කොරෝනා වසංගතය ඔඩු දුවන්නට මුලික හේතුව වුයේ කලයුතු සියල්ල ප්‍රමාද වී පටන් ගැනීමයැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
අර්බුදය හමුවේ දේශපාලනය නොකර රට ශක්තිමත් කිරීම සඳහා සියලු යුතුකම් ඉටු කරන බවද තලතා අතුකෝරල මහත්මිය පැවැසීය. කොළඹ ශ්‍රීමත් මාර්කස් ප්‍රන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (25) පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.
අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, කළ යුතු සියල්ල ප්‍රමාද වෙලා පටන් ගත්තා ලෙඩ්ඩු 28 කට රටක් වහනවද කියලා ඇහුවා. වගකිව යුතු පුද්ගලයෝ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සම්බන්ධවෙලා වසන්ගත රෝග පිළිබඳ විශේෂඥයන්ගෙන් උපදෙස් අරගෙන මේ වෛරසය පිළිබඳව හරියට හොයා බලා වැඩ නොකරපු නිසා, දිගින් දිගටම මෙහි පැතිරීම පටන් ගත්තා. ඒ වගේම ජනවාරි 27 වෙනිදා හොයාගත්ත චීන කාන්තාව සුවපත්වෙලා මේ රටින් පිටමන් කරනකොට ජනාධිපතිවරයාට සමීප කෙනෙක් සංචාරකයින්ට ආරාධනා කරා අපේ රට සෞඛ්‍ය අතින් ආරක්ෂිතයි අපේ රටට එන්න කියලා. රෝගීන් 28 කට රට වහන්න මොකටද කියලා ඇහුව රාජ්‍ය නායකයටම පිළිගන්න සිද්ධ වුණා අවසානයේ මේ තරම් ව්‍යසනයක් වුණේ සංචාරකයින් මේ රටට පැමිණීම නිසා බව. මේ සියල්ල පහුගිය කාරණා. නමුත් අපේ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. යුද පිටියේදී වගේම ඕනෑම ව්‍යසනයකදී ඉදිරියට පැමිණ ඉතාමත්ම කැපවීමෙන් වැඩ කෙරුවේ අපේ හමුදාව සහ පොලිසියයි. ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක්.
අපි දන්නවා විශාල මුදලක් මේ ව්‍යසනය පාලනය කරන්න අපේ රටට විදේශයෙන් ලැබිලා තියෙනවා. ලෝක බැංකුවෙන් විතරක් ඩොලර් මිලියන 128ක්, රුපියල් මිලියන 25000 ක්. සාමාන්‍යයෙන් ඕක්කොම එකතුකරලා බැලුවම රුපියල් මිලියන ලක්ෂ දෙකක් විතර මුදල් ලැබියලා තියෙනවා. දැන් මේ මුදල් පාලනය සහ පරිහරණය පිළිබඳව කවුද වගකියන්නේ. පවුල් ලක්ෂ 30 කට වඩා ඉන්නවා අද එදා වේල හොයාගන්න බැරි අය. මේ රජය ඔවුන්ට දෙන රුපියල් 5000 දේශපාලනීකරණය කරලා දෙන බව අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. අපේ රජයක් තියෙන අවසථාවේ අපි මේ රටට ආපදා ආව සියලුම අවස්ථාවල මිනිස්සුන්ට සහන සැලසුවේ, ආපදා කටයුතු කිරීමට බාර දුන්නේ දිස්ත්‍රික් ලේකම්ලා සහ ප්‍රාදේශීය ලේකම්ලා හරහා ක්ෂේත්‍ර නිලධාරීන්ට. අඩුපාඩුවක් තිබුණා නම් අපි ඒ පිළිබඳව ඔවුන්ට පෙන්වා දුන්නා. නමුත් අද මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන වෙලාවක ලැයිස්තුව හදන්නේ දේශපාලන අධිකාරිය. ලෝක බැංකුවෙන් දුන්න රුපියල් මිලියන විසිපන්දාහෙන්ම රුපියල් 5000 ගානේ පවුල් ලක්ෂ 30 දුන්නත් රුපියල් මිලියන පහළොස්දාහයි යන්නේ. අපි දන්නවා මේ මුදල් PCR පරීක්ෂණවලට, නිරෝධායන කටයුතු වලට යොදවන්න ඕනේ, විශාල මුදලක් මේ සඳහා වැය වෙනවා, රජයක් කරනකොට ඒ පිළිබඳ වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනේ කියලා අපි දන්නවා.
නමුත් අද මේ මුදල් පාලනය පිළිබඳව අපට සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙනවා. මීට පෙරත් සුනාමි ව්‍යසනය ඇතිවුණ වෙලාවේ අපේ රටට විශාල ආධාර ප්‍රමාණයක් ලැබිලත් අවුරුද්දක් දෙකක් යනකන් සමහරක් පවුල් කූඩාරම්වල ජීවත් වුණ බව අපි දැක්ක. ඔවුන්ට කිසිම සහනයක් ලැබුණේ නැහැ. ඒ සම්බන්ධව සහමරක් අය උසාවියටත් ගියා මේ මුදල් වලට මොකද වුණේ කියලා දැනගන්න.
සමහරු ඉතාමත්ම පහත් විදිහට කියා තිබෙනවා වෙනත් වරප්‍රසාද ලබා ගනීම සඳහා හිටපු මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ කියලා. මම වගකීමෙන් කියනවා කරුණාකරලා අපට වැටුප් එපා, කිසිදු වරප්‍රසාදයක් එපා, පාර්ලිමේන්තුවට එන යන එකත් අපි බලාගන්නම්.
ඔබ දන්නවා මේ ව්‍යසනය අවසන් වෙන දිනයක් අපිට කියන්න බැහැ. යුද්ධයකදී නම් අපිට සතුරා පෙනෙනවා, ගංවතුරක්, සුනාමියක්, සුලිසුළඟක් ආවා නම් වුණ විනාසය අපිට පෙනෙන්නට තිබෙනවා. නමුත් මේ වගේ වසන්ගතයක අවසානයක් ගැන අපිට දින වකවානු ඉදිරිපත් කරන්න බැහැ මාසෙන් දෙකෙන් මේක ඉවරවෙනවා කියලා.
මේ අවස්ථාවේ ප්‍රශ්න ගණනාවක් තිබුණත් අපි මේ ප්‍රශ්නවලින් දේශපාලනය කරන්න නෙවෙයි උත්සාහ කරන්නේ. ප්‍රධාන විපක්ෂය හැටියට රජයේ වගකීම හරියාකාරව ඉෂ්ඨ කරන්න පුළුවන් මාවතකට ගෙන යාමටයි අපි උත්සාහ කරන්නේ. මේ කටයුතු ගැන සොයා බලන්න විපක්ෂයක් හැටියට අපිට වගකීමක් තියෙනවා. මේ සම්බන්ධව ජනාධිපතිතුමාගේ සිට සියළුම දෙනා අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා.
අංජුල මහික වීරරත්න