කොරෝනා වෙන් මං මුලාවී දුම් අල්ලා කැඳ පානය කිරීම …

April 8, 2020

බටහිර වෛද්‍යවරුන් විද්‍යාත්මක නොවන ප්‍රතිකාර ක්‍රම වේදයන් ප්‍රවර්ධනය කිරීම වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙලීමක් ..!ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතයට විශාල පිරිසක් තව දුරටත්  ගොදුරු වෙමින් පවතිනවා.කිසිදු තරාතිරමක් නොතකා ලොව පුරා විශාල පිරිසක් මෙම රෝගයේ  ගොදුරු බවට පත් වෙමින් තිබෙනවා මෙම රෝගය ඇතිකරන රෝග කාරකය වෛරස නමින් හඳුන්වන රෝග කාරකයක්.

එම  රෝග කාරකය වර්ධනය වීම සඳහා සජීවි සෛල වල උපකාරය අවශ්‍ය වෙනවා .ඒ අනුව අපගේ සිරුරට ඇතුළු වන වෛරසය විශේෂයෙන් ම අපගේ ස්වසන පටකයේ ඇති සෛලවලට ඇතුළත්ව එම ශෛලවල අභ්‍යන්තරයෙහි ඇති සජීවී කොටස් භාවිතා කොට තම ප්‍රවේණික ද්‍රව්‍ය පිටපත් කර ගනිමින් විශාල ප්‍රමාණයක් නව වෛරස බිහි කරනවා.

එවිට ස්වසන පටකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩාල කරමින් ඒ සෛල පුපුරා වෛරසය දහස් ගණනක් අපේ රුධිරයට එකතු කරනවා මේ හේතුවෙන් ස්වසන පටකය ප්‍රදාහයට ලක්ව .සෙම වලින් පෙනහලු පිරෙන්න පටන් ගන්නවා .එවිට තමා රෝගියාගේ ජීවිතය අවදානමට ලක් ව නිව්මෝනියා තත්ත්වයට පත් වන්නේ .

මෙම වෛරස ආසාදනය සඳහා කළ හැකි ප්‍රතිකාර කවරේ ද යන්න මේ වන විට ඉතා මතභේදයට ලක් වූ කරුණක් බවට පත්ව තියෙනවා .ඇත්තෙන් ම බොහෝ වෛරස රෝග සඳහා  නිශ්චිත ප්‍රතිකාර නැහැ ඒවා බොහොමයක් ම සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉබේම සුව කරනු ලබනවා.අපේ සිරුරේ ප්‍රතිශක්තිය ගතහොත් ප්‍රධාන වශයෙන් ආකාර තුනක් තියෙනවා .පළමු වැන්න තමා විසබීජ සඳහා වන යාන්ත්‍රික ආරක්ෂණ ප්‍රතිශක්තිය  එනම් අපගේ සම සහ සිරුර අභ්‍යන්තරයේ ඇති ශ්ලේෂ්මල පටල විසින් ආගන්තුක රෝග කාරකයන් සිරුර තුළට   ඇතුල් වීමට නොදී  ආරක්ෂිත බාධකයක් ලෙස ක්‍රියා කිරීම .

දෙවැන්න තමා සිරුරට ඇතුළු වන එවන් රෝග කාරකයන් සිරුරේ අඩංගු සමහර සුදු රුධිරාණු විසින් වට කර ගිල දමා විනාශ කිරීම  සිරුරේ අඩංගු කුඹ ශෛල නමින් හඳුන්වන සෛල වර්ගය මේ සඳහා ප්‍රමුඛත්වය ගන්නවා.මීළඟට සිරුරේ වැදගත්ම ප්‍රතිශක්තිය  ඇති කරන තුන් වන ක්‍රමය තමා සිරුරට ඇතුළු වන ආගන්තුක  රෝගකාරකය හඳුනාගෙන එයට ම විශේෂිත වූ ප්‍රතිදේහ නම් ප්‍රෝටීන් වර්ගය නිපදවමින්  රෝග කාරකය විනාශ කරන ප්‍රතිශක්තීකරණ පද්ධතිය.මෙම ක්‍රම තුනෙන් ඉතාම වැදගත් වන්නේ තුන්වන ක්‍රමය යි .විශේෂයෙන්ම වෛරස ආසාදන මැඩ පැවැත්වීමට අවශ්‍ය වන්නේ මෙම ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීම යි .

