ආ ගිය අතක් නැති වූ මහසෝනා සොයා ගනිමු

May 17, 2020

“මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම එනකොට මහසෝනා ගහලා.” පසුගිය දිනක වලස්මුල්ල ප්‍රදේශයේ ගුප්ත විශ්වාස පිළිබඳව විමසුමකට ගිය මට එහි ගැමියෙක් කීය.

“ඔය මොන අවුරුද්දෙ වගේද?” මම ඇසුවෙමි.

“හරියටම කියන්න බැහැ. 1960 විතර.” ඔහු පිළිතුරු දුන්නේය.

ඔහුගේ කතාව සේම මහසෝනා ගැසීමෙන් මිය ගිය පුද්ගලයන් පිළිබඳව කුඩා කාලයේ සිට මම ද කොතෙකුත් තොරතුරු අසා ඇත්තෙමි. අපේ ගම් පළාතේ සිටි සුළු සුළු හොරකම් වලට ප්‍රසිද්ධව සිටි බීමතට ඇබ්බැහිව සිටි අයෙකු එක්තරා උදයක වෙල් නියරක් මත මැරී වැටී සිටියේය. එහි රැස් වූ ගම්මු ඔහුගේ මරණයට හේතුව ‘මහසෝනා ගැසීම’ යැයි ඒකමතිකව තීරණය කළහ. ඊට හේතු වූයේ ඔහුගේ පිට ප්‍රදේශයේ මහසෝනාගේ ඇඟිලි පහරවල් ලෙස සැලකෙන නිල් පැහැති ඉරි පැහැදිළිවම දක්නට තිබීමය.

කෙසේ හෝ අද වන විට ‘මහසෝනා ගැසීම’ නිසා මිය ගිය එක් අයෙකු ගැනවත් අසන්නට නැත. අඩුම තරමින් අවුරුදු විසි ගණන් වල බොහෝ තරුණ තරුණියෝ මහසෝනා යනු කවරෙකු දැයි නමින්වත් නොහදුනති. මින් අපට හැගීයනුයේ මහසෝනා අනුන්ට ගැසීම කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තුළ මහසෝනාට වෙන කවුරුන්‍ හෝ ‘ගසා ඇති’ බවකි!

අතීත ගැමියන් කිසියම් පුද්ගලයෙකුගේ හදිසි මරණයක් මුල්කොට ඔහුට මහසෝනා ගසා ඇති බව තීරණය කරන ලද්දේ මතු දැක්වෙන සාධක ද පදනම් කර ගනිමිනි. එනම්,

  1. මියගිය තැනැත්තා රාත්‍රී කාලයක දී හුදකලාවේ ගමනක් ගිය ‍අයෙකු හෝ කිසියම් තැනක රැඳී සිටි අයෙකු වීම.
  2. පසුදා උදේ ඔහුගේ මළ සිරුර ගම් වැසියන්ට හමුවන තුරු කෑ කෝ ගැසීමක් හෝ වෙනයම් සංඥාවක් අසන්නට නොලැබීම. (මීට හේතු වනුයේ පිටුපසින් පැමිණ පහරදෙන්නෙකු ලෙස මහසෝනා ප්‍රකට නිසා විය හැක.)
  3. ඔහුගේ ශරීරයේ පිට ප්‍රදේශයේ නිල් පැහැති සළකුණු කිහිපයක් දක්නට තිබීම.

මෙකී තත්ත්වයන්ට පරිබාහිරව මහසෝනා ගැසීම් වශයෙන් හැඳින්වෙන සිදුවීම් වාර්තා වූයේ නම් ඒ අතිශය අල්ප ලෙසිනි. යමෙකුට දවල් කාලයේ මහසෝනා ගැසීමක් ගැන අසන්නට ලැබුණේ නැති තරම්ය. එමෙන්ම මහසෝන් ප්‍රහාරයකට ලක් වූ කාන්තාවන් පිළිබඳවද අසන්නට නොමැති තරම්ය. දැන් අපි මේ මහසෝන් ප්‍රහාරයේ විද්‍යාත්මක පක්‍ෂය වෙත නැඹුරු වෙමු.

