පොලිස් නිලධාරී දෙනෙතින් ගිළිහුණු ‘දෙවිදිහක’ කඳුළු

May 9, 2020

මෙම සටහන ලිවීමට මා හට සිත් වූයේ මගේ හිතවත් පොලිස්නිලධාරියකු දුරකථනයෙන් මවෙත කී මගේ හදවත සසල කළ වදන් කිහිපයක් මුල් කරගනිමිනි.

මීගමුව, පෙරියමුල්ලේ ශාන්ත අන්තෝනි පාරේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දු නමැත්තා විසින් එම මාවතේම නිවසක ඇති දැඩි කළ ‘මැක්ස්’ නම් සුනඛ සුරතලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කොට ම‘වෙත දුරකථනයෙන් අදහස් පළ කළ මගේ හිතවත් පොලිස් නිලධාරියා මා ඉමහත් සංවේදී බවට පත් කරමින් එකී වදන් කිහිපය පවසා සිටියේය. එය මම ඔබට පසුව කියමි.


දැනට ප්‍රකාශ වී ඇති අන්දමට එම කුරිරු ඝාතනයට හේතුව ඒ සුනඛයා එකී විශ්‍රාමික පොලිස් අධිකාරීවරයාගේ නිවසේ තාප්පයට මුත්‍රා කිරීමය. කායික අවශ්‍යතා මත සේම ඔවුන්ටම ආවේණික වෙනයම් සංනිවේදන අරමුණු උදෙසා ද සුනඛයන් එක් පයක් ඔසවා යම් යම් ස්ථාන ඉලක්ක කොට මුත්‍රා පහ කරන බව නොදන්නා කෙනෙක් නැත.

එහෙත් තම වර්ගයාට ප්‍රවේණිගත උරුමයක් වූ එම‘ජන්ම පුරුද්ද’ සිරුර පසාරු කරගෙන යන වෙඩි උණ්ඩයකින් තත්පර කිහිපයක් තුළ තම ජීවිතය අහිමි කරවන සාතිශය බිහිසුණු වරදක් බව අහිංසක මැක්ස් නොදැන සිටි බව අතිශයින් පැහැදිලිය.


මෙම මැක්ස් ගේ හිමිකරු ද පුරා දශක හතරකටත් වැඩි කලක් මුළුල්ලේ මානව හිමිකම් සම්බන්ධයෙන් අව්‍යාජ කැප කිරීමක් සිදු කරන බ්‍රිටෝ ප්‍රනාන්දුය. අප රටේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඇරඹූ මුල් යුගයේ එහි සේවක අයිතීන් වෙනුවෙන් කම්හල් හාම්පුතුන්ගේ සිට රාජ්‍ය නායකයන් දක්වා වූ වගකිව යුතු සියළු පාර්ශ්වයන් සමඟ හරි හරියට සටන් වැදීමේ හැකියාවක් තිබූ මේ ‘යකඩ මිනිසා’ මුල් වරට අප හඳුනා ගත්තේ ‘කලාපෙ බ්‍රිටෝ’ යන ආදරණීය නමිනි. මැක්ස් නම් වන තම ආදරණීය සුනඛයාගේ මරණය පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ඔහු “අවුරුදු දහයක් දරුවෙක්ව වගේ හදා ගත්තා” යනුවෙන් පවසමින් හඬා වැටෙනු දුටු මෙම ලියුම්කරුට ශෝකී ආවේගයන් දරා ගත නොහැකි වූ බව ද මෙහි විශේෂයෙන් සටහන් කළ යුතුමය.


කොවිඞ් 19 වසංගතයත් සමඟ ඉකුත් මාර්තුවේ රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් වීමත් සමඟ නාගරික සහ අර්ධ නාගරික වශයෙන් සැලකෙන ජනගහන පර්යටන කලාප මුළුමනින් පාහේ ජන ශූන්‍ය විය. එමගින් එම කලාපවල අනුන්ගේ ඉඳුල් වලින් යැපුණු ලක්ෂ පහලොවක් පමණ වන ශ්‍රී ලංකාවේ නිවාස අහිමි සුනඛයෝ අතිශය අසරණ බවට පත් වූහ.