මේ නිසා තමා කුඩා අවදියේ දී වෛරස රෝග වලින් ආරක්ෂා වීම පිණිස  දරුවන්  එන්නත් කරනු ලබන්නේ .එම එන්නත් වල  අඩංගුව ඇත්තේ අඩපණ කරන ලද රෝග කාරකයි .එම අඩපණ කරන ලද රෝගකාරක සිරුරට එන්නත් කළ විට එයට එරෙහිව විශේෂිත වූ ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා .එය හරියට යතුරු අගුලට නියමිත යතුර නිපදවනවා වගේ වැඩක්..යතුරු අගුලක් ක්‍රියා කළ හැක්කේ එයට නිශ්චිත වූ යතුර දැමුව හොත් පමණි .

ඒ අන්දමට ම යම්කිසි රෝග කාරකයකට එරෙහි ව  සිරුරේ සෑදෙන ප්‍රති දේහ එම රෝග කාරකය මත පමණක් ක්‍රියා කරයි .ඉන් පසු එම ප්‍රති දේහ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ තැන්පත්ව පවතී .කෙදිනක හෝ එම  රෝග කාරකය නැවත සිරුරට ඇතුළු වුව හොත් අර පෙර තැන්පත්ව තිබූ  ප්‍රතිදේහ ක්‍රියාත්මක වී වැඩිපුර එම ප්‍රතිදේහ  නිපදවා රෝග කාරකය විනාශ කර දමනවා එවිට අපට එම රෝගය වැළඳෙන්නේ නැහැ.

සමහර ප්‍රතිදේහ සිරුර තුළ තැන්පත්ව ජීවිත කාලයටම තියෙනවා එවිට ජීවිත කාලය පුරාවටම එම රෝගයෙන් මිදී සිටීමේ හැකියාව ලැබෙනවා .නමුත් සමහර ප්‍රතිදේහ සිරුර තුළ තැන්පත් ව තියෙන්නේ ඉතා සුළු කාලයක් ඒක නිසා තමා සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස රෝග ඉක්මනින් නැවත නැවත  වැලඳෙන්නේ  මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයන් වලින් වඩා කාර්යක්ෂම ම ක්‍රමවේදය වන ප්‍රති දේහ නිර්මාණය කිරීමේ කාර්යය සඳහා රෝග කාරකය සිරුර තුළට ඇතුළු වීම අත්‍යවශ්‍ය වෙනවා .

මෙය කොත්තමල්ලි පත්පාඩගම්, වෙනිවැල් හෝ කැඳ වර්ග හෝ  වෙනත් එවැනි කිසිදු දෙයක් පානය කිරීමෙන් හෝ හුමාලය දුම් ඇල්ලීම මගින්  කරන්න බැරි බව ප්‍රත්‍යක්ෂයි .කොරෝනා  රෝගය මර්දනය කිරීම පිණිස ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට යැයි පවසමින්  පානය කිරීමට නිර්දේශ කරන කිසිදු පානයකින් සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය කිරීමට නොහැකි වුවත් ඉතා සුළු ප්‍රතිශක්තියක් මන්දගාමීව ලබා දෙන සුදු රුධිරාණු  ආශ්‍රිත ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් කිසි  ආකාරයකට උත්තේජනය විය හැකි වීමේ සම්භාවිතාවය බැහැර  කරන්න බැහැ .එවිට  කොරෝනා  වැනි ප්‍රචණ්ඩ වෛරසයක් සිරුර තුළ ගුණනය වීමේ සීඝ්‍රතාවය ඉන් ප්‍රමාද කිරීමේ හැකියාව පවතිනවා  .