අපගේ ජීවිත සම්බන්ධ ස්වායත්න ස්නායු පද්ධතියේ (autonomic nervous system functions) මනෝකායික ක්‍රියාවලියක් තිබේ. එය ඉතා පැහැදිළි වශයෙන් කිවහොත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රකම්පනීය සංවේදීතාවයක් දැනුණු විට මොළයේ විධානයන්ගෙන් තොරව ක්‍ෂණික තීරණ ගැනීමට අපගේ ස්නායු පද්ධතිය වහා ක්‍රියාත්මක වීමය. ඒ අනුව යක්ෂ විශ්වාස පෙරදැරිව රාත්‍රියේ තනිව ගමනක් බිමනක් යන‍ හෝ කිසියම් තැනක රැඳී සිටින පුද්ගලයෙකුට ලැබෙන ක්‍ෂණික තීව්‍ර සංවේදනයක් ඔස්සේ ඔහු තුළ වූ මහසෝන් යක්ෂ විශ්වාසය එක්වරම අති ප්‍රබල ලෙස උද්දීපනය වීමට පුළුවන. ඒ සමඟම තමන්ට පිටුපසින් මහසෝනා සිටිතැයි යන අධික බිය මුසු විශ්වාසය ඔස්සේ ඔහු ගේ ස්වායත්න අනුවේගී ස්නායු පද්ධතිය ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම තුළින් මොළයේ විධානයකින් තොරව ගෙල පෙදෙස ක්‍ෂණික ගැස්සීමක් වශයෙන් වේගවත්ව ආපස්සට හැරීමට පුළුවන. එවිට එහි වේගය අනුව ශරීරය හා මොළය සම්බන්ධ වන කශේරුක ධමනිය (vertebral artery) ඇතුළු ධමනි බිඳීයාමේ යම් ඉ‍ඩකඩක් පවතී. එය මරණීය ප්‍රතිඵල උදාකරන්නකි.

එසේත් නොමැති වුව හොත් එසේ ක්‍ෂණිකව හටගන්නා ප්‍රකම්පන තත්ත්වයක් යටතේ හදිසි හෘද අකරණියක් (myocardial infarction) හෝ arrhythmia නම් තත්ත්වයක් හෝ මොළයේ නහරයක් පිපිරීයාමේ යම් හැකියාවක් තිබේ. මෙවන් තත්ත්වයක් තුළ ක්‍ෂණික මරණයකට ලක්වන ඒ තැනැත්තා ගේ මළ සිරුර පසුදා පරීක්ෂා කරන්නවුන්ට එහි turano, cleido, mastoid යන අස්ථි වලට සම්බන්ධ පිට ප්‍රදේශයේ පේශීන්ගේ නිල්පැහැති බවක් දක්නට පුළුවන. එය යමෙකුගේ මරණයෙන් පැය කිහිපයක් ගිය පසු සිරුරේ පහළ ප්‍රදේශවලට රුධිරය එක්වීමේ සාමාන්‍ය සම්භාවිතාව හෙවත් උපභවනය (hypostasis) නිසාය. ඒ එම පුද්ගලයා වැටී සිටි ස්ථානයයේ රළු බව හෝ ඇද සිටි ඇඳුමේ රළු බව අනුව එසේ පිට ප්‍රදේශයට ලේ එක්වීමේ යම් රටාත්මක බවක් පෙන්නුම් කෙරේ. බොහෝ දෙනෙකු මහසෝනාගේ ඇඟිලි පාරවල් වශයෙන් හඳුනාගන්නේ මෙම සළකුණුය.

“මිනිහා මැරිලා තියෙන්නේ නාහෙන් කටින් ලේ දාගෙන!” මෙවන් මරණයට පත්වන්නවුන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් එසේ කියති. කිසියම් පුද්ගලයෙකුගේ මරණයේ දී විවිධ හේතුන් මුල්කොට නාසයෙන් සහ මුවින් රුධිරය ස්වල්පයක් වහනය වී තිබීම බොහෝ විට දැකිය හැකි වන අතර හෘදය වස්තුවේ සිට මොළයට ලේ වැඩි ප්‍රමාණයක් එක්වර නිකුත් වීමේ දී නාසයේ ඇති nasal mucosa නම් පටකය පුපුරා යාමට පුළුවන. එවිට ඉන් රුධිරය ස්වල්පයක් පිටවීම ඉතා ස්වභාවිකය.

ඒ කෙසේ වර්තමාන සමාජයෙන් මෙම මහසෝන් විශ්වාසය බිඳ වැටීමත් සමඟ අද වන විට මහසෝනාට ‘ආගිය අතක් නැති වීම’ නිසා ඔහුගෙන් සිදුවූ එවන් විපත් ද අසන්නට නොලැබීම පුදුමයට කරුනක් නොවේ.

තිලක් සේනාසිංහ

t

o

p