පසුගිය ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස, තමා ජනතාවගේ ආදායම් මාර්ග හැකි උපරිම අයුරින් වැඩිකර දීමට පියවර ගත්බව පැවසු එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1948 න් පසු තම ආණ්ඩුව තරම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩිකළ වෙනත් ආණ්ඩුවක් බිහිවී නැති බව පෙන්වා දුන්නේය.
2015 තම ආණ්ඩුව බලයට පත්වන විට රාජ්‍ය සේවය, පොලිසිය මුලුමනින්ම දේශපාලනිකරණයට ලක්ව තිබූ බවත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් රාජ්‍ය සේවකයින්ට හා පොලිස් නිලධාරින්ට ස්වාධීනව තම වැඩ කටයුතු කිරීමේ පරිසරය නිර්මාණය කර දිමට තමන්ට හැකිවූ බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 07 වැනිදා හෝමාගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි.
මෙම බල මණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සහ හෝමාගම ප්‍රධාන සංවිධායක දයා ගමගේ මහතා විසින් හෝමාගම පිටිපන අමල්යා හොලිඩේ රිසෝට් ශාලාවේදී පැවති අතර, එම අවස්ථාවට හිටපු ඇමතිනි අනෝමා ගමගේ මහත්මිය ප්රමුඛ එ.ජා.ප. මැතිවරණ අපේක්ෂකයින් රැසක් සහභාගිව සිටියහ.
එම බල මණ්ඩල රැස්විම අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහමහතා මෙසේද කීය.
මේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්ව සිටින්නේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න වලට විසදුම් ඇතිව බව කිවයුතුයි අද ඉදිරිපත් ව සිටින දේශපාලන පක්ෂ අතරින් ගෙදර ආර්ථිකය හදන්න විසදුම් තිබෙන්නේ අපේ පක්ෂයට පමණයි.
මේ රටේ සෑම ක්ෂේත්රයකම ජනතාව අද තම ජීවිකාව ගෙවන්නේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ බව අප අවබෝධ කරගෙන සිටිනවා. ඔබේ ගෙදර ආර්ථිකයේ තත්ත්වය මා අමුතුවෙන් කිවයුතු නැහැ. රාජ්‍ය සේවයේ, පුද්ගලික අංශයේ මෙන්ම ව්‍යාපාර කටයුතු වල නියුතු සෑම කෙනෙක්ගෙම ආදායම් මාර්ග අද කඩාවැටි තිබෙනවා.
පසුගිය ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මා හැම විටම ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමට කටයුතු කළා. මෙහිදි විශේෂයෙන් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අප ගත් පියවර මට සිහිපත් වෙනවා.
අපේ ප්‍රථම අරමුණ වුනේ දේශපාලනීකරණය වී තිබු රාජ්‍ය සේවය හා පොලිසිය ඉන් මුදවා ගැනිමයි. මෙහි මුල්ම පියවර ලෙස ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම සහ ස්වාධීන මැතිවරණ කොමිසම ආරම්භ කළා. ඒ අනුව එම සේවකයින්ට ස්වාධීනව කටයුතු කිරිමට හැකි වාතාවරණයක් අප ඇති කළා.
එපමණක් නොවෙයි 1948 න් පසු අපි තරම් රාජ්‍ය සේවයට වැටුප් හා දීමනා වැඩිකර දුන් ආණ්ඩුවක් මේ රටේ බිහිවි නැහැ. අපේ විරුද්ධවාදින් කථා කරනවා පමණයි වැඩ නැහැ. ඒ අය සටන් පාඨ කියනවා. පෙළපාලි යනවා. නමුත් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකලේ මා අගමැතිවරයාව සිටි ආණ්ඩුවෙන් බව සිහිපත් කළ යුතුයි.
රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම ඇතුලු සෙසු සහන ලබාදීම සදහා රවී කරුණානායක හා මංගල සමරවීර යන මුදල් ඇමතිවරු මට උදව් කළා.