එසේ වුව හොත් සිදු වන්නේ රෝගකාරකය සිරුරට ඇතුළු වී රෝග ලක්ෂණ මතු කිරීමට යන කාලය වන බීජෞෂණ කාලය දිගු වීමයි.එවිට දින දාහතරක නිරෝධායන කාලය  ගත වූ පසුවත් රෝග ලක්ෂණ මතු නො වී තවත් දින ගණනාවකට පසු ව රෝග ලක්ෂණ මතු වීමේ හැකියාව තියෙනවා.නමුත් ඒ කාලේ පුරාවටම ඔහු රෝග වාහකයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව ද තියෙනවා.මුලින් සඳහන් කළ පරිදි උගුර ආශ්‍රිතව ආරක්ෂිත පටලයක් ලෙස ශ්ලේෂ්මල  පටලයක් පවතිනවා.සමහර පුද්ගලයන් කියන පරිදි ලුණු වතුරෙන් උගුර සේදීමේ දී මෙම ඉතා සියුම්  ශ්ලේෂ්මල   පටලයට හානි සිදුවෙනවා.එවිට වෛරසයට පහසුවෙන් ම සිරුර තුළට ඇතුළු වීමේ හැකියාව ලැබෙනවා .

උණු වතුර හෝ තේ හෝ වෙනත් උණුසුම් පානයන් පානය කිරීම මගින් වෛරසය විනාශ වන බවක් තහවුරු කර ගෙන නැහැ.චීනයේ පුද්ගලයෙකු එසේ ප්‍රකාශ කළ බවට සමාජ ජාල වෙබ් අඩවි තුළ ප්‍රකාශ පළ වුවත් චීන රජයෙන් සනාථ කළ එවැනි වාර්තාවන් සොයා ගැනීමට ඇත්තේ නැහැ . නාසයෙන්  හෝ මුඛයෙන් ඇතුළු වන වෛරස උගුර තුළ ගිමන්  හැරීමක් සිදු කරන්නේ නැහැ.ඔය කියන විදිහට වෛරසය විනාශ කිරීමට නම් ඉතා ඉහළ  උෂ්ණත්වයකින් යුතු උණුසුම් පානයක් අඛණ්ඩව දිගට ම උගුර හරහා වෛරස විනාශ වීමට තරම්  ප්‍රමාණවත් කාලයක් ගලා යා යුතු වෙනවා .නමුත් අප ඕනෑම පානයක් පානය කරන්නේ සිරුරට දැරිය හැකි උෂ්ණත්වයක ඇති විට,උගුරෙන් උගුර වරකට ඉතා සුළු ප්‍රමාණයක් බැගින්  පමණි .

සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට හුමාලය ඇල්ලීම මගින් සිදු කළේ ස්වසන පටක ප්‍රදාහය අඩු කොට ඝනකම් සෙම තුළට ජල බිඳිති ඇතුළු කර  ඒවා තුනී කරමින් දියර බවට හරවා  සිරුරෙන් ඉවත් කිරීම පහසු කිරීමටයි.එසේ හුමාලය ඇල්ලීම මගින් වෛරස විනාශ වන බවට කිසිදු පරීක්ෂණයකින් සනාථ වී නැහැ .බොහෝ වෛරස ආසාදන හේතුවෙන්  හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගැනීම සඳහා අප විසින් බොහෝ විට විටමින් සී පෙත්තක් භාවිතා කරනවා .එමගින් ස්වසන පද්ධතිය ආම්ලික තත්ත්වයකට පත් කරනවා .

ආම්ලික පරිසරයක් තුළ සාමාන්‍ය වයිරස වර්ධනය අඩාල වනවා .නමුත් කොරෝනා වෛරසය  භාෂ්මික  මාධ්‍යයකදී වඩා හොඳින් වර්ධනය වන බව නිරීක්ෂණය කොට තිබෙනවා මේ නිසා තමා සිරුරේ සෛලවල භාෂ්මික තත්ත්වයක් ඇති කිරීම පිණිස කොරෝනා රෝගීන්ට මැලේරියාව සඳහා දෙන ඖෂධයක් වන ක්ලොරොක්වින් ඖෂධය ලබා දෙනු ලබන්නේ.මේ පිළිබඳව තොරතුරු අන්තර්ජාලයේ පලව තිබෙනවා. කොරෝනා  රෝග කාරකය ආසාදිත පුද්ගලයන් ට දෙහි කොළ දමා හුමාලය ඇල්ලීම මගින් ස්වසන පටකය ආම්ලික තත්ත්වයට පත් වීම හේතුවෙන් වයිරසයේ  වර්ධනය වැඩි විය නොහැකි ද ? 

