල තියෙනවා විල්පත්තු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න කියල අක්කර දහස් ගණන් විදේශිකයන්ට. දේශීය ජාවාරම්කරයින්ට.

දැන් අලුත්ම සෙල්ලම මොකක්ද, මේ රටේ ඉඩම්වලින් 7% ක් තියෙනව අවශේෂ කැලෑ කියල. චන්ද්‍රිකා මැතිණිය කරපු එක ප්‍රයෝජනවත් වැදගත් දෙයක් තමයි මේ අවශේෂ කැළෑ කියන ඒව ප්‍රාදේශීය ලේකම්ගෙන්, පළාත් සභාවෙන් අරගෙන ගැසට් එකක් ගහල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න 2001 දි. ඒකෙන් මේ කැලෑ ටික, මේ බිම් ටික යම් ප්‍රමාණයකට ආරක්ෂා වුණා.

මම පරිසර ඇමති හැටියට 2009 දි  මේ වන සංරක්ෂණ පනත, වනජීවී පනත වෙනස් කරල බලතල ලබාදුන්නා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ කැලෑ ආරක්ෂා කරන්න. ඒ විතරක් නෙවෙයි විශේෂ ව්‍යාපෘතියක් ගෙනල්ල ලංකාවෙ කැලෑවලින් 90% කට වඩා මැනල, ගල් දාල ඒ කැලෑ ආරක්ෂා කරන්න මම ඒ අවුරුදු 03 කටයුතු කළා.

අද මේක අයින් කරන්න කියල කැබිනට් තීරණයක් අරගෙන මේගොල්ලො කරන්න  යන්නේ මොකක්ද ? ප්‍රාදේශීය ලේකම්ලට මේක දෙනව. ප්‍රාදේශීය ලේකම්ට දුන්න හැටියෙ දන්නවනෙ වෙන වැඩේ. පළාතෙ දේශපාලකය මේවට මැදිහත් වෙනව. මැදිහත් වෙලා මේක විදේශිකයන්ට දෙනවා.

මතක තියාගන්න, ලොකුවට මේ රටේ ඉඩම් විකුණනව කිය කිය පපුවට ගහගත්ත මහින්ද රාජපක්ෂම තමයි මුලින්ම ඩෝල් කෙසෙල් සමාගමට අක්කර දහස් ගණනක් කන්දකාඩුවෙ දුන්නෙ. ඊළඟට මොණරාගල අක්කර දස දහස් ගාණක් ලබාදුන්නෙ ශශේන්ද්‍ර රාජපක්ෂල මැදිහත් වෙලා මේ කෙහෙල් කාරයින්ට. අද උනුත් හොයාගන්නත් නෑ, දීපු අය කවුද කියල.

මේ හදන්නෙත් ඇමෙරිකන් බහුජාතික කොම්පැනිවලට දෙන්න මිසක් අපේ හේන් ගොවියට ඉඩම් දෙන්න නෙමෙයි. මේ හදන්නෙ ඇමෙරිකන් බහුජාතික කොම්පැනිවලට, රාජපක්ෂල ඩෝල් කොම්පැනියට දුන්න වගේ රටේ වටිනා කෘෂිකාර්මික බිම්ටික පවරල දෙන්න.

ජනාධිපතිතුමා ලඟදි කියල තියෙනවා වරාය නගරයේ අයිතිය තහවුරු කරාලු. වරාය නගරය මමයි කළේ, රාජපක්ෂල නෙමෙයි. ඒකෙ අයිතිය දීල තිබුණෙ විදේශිකයට. ඒ විදේශිකයන්ගෙන් අයිතිය උදුරල මේ රටේ ලක්ෂ 220 කට එහි අයිතිය දුන්නේ අපි. අපේ ආණ්ඩුවෙන් මමයි ඒක කළේ. දැන් මෙයා මේ අයිතියක් ගැන කතා කරන්න යනව.

ඉදිරි කාලයේදී මේ ගොල්ලො කරන්න යන්නෙ, රටේ දේපොළ, විශේෂයෙන්ම ඉඩම් ටික විකුණන්න යන එක. මම උද්‍යානයක් බවට පත්කරපු මීතොටමුල්ල කසල කන්දෙ උද්‍යානය අයින් කරල දාල ඒකත් විකුණන්න යනව. කසල කන්ද නාය ගිහින් 34 දෙනෙක් මැරිල එතැන සොහොනක්. ඒක ඒ ප්‍රදේශයේ ජනතාවට උද්‍යානයක් කරල දුන්නම දැන් ඒකත් විකුණන්න යනව.

ජනාධිපතිවරණ ඡන්ද සටනට, වියතෙක්, උගතෙක්, මේ එන්නෙ පරිසරය රකින්න පරිසරවේදියෙක්, කියාගෙන ආපු ගෝඨාභය රාජපක්ෂ, පස්, කළුගල් මාෆියාව වර්ධනය කරන ජනාධිපති කෙනෙක් බවට පත්ව සිටින බවත්, ඉදිරි කාලයේදී රටේ කැලෑ ටික කපා, විකුණා, විදේශික කොම්පැනි වලට ලබාදීමේ ජාවාරමක වත්මන් ජනාධිපති සහ අගමැති නිරත වී සිටින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටී.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ(08) සමගි ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ ප්‍රදේශයේ සංවිධාන කර තිබු ජන හමුවක් අමතමිනි.

t

o

p