අද අප මේ රැස්වීම පවත්වන හෝමාගම ප්‍රදේශයේ රාජ්‍ය හා සංස්ථා වල වැඩ කරන සේවකයින් විශාල පිරිසක් සිටිනවා. මේ හැමෝගෙම වැටුප් වැඩිවුනා. අපේ අරමුණ වුණේ 2020 වන විට සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප 107% කින් වැඩි කිරිමටයි. ඊට අවශ්‍ය සියලු පියවර අප ගෙන තිබුණා.
රාජ්‍ය සේවක වැටුප් එදා අපි වැඩිකරන විට එය කෙසේද කරන්නේ කියා ඇතැම් අය ප්‍රශ්න කලා. නමුත් අපේ ආණ්ඩුව බලයට පත් වි මාස දෙකක් ගතවිමට පෙර රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් (10000) වැඩිකළා.
එපමණක් නොවෙයි විශ්‍රාම වැටුප් අපි සංශෝධනය කළා. එමගින් විශ්‍රාමිකයින් ලක්ෂ පහකට අධික පිරිසකගේ දිමනා වැඩිවුණා. රුපියල් 12500 සිට 48000 දක්වා වැටුප් වැඩිවුනා. ඒ වගේම රාජ්‍ය සේවකයින් සදහා තවත් සහන රැසක් මේ වසරේ ජනවාරි මාසයේදි ලබාදිමට අප සැලසුම් කර තිබුණා.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධව සොයා බලා නිර්දේශ සකස් කිරීමට රනුග්ගේ කමිටුව අප පත්කලා. ඒ අනුව එහි වාර්තාව ක්‍රියාත්මක කරන බවට අපි ජනතාවට පොරොන්දු වුණා.
එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන බලපෑම් වලින් ඉවත් කළා. එහි පත්විම්, උසස්වීම් සියල්ල සිදු කළේ ස්වාධීන පොලිස් කොමිසමයි. රුපියල් 10000 ක වැටුප් වැඩි කිරිමට අමතරව තවත් 40% කින් වැටුප් වැඩිකළා. 2015 සිට 2019 දක්වා වූ කාලය තුල හමුදාවේ වැටුප් අට වතාවක් වැඩිකළා.
මේ ආණ්ඩුව අද රාජ්‍ය සේවය විශාල අර්බූදයකට ඇද දමා තිබෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් හා දිමනා කපාහැරීම තුලින් රටේ පවතින ආර්ථික අර්බූදය රටට හෙළිවුණා. කොරෝනා නිසා රටේ ආර්ථික අර්බුදය ඇති වූ බව ආණ්ඩුව ප්‍රකාශ කළත් මේ ආර්ථික අර්බුදය ඇති වුණේ කොරෝනා නිසා නොවෙයි. ආණ්ඩුවට ලැබිය යුතු බදු ආදායම් අහිමි කරගත් නිසයි.
පසුගිය පෙබරවාරි සහ මාර්තු මාස වල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඇරඹුණා. නමුත් 2020 ජනවාරි මාසයේදි රාජ්‍ය සේවක වැටුප් හා දිමනා කප්පාදු කිරිම ආරම්භ වූ බව කිවයුතුයි. එපමණක් නොවෙයි නිලධාරින්ගේ කැමැත්ත නැතිව අරමුදල් වලට වැටුපෙන් අඩුකරනු ලැබුවා.
මේ ආණ්ඩුව අරුම පුදුම ආණ්ඩුවක්. රටේ ආර්ථිකය අවුලේ දාලා අහිංසක ජනතාවගේ වැටුපෙන් අඩුකර ගන්නවා. ආණ්ඩුව බලයට පත්වූ වහා මහා පරිමාන සමාගම් වලට බදු සහන දී ජනතාවගේ වැටුපෙන් මුදල් අඩුකිරීම වැරදියි.
පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට රු.10000 ක උත්සව අත්තිකාරම රාජ්‍ය සේවකයින්ට ලැබුණේ නැහැ. බලයට පත්විමට පෙර වැටුප් වැඩිකරන බවට රාජ්‍ය සේවකයින්ට පොරොන්දු දුන්න නමුත් බලයට පත්වුනාට පසුව මුලින්ම සිදුකලේ උත්සව දිමනාවට තට්ටු කිරීමයි.
රාජ්‍ය නිලධාරින්ගේ සේවයේ නියුතු තැන්වලින් දැන් ඔවුන් ඉවත්කර ඒ වෙනුවට එම තනතුරු වලට විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පත්කරමින් යනවා. අප ඉල්ලා සිටින්නේ හමුදා නිලධාරින්ව රාජ්‍ය සේවයේ වැඩ කටයුතු වලට හමුදා නිලධාරින් යොදා නොගන්නා ලෙසයි. අපි කියන්නේ එම හමුදා නිලධාරින් දක්ෂ නම් ඔවුන්ට වෙනත් අංශ වල රැකියා ලබාදිය බවයි.
එපමණක් නොවෙයි රාජ්‍ය සේවය නැති කරන්න ජනාධිපති කාර්යය සාධක බලකාවල් දැම‘මා. පොලිසියේ ස්ථාන මාරුවිම් හා බඳවා ගැනිම් වලට ඇගිලි ගහනවා. කොල්ලුපිටියේ පැවති උද්ඝෝෂණයට සිදුකළේ කුමක්ද කියා ඔබට මතක ඇතැයි මා විශ්වාස කරනවා.
ජනතාව සමග අපි සම්මුතියක් ඇතිකර ගන්නවා. ඒ අනුව ඉදිරියේදි අපේ ආණ්ඩුවක් බලයට පත්කරගෙන ජනතා සම්මුතියේ කොටසක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ නතර කළ වැටුප් වැඩිවීම් හා දීමනා සියල්ල ඔවුන්ට ලබාදෙනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා එහි විෂමතා සොයා බැලිමට පත්කරන ලද රනුග්ගේ වාර්තාව එලෙසින්ම ක්‍රියාත්මක කර අසාධාරණයට ලක්ව සිටින සියලු දෙනාට සාධාරණය ඉටුකරනවා.
වර්තමානයේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය ජයගත හැකි වන්නේ ජනතාව අතට වැඩිපුර මුදල් ලබාදිම තුලිනුයි. එලෙස ජනතාවට මුදල් ලබාදී ඒවා වියදම් කරවිය යුතුයි. එංගලන්තයේ මුදල් ඇමති එරට සැම පවුලකටම පවුම් 500 ක් බැගින් ලබාදෙන බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒ අනුව එම මුදල් බැංකු වල තැන්පත් කිරීම හෝ වෙනත් ආකාරයකට රැස්කර තබාගත නොහැකියි. ඒ මුදල් වියදම් කළ යුතුයි. අප උත්සාහ කරන්නේත් හැකි තරම් ජනතාව අතට මුදල් ලබාදිමටයි.
අද යුධ හමුදාවේ බොහෝ අය වැඩි ආදායමක් ලබාගැනීම සදහා එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට යෑමට කැමැත්තෙන් සිටිනවා. පසුගිය පාලන කාලය තුල මා විසින් යවන ලද එම හමුදා කාණ්ඩ තවත් වැඩිකළ නොහැකි දැයි ඔවුන්ගෙන් කිහිප දෙනෙක්ම මගෙන් විමසා සිටියා. මේ නිසා එක්සත් ජාතික පක්ෂයට හා මට තිබෙන ජාත්‍යාන්තර සම්බන්ධතා උපයෝගි කරගෙන එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවට එක් බල ඇණියක් නොව සම්පූර්ණ බල සේනාංකයක්ම ලබාදිය හැකියි. ඒ අනුව එම බල සේනාංකයට අයත් අනෙකුත් සියලු අංශ වල අයට මේ සදහා පත්විය හැකියි. එක්සත් ජාතික පක්ෂයට තිබෙන ජාත්‍යාන්තර සම්බන්ධතා නිසා මෙය තවත් වැඩිකළ හැකියි.
