එ.ජා.ප ආණ්ඩුව යටතේ ජල හා විදුලි බිල්පත් ගෙවීම හා ණය ආපසු ගෙවීමට වසරක සහන කාලයක්

July 6, 2020

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට ජනතාවට කිසිදු සහනයක් ලැබී නැති බවත් මැතිවරණයෙන් පසු තමන් පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ දැනට එකතු වී තිබෙන ජල හා විදුලි බිල්පත් ගෙවීම හා එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට වසරක සහන කාලයක් ලබා දෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

තම අරමුණ වී තිබෙන්නේ පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදවාගෙන රට ගොඩනැගීම බවත් ඒ සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් තමන් සතුව තිබෙන බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ මැද කොළඹ සහ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශ වල පැවති ජන හමු වලට එක් වෙමිනි.

මැද කොළඹ පැවති ජන හමුව මැද කොළඹ එ.ජා.ප. සංවිධායක ෆයිරෝස් හජ්ජියාර් සහ අවිස්සාවේල්ලේ පැවති ජන හමුව අවිස්සාවේල්ල එ.ජා.ප. සංවිධායක අමල් පුස්සැල්ලගේ යන මහත්වරු විසින් සංවිධානය කොට තිබිනි.

එම ජන හමු අමතා තව දුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

පසු ගිය දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රකාශ කොට තිබුනා විශාල චිත්‍රය දෙස බලන්න පොඩි චිත්‍රය දෙස බලන්න එපා කියා. මෙහිදී එක් කරුණක් අමතක වී තිබෙනවා. මෙහි  වැදගත් වන්නේ පොඩි විත්‍රයයි. කුමක්ද? පොඩි චිත්‍රය. පොඩි චිත්‍රය යනු ගෙදර ආර්ථිකයයි. ලොකු චිත්‍රය යනු ගෙදර ආර්ථිකය. කෘෂිකර්මාන්ත ආර්ථිකය, ඇතුළු රටේ ආර්ථිකයයි. ගමේ සියල්ල එකතු කළ විට ලොකු චිත්‍රය නිර්මාණය වෙනවා. මෙතන විශාල චිත්‍රය හා කුඩා චිත්‍රය යන දෙකම එකතු වී තිබෙනවා. මේ ගැන තමා අද කතා කල යුතුව තිබෙන්නේ.

අද මේ රටේ ත්‍රීවීලර් ආර්ථිකය කඩා වැටිලා. ස්වයං රැකියා කඩා වැටිලා. පදික වේදිකාවේ වෙළඳාම් කල අය අද අසරණ වෙලා. සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වූ අයගේ ආදායම් මාර්ග බිද වැටිලා. ගමේ අනුව අද මේ රටේ ජනතාවට තම ජීවිකාව ගෙන යාමට සිදුව තිබෙන්නේ දැඩි අපහසුතා මධ්‍යයේ බව ප්‍රකාශ කල යුතුයි.

මේ රටේ ත්‍රීවීල් රියදුරන්ට, කුඩා ව්‍යාපාරිකයින්ට, ස්වයං රැකියා ලාභීන්ට කුඩා ආර්ථිකය යනු ලොකු ආර්ථිකයක්. එවැනි තත්ත්වයක් මත කුඩා ආර්ථිකය අමතක කරන්නේ කෙසේද කියා අප ප්‍රශ්ණ කර සිටිනවා.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණ මේ වන විට මාස 08 ට වඩා වැඩි කාලයක් රට පාලනය කර තිබෙනවා. නමුත් රටේ තිබෙන ප්‍රශ්න කිසිවෙකටත් විසඳුම් ලබා දීමට හැකි වුනේ නෑ. මේ නිසා අද රටේ ප්‍රශ්ණ රැසක් නිර්මාණය වී තිබෙනවා.

මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වූවත් ඊට මුහුණ දීම සඳහා කුමක්ද අප කලේ. රැකියා අහිමි වීමට ඉඩ හැරියා. මේ පසුබිම තුළ වෙනත් රටවල් ප්‍රකාශ කර සිටියේ රැකියා ලාභීන් එම රැකියා වලින් ඉවත් නොකරන ලෙසයි. ඒ වෙනුවෙන් අවශ්‍ය උදව් උපකාර ආර්ථික  පහසුකම් ලබා දී රැකියා ආරක්ෂා කලා. නමුත් අපේ රටේ කුමක්ද සිදු වුනේ. මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගෙන නිහඩව බලා සිටි අය දැන් මැතිවරණ වේදිකාවට පැමිණ රට බෙදන බවට චෝදනා කරනවා. නමුත් කවුරුත් රට බෙදන්න යන්නේ නැහැ. බොරුවට රට බෙදීම ගැන කතා නොකර රැකියා ආරක්ෂා කර දී ජනතාවගේ බඩගින්න නැති කිරීමට ක්‍රියා කල යුතුයි. ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කල යුතුයි.

