‘දේදුනු ප්‍රයෝගයෙන්’ මහ මඟ ශාස්ත්‍ර කියන අහිංසකාවියෝ

July 5, 2020

ශාස්ත්‍ර ඇසීමට අපි බොහෝ දෙනෙක් ප්‍රිය කරමු. සමහරු සැතපුම් සිය ගණන් ගෙවා ශාස්ත්‍ර ඇසීමට යති. ඒ ඒවා සම්බන්ධයෙන් ගොඩනඟා ගන්නා ලද අති මහත් විශ්වාසයන් මුල් කර ගනිමිනි. එමෙන්ම එසේ ශාස්ත්‍ර ඇසීමට යන සමහරුන් ගේ මනැස් අවුල් කරවන අනාවැකි ද අසන්නට ලැබෙන අවස්ථා අඩු නැත. “ඉදිරියේ දී බරපතල අනතුරකට, රෝගාබාධවලට හෝ සතුරු කරදරවලට ලක්විය හැකි බව සේම මිල මුදල්, ගේ දොර, ඉඩකඩම් සේම හැඳි වත පවා අහිමි විය හැකි බවට යම් යම් පුද්ගලයන්ට ශාස්ත්‍ර වශයෙන් අසන්නට ලැබුණු අනාවැකි ගැන ද අසන්නට ලැබී තිබේ.

ඒ බොහෝ විට එම ශාස්ත්‍ර අසන්නා බිය ගන්වා ඉන් වැලකීමේ උපාය මාර්ගයක් ලෙස සිදු කළ යුතු ශාන්තිකර්ම වලට යැයි කියා රුපියල් දහස් ගණන්, ඇතැම් විට ලක්ෂ ගණන් එම ශාස්ත්‍ර අසන්නා වෙතින් කඩා වඩා ගැනීමේ කූටෝපායන් බොහෝ ශාස්ත්‍ර කරුවන්, කාරියන් සතුව පවතින බැවිනි. එහෙත්, කිසි විටෙක එවැනි බිහිසුණු අනාවැකි පළකරන අහිංසක ශාස්ත්‍ර කාරියන් පිරිසක් ද අප සමාජයේ දක්නට ලැබෙති.

ඒ අදත් සමාජයේ බොහෝ දෙනා අහිගුණ්ඨිකයන් ලෙසින් හඳුන්වනු ලබන ජන වර්ගයට අයත් තෙලිඟු ශාස්ත්‍ර කාරියන් ය. පාරම්පරික ජීවන වෘත්තිය වශයෙන් මෙම ගෝත්‍රයට අයත් පිරිමින් නයින්, රිලවුන් නැටවීම් ආදිය සිදු කරන අතර මෙලෙස ශාස්ත්‍ර කියනුයේ මෙම ගෝත්‍රයේ කාන්තාවන් පමණක් වීම විශේෂත්වයකි. ඒ අනුව මෙය මොවුන් ගේ ගෝත්‍රයේ ‘මව් පරපුරට’ පමණක් උරුම වූ එක්තරා සුවිශේෂ දායාදයක් බව පෙනේ.

කෙසේ හෝ තෙලිඟු කතුන්ගේ මෙම ශාස්ත්‍ර කීමේ කලාව පිළිබඳ අධ්‍යයනයක් කරනු පිණිස මම පසුගිය කාලයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව ශාස්ත්‍ර කීමේ නියුතු මෙම කතුන් පිළිබඳව නිරීක්ෂණයක යෙදුණෙමි. එහි දී නිතර දෙවේලේ එම කතුන් දැකීම නිසා ඔවුන් හා යම් දැන හැඳුනම්කමක් ඇති කරගෙන හිඳින අනුරාධපුර, රුවන්වැලි මහ සෑ විහාරයේ කැපකරුවකු වන පෙරිමියන්කුලමේ මුතුබණ්ඩා දසනායක මහතාගෙන් ලද සහය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

මගේ මෙම නිරීක්ෂණය සිදු වූ කාලයට ආසන්නතම සමයෙක අනුරාධපුර පොලීසියේ නිලධාරීන් තමන් පූජා භූමියෙන් පලවා හරින බවට ඔවුන් විසින් කළ දුක් ගැනවිල්ලක් මුල් කොට ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට ද මට සිදුවිය. එහි දී වැඩිදුරටත් අනාවරණය වූයේ අනුරාධපුර පූජා භූමිය තුළ වන්දනා කරුවන් ගේ බඩු බාහිරාදිය නැතිවීම් සම්බන්ධයෙන් පොලීසිය නිකරුණේ    තමන් සැක කරන බවය.