සත්ව අවිහිංසාවාදීන්, සත්ව හිමිකම් සහ සුබ සාධන ක්‍රියාධරයන් මෙම අසරණ වීදි සුනඛයන් හට තම ජීවිත ගෙවා ගැනීමට උදව් කළ හැකි උපාය මාර්ග පිළිබඳව විමසීමේදී ශ්‍රී ලංකා පොලීසියේත්, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගේත් සහාය ඊට උපරිම ලෙස ලැබුණු බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුමය.

අපගේ පෞද්ගලික දැනීම් සහ වැටහීම් අනුව ශ්‍රී ලංකා පොලීසියේත් ආරක්ෂක හමුදාවලත් ඉහළම නිලයන්ගේ සිට සියලු තරාතිරම් වලට අයත් නිලධාරීන් ගෙන් සැලකිය යුතු පිරිසක් ‘මේ මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් පොදු උරුමයක්”ය යන සනාතන දහම තම හදවත් වල ගැඹුරු තැන්වල සටහන් කරගෙන සිටිති.

එනිසාම ඔවුන් ඉකුත් ඇඳිරි නීති සමය තුළ තමන් වෙත පැවරුණු දහසකුත් එකක් රාජකාරී අතරේ නිවාස අහිමිව මහ මඟ දිවි ගෙවන සුනඛාදී සතුන් හට ආහාර ලබා දීමේ ‘අතිරේක රාජකාරියක්’ ද උපරිම ලෙසින් ඉටු කළ බව අපි හොඳාකාරව දනිමු. එහිදී විවිධ ශ්‍රේණිවලට අයත් පොලිස් නිලධාරීන් සේම නිලධාරිනියන් ද තමන්ගේ මාසික පඩිපතේ මුදල් පවා වැය කළ බව සත්ව ලෝලී කිසිවෙකුටත් රහසක් නොවේ.


සැරිසරන නිවාස අහිමි සුනඛයන් අතර පවත්නා හෘදයාංගම බැඳීම සම්බන්ධ ුණු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් එය නිමකොට ආපසු යන අතරේ එතෙක් සංචාරකයන් බහුලව ගැවසුණු ගිරිතලේ වැව් ඉස්මත්තේ නිරාහාරව සිටි සුනඛයන් පිරිසක් දැක තමන්ට කඳවුරින් ලැබුණු බත් පතෙන් කොටසක් ප්‍රදානය කරන ලද්දේ ඉන් භාගයක් පමණක් කා ජලය පානය කිරීමෙන් තම කුසගින්නේ ඉතිරි කොටස නිවා ගැනීමෙන් පසුවය.

මෙම සිද්ධිය පසුගිය දින වල සමාජ මාධ්‍යවලින් දක්නට ලැබුණු අතර එලෙස වාර්තා නොවූ මෙබඳු නොඑසේ නම් මීටත් වඩා සංවේදී නිහඬ සිදුවීම් තවත් සිය දහස් ගණනක් ඇති බව ද නොරහසකි.


ඊට අමතරව රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් හා වීදි වල සැරිසරන නිවාස අහිමි සුනඛයන් අතර පවත්නා හෘදයාංගම බැඳීම සම්බන්ධ සිදුවීම් සිය දහස් ගණනකි. පොලිස් නිලධාරීන්ගෙන් තමන්ට ලැබෙන ආදර කරුණාව මුල්කොට ඔවුන් ගේ රථවාහන රාජකාරි වලට පවා මැදිහත් වූ ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ සිටි එවන් සුනඛයකු රට පුරා ප්‍රසිද්ධ වූයේ ‘ට්‍රැෆික් සුද්දා’ යනුවෙනි. නීති විරෝධී රිය පැදවීම් හඳුනා ගැනීමේ පවා විස්මිත හැකියාවක් තිබූ බව පැවසෙන මෙම ට්‍රැෆික් සුද්දා ගේ විස්මිත හැකියාවන් මුල්කොට ගත් ඡායාරූප සහිත ලිපි එවක සෑම ජාතික පුවත්පතකම පාහේ පළවිය.

එමෙන්ම එසේ මාධ්‍ය මගින් අනාවරණය නොවූ පොලීසිය සහ යාවජීව සබඳතා පැවැත්වූ සුනඛයන් බොහෝ දෙනකු එදා සේම අදත් රට පුරා හිඳින බව ද නොරහසකි.


