කොරෝනාවට මුහුණ දීමට පරීක්ෂණ උපකරණ ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කාවින්ද පවසයි

April 17, 2020

කොරෝනා වයිරසය චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් මුලින්ම පැතිරීම ඇරැඹුණු ඉකුත් ජනවාරි මාසයේදීම ශ්‍රී ලංකාව වයිරසයට මුහුණ දීම සඳහා අවශ්‍ය කොරෝනා පරීක්ෂණ උපකරණ මුඛ ආවණ සහ ශල්‍ය ඇදන්  ආදිය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රමවේදයක් සකස් කළද රජය පාර්ශ්වයෙන් ඊට කිසිඳු යහපත් ප්‍රතිචාරක් නොලැබුණු බව ගම්පහ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය 

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයාට කතා කොට මුහුණු ආවරණ ලබා දෙන ලෙසට කළ ඉල්ලීමට ඉන්දීය රජය එකඟතාව පළ කළ නමුත් ශ්‍රී ලංකා රජය පාර්ශවය ඒ අවස්ථාවේදී පැවසූයේ මෙම වයිරසයෙන් ගැලවීම සඳහා මුහුණු ආවරණ අවශ්‍ය නොවන බව යැයිද කාවින්ද ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙරට වයිරසය පැතිරීමේ වගකීම රජය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම සෞඛඅමාත්‍යවරිය විසින් බාරගත යුතු යැයිද වෛද්‍ය කාවින්ද ජයර්ධන මහතා කීය.

වයිරසය චීනයේ පැතිරෙන්නට පටන්ගත් මුල් යුගයේදීම මෙරට රෝහල්වල අත් ආවරණ ,මුහුණු ආවරණ , වෛද්‍යවරුන්ගේ ආරක්ෂිත ඇඳුම් කට්ටල, ආදිය  ප්‍රමාණවත් පරිදි තිබේදැයි තමා සොයාබැලු බවත්  ඒවා කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවන බව එම සොයා බැලීමේදී අනාවරණය වූ බවද කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

එමෙන්ම නිසි ක්‍රමවේදය අනුව නියමිත කාලයට අදාළ උපකරණ මෙරටට නොගෙන්වීමෙන් කොරෝනා වෛරසය වසංගතයක් ලෙස රටපුරා පැතිරයාම සිදුවිනැයිද වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය 

කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භයත් සමගම දකුණු කොරියාව , ජර්මනිය වැනි රටවල් සියලු වෛද්‍ය උපකරණ සූදානම් කරගැනීමට සමත් වූ හෙයින් ඉහත රටවල එය පාලනය කරගැනීමට හැකිවිනැයි ද හිටපු මන්ත්‍රිවරයා කීවේය 

දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට වයිරසය පැමිණි එකම  මාර්ගය වන්නේ ගුවන්තොටුපොළ යැයිද මෙරටට එන ගුවන් මගීන් ගුවන්තොටුපොළේදී නියමාකාර පරීක්ෂණයකට ලක්  නොකිරීමේ වගකීම ගන්නේ කවරෙක්දැයි වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රශ්න කළේය.

එමෙන්ම  මහමැතිවරණයට නාම යෝජනා බාර ගන්නා තුරු   ඇඳිරිනීතීය පැනවීම හෝ මහජන එක්වීම පාලනය කිරීමට රජය කිසිදු  පියවරක් නොගත් බවද සඳහන් කළ කාවින්ද ජයවර්ධන මහතා මෙම වයිරසයෙන් ජනතාව මුදා ගැනීමට දේශපාලන වාසි නොතකා විපක්ෂය උපරිම සහයලබා දී තිබියදී රජය එය නොසලකා හැර තිබේ යැයිද සඳහන් කළේය.

 කොරෝනා වසන්ගතය සම්බන්ධයෙන් විපක්ෂයේ යුතුකම ඉටු කර තිබුණද රජයේ යුතුකම ඉටුකර ඇත්තැයි සැකයක් පවතින බවද වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා  කීවේය.

දකුණු කොරියාව මේ වන විට කොරෝනා වෛරසය පාලනය කරමින් එක් දිනකට පරීක්ෂණ ලක්ෂයක්ද ජර්මනිය එක් දිනකට පරීක්ෂණ පනස්දහසක් ද කළද මෙරට එම පරීක්ෂණ සිදු කරනුයේ දිනකට දහසකටත් අඩුවෙන් බවද වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය. 

අංජුල මහික වීරරත්න

t

o

p