එහෙත්, ඒ පිළිබඳව කළ විමසුමක දී අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරියෙකු පවසා සිටියේ ඇතැම් සංචාරක වෙළඳුන් සහ ශාස්ත්‍ර කියන්නියන් මහජනතාවට කරදරකාරී ලෙස හැසිරීම මුල් කොට දණ්ඩනීති සංග්‍රහයේ 261 වගන්තිය ප්‍රකාරව ක්‍රියා කිරීම පොලිස් රාජකාරියක් බවය. එසේ නොමැති සොරකම් සිදු වූ විට ඊට අදාළ පරීක්ෂණ සිදු කොට සැකකරුවන් අත්අඩංගුවට ගනු මිස ඒ ප්‍රදේශයේ හිඳින්නවුන් ඉවත් කිරීම පොලීසියේ ක්‍රියා පිළිවෙත නොවන බව ද ඔහු කීය.

“අපි තඹුත්තේගම, කුඩාගම කට්ටිය මහත්තයා. අපි එහෙම කාටවත් කරදර වෙන විදිහට හැසිරෙන්නේ නෑ; වෙන පිටින් එන අය එහෙම හැසිරෙනවද කියන්න අපි දන්නෙත් නෑ”. මෙහි දී ඒ පිළිබඳව කළ විමසුමක දී එක් ශාස්ත්‍ර කාරියක් මා හා කීවාය.

“ඒ වුණාට අපිට දැන් මෙහේදී සෙනඟ අතරේ අඩි දහයක් වත් තනියම ඇවිදින්න බැරි ගාණයි. පිරිමි අපි ළඟට ඇවිත් රහසෙන් ඕනේ නැති දේවල් කියලා; අපෙන් එක එක දේවල් අහනවා; පුදුමේ කියන්නේ ඒ සමහරු ලොකු ලොකු වාහනවලින් ආපු මහත්තුරු” තරුණියක වූ ඇය එසේ කීයේ පොදු සමාජයේ ඇතැමුන් නොදත් ස්ත්‍රීත්වය පිළිබඳ තවත් ඛේදනීය පැතිකඩක් අප හමුවේ අනාවරණය කරමිනි. එහෙත්, මෙහි වඩාත්ම ඛේදනීය තත්වය නම් මෙම අයුතු බලපෑමට ශාස්ත්‍ර කියන රූමත් කතුන් සේම වියපත් ශාස්ත්‍ර කාරියන් ද නතුවීමය.

අනුරාධපුර පූජා නගරයේ දී මගේ විමර්ශනයට ලක් වූ මෙම තෙලිඟු කතුන් ගේ ශාස්ත්‍ර කීමේ රටාවට අනුව මේ සෑම ශාස්ත්‍ර කියන්නියක් ම තම ශාස්ත්‍රය අරඹනුයේ ශාස්ත්‍ර අසන්නා ට හෝ අසන්නියට කිසියම් අගයක්, වටිනා කමක් හිමි කර දෙමිනි. “හොඳ වාසනාවන්ත අතක් මහත්තයා; ගහක් ගලක් උඩ හිටියත් බත් පත වරදින්නේ නැති අතක් නෝනා; දාහකින් හොයා ගන්න බැරි තරම් පින්වන්ත අතක් මහත්තයා” බොහෝ විට මෙම ශාස්ත්‍ර කාරියන් තම ශාස්ත්‍රය පැවසීම අරඹනුයේ එවැනි ධනාත්මක සාධනීය වැකියකිනි.

පසුව මොව්හු ඒ ශාස්ත්‍රය අසන්නාට හෝ අසන්නියට ඒ තත්වය එලෙසම පවත්වා ගෙන යා නොහැකි පවුල්මය සහ සමාජමය බාධක එල්ල වී ඇති අන්දම ඉතා චතුර ලෙස විස්තර කරති. මේ ආකාරයෙන් ආත්ම සංවේදීතාව අනුව යමකුට පොදුවේ පිළිගත හැකි කරුණු රැසක් සීතල කියැවීම (cold reading) නම් න්‍යායට අනුව පැවසීමට මොවුන් සතු පොදු සමත්කම අපගේ අගැයීමට ලක් විය යුතුය. එමෙන්ම යමකුගේ සිත තුළ පවතින කරුණක් කෙරෙහි අනියමින් එල්ලවන බලපෑමක් ලෙස මෙලෙස කරුණු දැක්වීම දේදුනු ප්‍රයෝගය (rainbow ruse) ලෙස ද නම් කළ හැකිය.