අපේ අරමුණ වී තිබෙන්නේ ගෙදර ආර්ථිකයත්, රටේ ආර්ථිකයත් ගොඩ නැගීමයි. මේ ආණ්ඩුව යටතේ විශාල විදේශ විනිමය හා ආදායම් හිගයක් පවතිනවා. මෙය විසදා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. නමුත් නැවත ඒ විදේශ විනිමය අපේ රටට ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කල යුතුයි. ඒ ක්‍රමවේදය පිළිබඳව දීර්ඝ වශයෙන් රටට කරුණු හෙළි කිරීමට ඉදිරියේදී මා බලාපොරොත්තු වෙනවා.

දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වන රටේ ජනතාවට ආර්ථික සහන අප ලබා දිය යුතුයි. ඒ සඳහා නිසි සැලසුමක් හා වැඩ පිළිවෙලක් අපට තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භයත් සමග ගෙවුණු මාස කිහිපයේ විදුලිය හා ජල බිල්පත් දැන් ජනතාවට ලැබී තිබෙනවා. මේ බිල්පත් සදහා මුදල් නොගෙවිය යුතු බව ආණ්ඩුව මුලදී ප්‍රකාශ කලා. නමුත් දැන් ඒ සියලු බිල්පත් එකවර ගෙවා දැමිය යුතු බව ප්‍රකාශ කරනවා. රටේ ජනතාවගේ ආදායම් මාර්ග අද අඩු වූවත් විදුලිය හා ජලය වැනි බිල්පත් ගාස්තු වැඩි කර තිබෙනවා. මේ ජල විදුලි බිල්පත් සඳහා ආණ්ඩුව වහාම ජනතාවට සහන ලබා දිය යුතුයි.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් අඩු වී තිබුනත්  ඒ සහනය මෙරට ජනතාවට ලබා දීමට වත්මන් පාලකයෝ ක්‍රියා කර නැහැ. විදුලිබල මණ්ඩලයට තවමත් ඉන්ධන ලබා දෙන්නේ පැරණි මිල ගණන් වලට අනුවයි. ඒ නිසා එය ද ඔබේ විදුලි බිලට එකතු වෙනවා.

ජල, විදුලි බිල්පත් ගෙවා ගත නොහැකිව අසරණ වී සිටින ජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටින්නේ මුල් මාසයේ බිල පමණක් ගෙවන ලෙසයි. අපේ ආණ්ඩුවක් යටතේ ඉන්ධන මිල අඩු වීමේ සහනය ජනතාවට ලබා දෙනවා. පසු ගිය මාස වල ජල හා විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් අප ජනතාවට ලබා දෙනවා. මෙය වාර 12න් ගෙවා දැමීමට හැකි ක්‍රමවේදයක් අප සකස් කරනවා.

මේ ජල විදුලි බිල් ගෙවීමට පෙර ජනතාවගේ කුසගින්න නිවා දැමිය යුතුයි. ජනතාවට ජීවත් විය හැකි ක්‍රමයක් ඇති කර දිය යුතුයි. ඒ සඳහා අප ක්‍රමවත් වැඩ පිළවෙලක් ක්‍රියාත්මක කරනවා. එපමණක් නොවෙයි පසුගිය ආණ්ඩුව යටතේ අපි ආරම්භ කල එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ලබාගෙන  තිබෙන කෝටි 05 ට වැඩි මුදල් වෙනුවෙන් මේ වසරේ ගෙවිය යුතු ණය වාරික වෙනුවෙන් වසරක සහන කාලයක් ලබා දීමට අප තීරණය කර තිබෙනවා.

ජල හා විදුලි බිල්පත් වලින් මෙන්ම එන්ට්‍රප්‍රයිස්  ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ජනතාවට සහන ලබා දීම ගැන මට දැන් ඔබ හමුවේ ප්‍රකාශ කල හැකිය. නමුත් ආණ්ඩුවට එවැනි සහන ලබා දීමක් ගැන ප්‍රකාශකල නොහැකියි. ආණ්ඩුවට ඒ සඳහා සැලසුමක් නැහැ. මෙරට නැවත ගොඩනැගීම සඳහා අප ඔබෙන් වරම ඉල්ලා සිටින්නේ හිස් අතින් පැමිණ නොව රට ගොඩ නගා ඔබේ අනාගතය යහපත් කර දී මේ හැකියාවක් අපට තිබෙනවා. ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් අප සතුව තිබෙනවා.