එවන් පසුබිමක් යටතේ විශ්‍රාමික පොලිස් අධිකාරීවරයකු මෙලෙස සුනඛයකුගේ අතිශය ස්වභාවික, ප්‍රවේණිගත සහ ජෛවමය ක්‍රියාවක් මුල්කොට වෙඩි තබා ඝාතනය කිරීම තුළ යම් මනෝ විද්‍යාත්මක පදනමක් ද තිබිය යුතුමය. ලෝකයේ සිදුවන යම් යම් අපරාධ සම්බන්ධයෙන් කරනු ලබන මනෝ විද්‍යාත්මක විමර්ශනයන් හිදී ඒවායෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිශ්චිත හේතුවක් නොමැතිව ආවේග පාලනය කරගත නොහැකි පුද්ගලයන් වෙතින් සිදුවන අපරාධ බව ද හෙළි වී ඇතැයි ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කියයි.

එහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනුයේ ක්ෂණිකව ආවේග පාලනය කරගත නොහැකිව සිදුකෙරෙන අපරාධ සහ මනැසේ යටි තලයේ තැන්පත්ව ඇති හැඟීම් ආවේග එක්වරම ඉස්මතු වීමෙන් සිදුවන අපරාධ වශයෙන් ඒවා කොටස් දෙකකට බෙදිය හැකි බවකි.

විශේෂයෙන් ළමා වියේදී දීර්ඝකාලීනව පුරුදු පුහුණු කරනු ලැබූ දේ හෝ ඒ කාලයේ අත්දුටු ප්‍රබල මානසික ගැටුම් වැනි දේවල් ද පසුකාලීනව මෙලෙස ආවේග පාලනයකින් තොරව දුබලයන් මුල්කොට සිදු කරන අපරාධ ඇතුළු හිංසන ක්‍රියා වලට යමකු පෙළඹවිය හැකි බව පවසන විශේෂඥ මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසනුයේ දීර්ඝකාලීන මත්පැන් ,මත්ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් සහ මොළයේ ලලාට ඛණ්ඩිකාව (frontal lobe) කොටසේ දුබලතා ඇති කරවන චිත්ත වික්ෂේපය (dementia) වැනි රෝගී තත්වයන් නිසාද යමකු මෙලෙස ආවේග පාලනයෙන් තොර අපරාධවලට පෙළඹිය හැකි බවය.

කෙසේ හෝ මෙම සුනඛ ඝාතනය සම්බන්ධයෙන් එදිනම පොලිස් අත්අඩංගුවට පත් ක්ලෙමන්ට් ප්‍රනාන්දු නමැත්තා එදිනම අධිකරණය හමුවට පත් කරනු ලදුව රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත නිදහස් කොට තිබේ. ඒ සමඟම ඒ සම්බන්ධ වැඩිදුර නඩු විභාගය මෙම මැයි 18 සඳුදා පැවැත්වීමට ද මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියාල් අමරසිංහ මහතා නියම කොට තිබේ.


දැන් මා මෙම සටහනේ මුලින්ම සඳහන් කළ මගේ හිතවත් පොලිස් නිලධාරියා දුරකථනය මගින් මා වෙත ඉදිරිපත් කළ සංවේදී ප්‍රකාශය ඔබ හමුවට ගෙන එමි.
“ඔය සිද්ධිය ගැන එෆ්. බී. එකෙන් දැක්ක හැටියේ ඇත්තටම මගේ ඇස්
දෙකෙන් කඳුළු වැටෙන්න පටන් ගත්තා. මගේ එක ඇහැකින් කඳුළු ආවේ ඒ අසරණ සතාට සිද්ධ කරපු අපරාදෙට” හෙතෙම කීය.
“එතකොට අනික් ඇහෙන් කඳුළු ආවේ?” මම විස්මයෙන් යුතුව ඇසීමි. “මේ සිද්ධියට පොලිස් දෙපාර්තමේන්තුවේ නම ගෑවිල අපිට විඳින්න වෙච්චි අවමානෙට” හෙතෙම කීයේ බිඳුණු ස්වරයෙනි.

තිලක් සේනාසිංහ

t

o

p