අප දන්නා අන්දමට මෙම තෙලිඟු කතුන්ගේ ශාස්ත්‍ර කීම සම්බන්ධ කිසිදු ශාස්ත්‍රීය පදනමක් නැත. ඔවුන් කියනුයේ මෙය තම කාන්තා පරපුරට ජන්මයෙන් උරුම දායාදයක් බවය. ඒ අනුව යන්තම් හය හතර වැටහෙන අවදියේ දීම ශාස්ත්‍ර කියන තම මව්වරුන් හා මහ මඟට බසින මොවුන් එම මව්වරුන් පවසන ශාස්ත්‍ර සහ ශාස්ත්‍ර අසන්නවුන් ගේ මුහුණු වල ඉරියව්, ඇඳුම් පැළඳුම්, කතා බහ, ඇතුළු දේහ භාෂාමය ලක්ෂණ මුල් කොට මෙම ශාස්ත්‍රය ස්වභාවික ලෙසම ප්‍රගුණ කරන බව පෙනේ.

සාමාන්‍යයෙන් ශාස්ත්‍ර කීම්වලදී ශාස්ත්‍ර කරු හෝ කාරිය ශාස්ත්‍ර අසන්නා වෙතින් ‘නේද?’ ‘නේද?’ අසමින් තමන් පවසන කරුණෙහි සත්‍යතාව විමසා බලති. එහෙත්, මෙම ශාස්ත්‍ර කාරියන් එසේ විමසීමක් නොකොට දොලවානක් ගලන්නාක් මෙන් තම ශාස්ත්‍රය එක දිගටම කියාගෙන යාම විශේෂත්වයකි. එමෙන්ම ඔවුන්ගේ ශාස්ත්‍ර මගින් බිහිසුණු අනාවැකි පළ නොවීම ද විශේෂත්වයකි. ඒ පිළිබඳව මා කළ විමසීමකදී එම කාන්තාවක කියා සිටියේ “අපිට එහෙම බොරු කියන්න බැහැ මහත්තයා” යනුවෙනි.

වර්තමානයේ වුව සැලකිය යුතු සමාජමය හිමිකමක් නොමැති මොවුන් හැඳින්වීම පිණිස අදටත් බහුලවම යෙදෙන වදන ‘අහිගුණ්ඨික’ යන්නය. අහිගුණ්ඨිකයන් හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් යෙදෙන වදන වනුයේ Gypsy යන්නය.  ඒ අනුව අප රටෙහි අහිගුණ්ඨිකයන් ද ඉංග්‍රීසියෙන් Gypsy යනුවෙන්ම හැඳින්වේ. නමුත් Gypsy යනු හුදු ඉංග්‍රීසි වචනයකි. එහි සැබෑ වදන වනුයේ රොමානි (Romani) හෝ රොමා (Roma) යන්නය.

මෙම රොමානි යන මිනිස් කොට්ඨාශය මීට වසර දහසකට පමණ පෙර ඉන්දියානු උපමහද්වීපයේ වයඹ දෙසින් ලෝකයේ බොහෝ රටවලට සංක්‍රමණය වූ බව මානව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. රොමා, සින්ති, සින්ධි යනුවෙන් ද හඳුන්වන මොවුන් ඉන්දු ආර්ය ගණයට අයත් උප ජන වර්ගයකි. ලෝක ප්‍රකට ඉන්දියානු ඉතිහාසඥ ආර්. එල්. බෂාම් මහතා පවසනුයේ ලෝකයට ඉන්දියාවෙන් දායාද කළ අසිරිමත් දායාද අතරට මෙම ජනවර්ගය ද අයත් වන බවය.