අපි මෙම රැස්වීම් පවත්වන මැද කොළඹ හා අවිස්සාවේල්ල ප්‍රදේශය ගැන මා අමුතුවෙන් කතා කල යුතු නැහැ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බලයට පත්ව මේ ප්‍රදේශ වල දියුණුවට වැඩ කටයුතු කලා. මා බලයට පැමිනීමෙන් පසු මැද කොළඹ දියුණුව සඳහා විශාල වැඩ කොටසක් සිදු කිරීමට අවස්ථාව ලැබුණා. එමෙන්ම අවිස්සාවේල්ල ප්‍රදේශයේ සීතාවක වෙළඳ කලාපය හා තවත් ව්‍යාපෘති ඇති කරමින් දියුණුවක් ඇති කලා.

2002 දී සහ 2015 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වී ඒ ආණ්ඩු වල අගමැතිවරයා ලෙස මේ ප්‍රදේශයේ වල දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට මට අවස්ථාව ලැබුණා.

මැද කොළඹ කේන්ද්‍ර කරගෙන මහ බැංකුව, කොටස් වෙළෙඳපොළ, තොග වෙළෙඳපොළ වැනි මූල්‍ය කටයුතු බොහෝමයක් මෙහි සිදු වෙනවා. ඒ අනුව මැද කොළඹ ආර්ථිකය තමා රටේ ආර්ථිකය. මේ නිසා මැද කොළඹ ආර්ථිකය දියුණු කිරීමට අප සැම විටම ක්‍රියා කලා.

පසු ගිය අවුරුදු 05 තුළ මේ ප්‍රදේශය මුල් කර ගෙන ජීවත් වූ පදික වෙළඳුන්ගේ වෙළඳාම වැඩි උනා. නමුත් අද ඒ සියල්ල අහිමිව ගොස් ජනතාව දැඩි දුෂ්කරතා වලට පත්වි සිටිනවා.

අප බලයට පත්වූ සැම විටම විශාල වශයෙන් මුදල් වැය කරමින් මේ ප්‍රදේශ වල දියුණුව මෙන්ම ජන ජීවිතය නගා සිටුවීමට ක්‍රියා කලා. මේ ප්‍රදේශය වෙනුවෙන් මුදල් වැය කළේ මා පමණක් නොව මේ වේදිකාවේ සිටින රවී කරුණානායක මැතිතුමා ද අපේ ආණ්ඩුව යටතේ මුදල් ලබා දුන්නා. ඒ අනුව අපි හැමෝම මේ ප්‍රදේශ වලට වැඩ කලා.

මම මැද කොළඹට වැරදි දෙකක් සිදු කර තිබෙනවා. එයින් පළමුවැන්න වන්නේ 2002 වසරරේ මැතිවරණයට මුස්ලිම් අපේක්ෂකයෝ 03 ක් ඉදිරිපත් කිරීමයි. ඒ මැතිවරණයෙන් එම 03 දෙනාම බලයට පත්වුනේ නෑ. නමුත් ඊට පසු මැතිවරණයට මුස්ලිම් අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් කලා. ඔවුන් දෙදෙනාම මැතිවරණය ජයග්‍රහණය කලා. ඒ අනුව මෙවරද එය මතක තබා ගෙන තම ඡන්දය පාවිච්චි කරන ලෙස මැද කොළඹ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මා මැද කොළඹට සිදු කල දෙවන වරද වන්නේ පිට ගම්කාරයෝ මෙම ප්‍රදේශය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමයි. නමුත් මෙවර ඒ වරද කරන්නේ නැහැ. මෙම මැතිවරණයට මෙම ප්‍රදේශයේ ම පුද්ගලයෙකු වන ෆයිරූස් හාජියාර් මහතා ඉදිපත් කර තිබෙනවා. ඔහු අමතක නොකරන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

මේ අනුව මැද කොළඹ ආර්ථිකය හදන්න ගෙදර ආර්ථිකය හදන්න රටේ ආර්ථිකය හදන්න මේ මැතිවරණයේදී අලියා ලකුණ ඉදිරියෙන් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ජන හමු වලට එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායකථ උප සභාපති දයා ගමගේ,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක යන මහත්වරු ප්‍රමුඛ එ.ජා.ප. ක්‍රියාකාරීහු සහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අපේක්ෂකයින් රැසක්ද සහභාගීව සිටියහ.

t

o

p