පසුගිය ජනාධිපතිවරණයට පෙර වත්මන් ආණ්ඩුවේ පාලකයින් ආබාධිත රණවිරුවන් යොදා ගෙන විශාල හඬක් නැගුවා. නමුත් එම රණවිරුවන් සම්බන්ධව මේ ආණ්ඩුව ගෙන තිබෙන පියවර කුමක්ද. ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට මේ පාලකයිනට හැකිවී නැහැ. ඔවුන්ට බලපා තිබෙන විශ්‍රාම වැටුප් ප්රශ්නය ඇතුලු අනෙකුත් ප්‍රශ්න වලට අප විමසුම් ලබාදෙනවා.
එමෙන්ම දැනට රාජ්‍ය සේවකයින්ට හිමිවන අග්‍රාහාර පහසුකම් සියලුම හමුදා නිලධාරින්ට ද ලබාදිමට අප සැලසුම් කර තිබෙනවා. එසේම රජයේ සිවිල් වැඩ කටයුතු සිදු කරන්නේ රජයේ පරිපාලන සේවා, කළමණාකරණ සේවා, කාර්මික සේවා, වෛද්‍ය සේවා, අධ්‍යාපන සේවා හා අනෙකුත් සේවා මාර්ගයෙන් බව මා කියන්න කැමතියි.
ස්වාධීන රාජ්‍ය සේවා හා ස්වාධීන පොලිස් කොමිසම් දෙකෙහිම බලතල ආරක්ෂා කර පොලිසියේ සියලුම උසස්වීම්, ස්ථාන මාරුවිම සහ අනෙකුත් කටයුතු මෙම කොමිසමට භාර දෙනවා.
ත්‍රිවිධ හමුදාවේ පාලනයට භාර දෙන්නේද ත්‍රිවිධ හමුදා නිලධාරින්ටයි. වෙන අයට එය භාරදිමට අවශ්‍ය වන්නේ නැහැ. අපට දක්ෂ නිලධාරින් සිටිනවා. ඒ අය විශේෂ වැඩ කටයුතු වල මෙන්ම සාම සාධක හමුදාවට යොමුකර සියලු දෙනාට හම්බ කරගෙන තම අතමිට සරුකර ගන්න අවස්ථාව සලසා දෙනවා. නාවික හමුදාවද එවැනි වැඩ කටයුතු වලට යැවිය හැකියි.
එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ද අප ආරක්ෂා කරනවා දැනුම තිබෙන ත්‍රිවිධ හමුදා නිලධාරින් මාර්ගයෙන්, පොලිසිය ස්වාධීන පොලිස් කොමිසම පත්කරන නිලධාරින් මාර්ගයෙන්, පොලිස්පතිතුමා මාර්ගයෙන් රජයේ සිවිල් අංශය ඊට අදාල නිලධාරින්ගේ මාර්ගයෙන් අධිකරණ සේවාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා.
එමෙන්ම මම නැවත කියා සිටින්නේ මේ ආණ්ඩුව නවතා දමන ලද අතිකාල දිමනා ඇතුලු අනෙක් දිමනා නැවත ලබා දෙනවා අපේ ප්‍රතිපත්තිය ජනතාවගේ අතට මුදල් ලබාදී ආර්ථිකය ගොඩ නැගිමයි ඒ වගේම රනුන්ගේ වාර්තාව ද ක්‍රියාත්මක කරනවා. එමෙන්ම ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 6000 ක් ලබාගෙන ඔබෙ‘ අතට මුදල් ලබාදී රජයේ සේවය තවත් ශක්තිමත් කරනවා.