කෙසේ හෝ පසුව ඇමරිකාවටත්, යුරෝපය ඇතුළු ලොව රටවල් රැසකට සංක්‍රමණය වූ මොවුන් ඇමරිකා එක්සත් ජනපදයේ දශලක්ෂයක් ද බ්‍රසීලයේ අටලක්ෂයක් ද වශයෙන් ලොව පුරා රටවල් 30ක පමණ මිලියන විස්සක් පමණ වෙසෙන බව සොයා ගෙන තිබේ. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහනයට ආසන්නතම අගයකි.

ඉන්දියාවේ රාජස්ථාන්, හර්යානා, පන්ජාබ්, සින්ධි, කේරළ සහ ආන්ද්‍රා ආදී ප්‍රදේශ වල ජීවත්වන මොවුන් ඉතිහාසයේ කිනම් කලෙක හෝ ශ්‍රී ලංකාවට ද සංක්‍රමණය වී ඇත. මුත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීමට අපහසු තත්ත්වයක පවතී. පාරම්පරිකවම විවිධ කලා කටයුතු වෘත්තියක් වශයෙන් සිදු කරගෙන එන මෙම කාන්තාවන්ගේ රංගනයන් ලෝකයේ බොහෝ රටවල ඉහළ පිළිගැනීමකට ලක්ව තිබේ. නමුදු ශ්‍රී ලංකාවේදී ඔවුන්ට ආවේණික නැටුම් සම්ප්‍රදායන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට අපට නොහැකි විය.

එමෙන්ම සර්පයන් ප්‍රදර්ශනය කරවීම, රිලවුන් නැටවීම වැනි වෘත්තීන් හි යෙදුණු මොවුන් හඳුන්වන ‘අහිගුණ්ඨික’ නාමය සමාජයේ කොතරම් පහත් තත්වයකට පත්ව තිබේද යත් යමෙකුට අපහාස පිණිස පවා එම වදන යොදා ගන්නා අවස්ථා තිබේ. නමුදු මෙහි ‘අහි’ යන්නෙන් සර්පයා යන්න ද, ‘ගුණ්ඨික’ යනුවෙන් ‘අල්ලන්නා’ යන්න ද හැඟවෙන බවක් පාලි ශබ්දකෝෂ වලින් පැහැදිළි කරගත හැක.

එහෙත් අතීත භාරතයේ ‘අහිගුණ්ඨික’ යන නාමය සමාජයේ ඉහළ ස්ථානයක තිබූ බවට පන්සිය පනස් ජාතකයේ අංක 354 වැනි අහිගුණ්ඨික ජාතකයෙන් පැහැදිළි වෙයි. එම ජාතක කතාවෙහි කතා නායකයා රිලවුන් නටවන අහිගුන්ඨික ‘බ්‍රාහ්මණයෙකි.’ පැරණි භාරතීය සමාජ පසුබිම මුල්කොට ගෙන ලියැවුණු පන්සිය පනස් ජාතකයෙහි සමාජයේ විවිධ කුල වර්ග පිළිබඳව සඳහන් කර ඇත. නමුදු එහි කිසිම තැනක පහත් කුලිකයෙකු බ්‍රාහ්මණ නාමයෙන් හඳුන්වා නොමැත. අපට එමඟින් හැගෙනුයේ අතීත භාරතයේ අහිගුණ්ඨික රැකියාව හෙවත් සර්පයන් ඇල්ලීම කිසිසේත් පහත් වෘත්තීයක් නොවූ බවය.

අද වන විට ලෝකය පුරා වෙසෙන මෙරටදී ‘අහිගුණ්ඨික’ යනුවෙන් හැඳින්වෙන එම රොමානි ජන කොටස  වෙනුවෙන් ලෝක රොමානි කොන්ග්‍රසය නම් ජාත්‍යන්තර සංවිධානයක් 1971 වසරේ ලන්ඩනයේ දී පිහිටුවා ගෙන ඇත. මේ වන විට එහි සැසිවාර 10 ක්ම පවත්වා තිබේ. එම රොමානි ජනතාවගේ සංස්කෘතිය, කලා ශිල්ප, සිවිල් අයිතිවාසිකම්,  රැක ගැනීම සම්බන්ධයෙන් කැපවී ක්‍රියා කරන මෙම වැඩපිළිවෙලෙහි අවසන් සැසිවාරය (INTERNATIONAL ROMA CONFERENCE AND CULTURAL FESTIVAL) 2018 නොවැම්බර් මස 28-දෙසැම්බර් -02 ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි.

එහිදී අදහස් පළ කළ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ෂුස්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම රොමානි ජනයා ඉන්දියානු උප මහද්වීපයෙන් ලෝකයට දායාද වූ ජනකොටසක් වන බැවින් ඔවුන් ඉන්දීය ඩයස්පෝරාව සේ සැලකිය  යුතු බවය.

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් සහ දෙමළ ජනතාව විසින් ‘කුරවර්’ යනුවෙන් හඳුන්වන මොවුන් සිංහලයන් විසින් හඳුන්වනුයේ  අහිගුණ්ඨික හෝ ‘කූතාඬි’ යනුවෙනි. දැනට ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජීවත් වන මොවුන්ගෙන් කොටසක් මේ වන විට සාමාන්‍ය ජනසමාජයට අවශෝෂණය වෙමින් සිටියි. නමුදු ඔවුන්ගෙන් සුලුතරයක් තවමත් කාන්තාවන් ශාස්ත්‍ර කීමේ සහ පිරිමින් නයින් සහ රිලවුන් නැටවීමේ යෙදී සිටිති.

023ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් කූඩාරම් තුළ නතරවී හිඳින සංචාරක ගෝත්‍රික ලක්ෂණ පෙන්නුම් කරමිනි. මෙම ජන වර්ගය මුල්කොට ගත් නවකථා සහ සිනමාපට කිහිපයක් නිර්මාණය වී ඇති අතර සෝමවීර සේනානායකයන්ගේ සංකල්පනයක් අනුව බිහි වූ ‘සත්වෙනි දවස’ නම් කතාව ඉන් අතිශය ජනප්‍රියත්වයට පත්විණි. එම චිත්‍රපටයෙහි ‘අඟටන්නා’ නමින් හැඳින්වෙන සුරූපී ශාස්ත්‍ර කාරියගේ චරිතය රඟපාන ලද්දේ හෙළයේ නිළි රැජින ලෙස සැලකෙන මාලිනී ෆොන්සේකා විසිනි.

ශ්‍රී ලාංකිකයන් හට මෙම ජනවර්ගය එකම කණ්ඩායමක් සේ පෙනී ගියද මොවුන් අතරේ ද ප්‍රධාන කොටස් දෙකක් පවතින බව හඳුනා ගැනීමට මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී මට හැකි විය. එනම් තෙළිඟු බසින් බිඳී ගිය සංකර බසක් කතා කරන මොවුන්ගෙන් උතුරු මැද ඇතුළු රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ජීවත් වන පිරිස් එක් උප සංස්කෘතියකටත්, පුත්තලමේ සහ මඩකලපුවේ මුහුදු කරයට වන්නට පදිංචි පිරිස් තවත් සංස්කෘතියකටත් අනුව හැඩ ගැසී ඇති බවය.

රට අභන්තරයේ වෙසෙන  මෙම ජන වර්ගයේ වැඩි කොටස සිංහල සංස්කෘතියට අනුරූපව කිසියම් හැඩගැසීමක් සිදුව ඇතත් පුත්තලමේ සහ මඩකලපුවේ පදිංචි පිරිස ද්‍රවිඩ සහ මුස්ලිම් සංස්කෘතීන් වලට අනුරූපව හැඩගැසී ඇති බවක් මනාව පෙනී යයි.

ඔවුන්ගේ කාන්තාවන්ගේ ඇඳුම අනුව වුව ද මෙම වෙනස්කම් මූලිකව හඳුනාගත හැක. ඔවුන් පවසා සිටිනුයේ රට මධ්‍යයෙහි සිටින තම වර්ගයා සහ පුත්තලමේ සහ මඩකලපුවේ වෙසෙන ජන කොටස් අතර භාෂා විෂමතාවයන් පවා පැන නැඟී ඇති බවකි.

අනුරාධපුර පූජා නගරයට ශාස්ත්‍ර කීම සඳහා මෙම සෑම ජන කොටසකටම අයත් කතුන් පැමිණිය ද ඔවුන් ගෙන් බහුතරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම, කුඩාගම ගම්මානයේ පදිංචි කරුවන් බව පෙනේ. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ‘ජන උදාන’ ගම්මාන සංකල්පය යටතේ ප්‍රතිස්ථාපනය වී ඇති කුඩාගම අද වන විට පවුල් හාරසියයකට පමණ අයත් දෙදහස් පන්සියක පමණ ජනතාවක් වෙසෙති.

කාන්තාවන් ශාස්ත්‍ර කීම, පිරිමින් නයින් සහ රිලවුන් නැටවීම යන සාම්ප්‍රදායික වෘත්තීන් දැන් ඔවුන් කෙරෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතී. ඒ වෙනුවට කෘෂිකර්මය, මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක වෙළඳාම, පෞද්ගලික ආයතනවල සේවය කිරීම වැනි වෙනත් ජීවන වෘත්තීන් වල යෙදෙන මොවුන් මුලින් බෞද්ධයන් වශයෙන් කටයුතු කළ ද මේ වන විට එම මුළු කුඩාගම ගම්මානයම තම ආගමට නතු කර ගැනීමට එක්තරා ක්‍රිස්තියානි නිකායක පිරිසක් සමත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් කුඩාගම වැසියන් පවසනුයේ එම ආගම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තමන් තුළ නොමැති වුවද මුලදී තම ගමට පැමිණි එම ආගම් ප්‍රචාරකයන් ඉතා කාරුණික ලෙස තමන් හා සමීප වෙමින් තම හදවත් තුළ රෝපණය කළ දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය මේ වන විට මනාව තහවුරු වී ඇති බවකි.

සියවස් කිහිපයක සිට සාමාන්‍ය ජන සමාජයෙන් බැහැරව සිටීම නිසා ඔවුන් තමන්ටම ආවේණික ප්‍රජා පරිපාලන ව්‍යුහයක් සකස් කරගෙන ඇති අතර සාම්ප්‍රදායික වශයෙන් එම කණ්ඩායම් නායකයෙකු ද ඔවුන් විසින්ම පත්කරගෙන සිටිති.

බොහෝ විට පියාගෙන් පුතුට හිමිවන එම කණ්ඩායම් නායකත්වය ඇතැම් විට එම පරම්පරාවේ තවත් අයෙකුට හිමිවේ. එහිදී අධිකරණ බලය හිමිවනුයේ ද ආරච්චි නමින් හැඳින්වෙන එම නායකයාටය.

එහෙත් එවන් නඩු ඇසීමකදී දෙපාර්ශවයේම අදහස් වලට සම අවස්ථාව දීමෙන් සහ දෙපිරිසටම හැකිතාක් දුරට සාධාරණය ඉටුකිරීමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ එම නඩු විභාග ක්‍රමය  ඉතා දියුණු අධිකරණ ක්‍රමයක ලක්ෂණ පළ කරයි. එහෙත් අද වන විට එම ජනතාව සිවිල් පරිපාලන සහ අධිකරණ යාන්ත්‍රණයට නතුවීම තුළ එම ආරච්චිගේ භූමිකාව පොලිසියට සහ අධිකරණ වලට මුලුමනින් පැවරී තිබේ.

මෙවන් තත්වයක් යටතේ මෙම ජනතාවගේ පාරම්පරික සංස්කෘතික හිමිකම් රැකදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අපනයන සමාගමක් පසුගිය කාලයේ මහත් වෙහෙසක් දරා තිබුණි. ඒ අනුව මීට වසර කිහිපයකට පෙර තඹුත්තේගම, කුඩාගම දී මෙම ජනතාවගේ සංස්කෘතික සංදර්ශනයක් පවා සංවිධානය කරන ලදී.

එහෙත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කාලයට ජනතාවගේ ඡන්ද වලට ‘කෙළ හැළීම’ හැරුණු කොට දේශයේ මානව සංවර්ධනය වෙනුවෙන් කිසිදු හැඟීමක්, දැනීමක්, වැටහීමක් නොමැති දේශපාලඥයන් ගේ අතපල්ලෙන් වැටීම හේතුවෙන් මෙම ජනකොටස තවමත් සුපුරුදු අන්ත අසරණ බවේම ගිලී හිඳිති.

අඩුම තරමින් මොවුන් අහිගුණ්ඨික හෝ කූතාඬි යන පැරණි නම් වලින් මිස මෙම ජන කොටස ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති ‘රොමානි’ යන නමින් හැඳින්විමට වත් කිසිවෙක් මේ දක්වා මුල්ව කටයුතු කොට නැත.

තිලක් සේනාසිංහ

t

o

p