විවිධ ද්‍රව්‍ය යොදා ගනිමින් සාදා ගන්නා කැඳ වර්ග වල ප්‍රතිඵලය සහතික කරන විද්‍යාත්මක ක්‍රමවේදය කවරේ ද ?බටහිර වෛද්‍ය ක්‍රමයේ දී ඖෂධයක් භාවිතා කිරීමේ දී එහි අඩංගු ක්‍රියාකාරී සංයෝග ය හඳුනා ගන්නා අතර අදාළ රෝග කාරකය කෙරෙහි එහි නිශ්චිත බලපෑම පරීක්ෂණ මඟින් සනාථ කර ගත් පසු එය මුලින් ම සතුන් යොදා පරීක්ෂා කරනු ලබන අතර ඉන් අනතුරු ව  පාලන තත්ත්වයන් යටතේ පියවර කිහිපයකින් මිනිස්සුන්ට ලබා දෙමින් එහි කාර්යක්ෂමතාව, ඵලදායීතාව ,සුරක්ෂිත භාවය ,අතුරු ප්‍රතිඵල මෙන් ම එක් එක් පුද්ගලයාට ලබා දිය යුතු ඖෂධ ප්‍රමාණය ,ළදරුවන්ට ,ගර්භණී මවුවරුන්ට ,මව් කිරි දෙන මව්වරුන්ට වකුගඩු සහ අක්මාව ආබාධිත පුද්ගලයන්ට ආදී විවිධ කොටස්වලට ලබා දිය යුතු මාත්‍රා ප්‍රමාණය සහ එම ඖෂධය සමග අනිත් ඖෂධ අන්තර් ක්‍රියා සිදු කරන ආකාරය පවා   තීරණය කොට තමා රෝගීන් ගේ භාවිතය සඳහා එම ඖෂධය මුදාහරින්නේ .

බටහිර වෛද්‍යවරුන් අනුගත ව සිටින්නේ එම ක්‍රමය මතයි නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී හෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ දී භාවිතා වන්නේ වෙනත් ක්‍රමයක් එනම් යම් ද්‍රව්‍යයක් යම් රෝගයකට සුදුසු යැයි උපකල්පනය කරමින් බොහෝ පිරිසකට එය ලබා දී ඉන් ලැබෙන ප්‍රතිඵල ආශ්‍රයෙන් නිගමනයකට එළඹීමයි මෙහි දී ඖෂධයේ ක්‍රියාකාරී සංයෝගය හෝ එය සිරුර තුළ ක්‍රියා කරන ආකාරය සිරුර එයට දක්වන ප්‍රතිචාර හෝ  පිළිබඳව විද්‍යාත්මක ව  සොයා නොබලයි.මේ හේතු වෙන් තමා සමහර අරිෂ්ට වර්ග පානය කිරීමෙන් අනතුරුව ඒ නිසාවෙන්ම  සිරෝසීස් රෝගයට ගොදුරු වූ බොහෝ දෙනා හමු වන්නේ .

බටහිර වෛද්‍යවරුන්  තමන් උගත් ඇලෝපති වෛද්‍ය ක්‍රමය  පිළිපැදීමට බැඳී සිටිනවා .ඔවුන් පිළිගත යුත්තේ එහි පවතින විද්‍යාත්මක ක්‍රමවේදය යි .එ සේ හෙයින් තමන් කිසිදු අයුරකින් විශේෂඥයකු නොවූ වෙනත් සංකල්ප  මත  ගොඩනැඟුණු වෛද්‍ය ක්‍රම වේදයන්, පෙර කල සිට භාවිතා වූ නිසාවෙන් හෝ වෙනත් පුද්ගලයන් කියන නිසාවෙන්ම හෝ,තමන්ට කර කියාගත දෙයක් නොහැකිව සිටිනා විට ගොඩ යෑම පිණිස තම පෞද්ගලික විශ්වාසයන් මහජනතාව වෙත මුදා හැර එය අනුගමනය කිරීමට ඔවුන්  පෙළඹීවිම සදාචාර විරෝධී මෙන්ම වෛද්‍ය  වෘත්තීය  ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක්ද වනවා.

තම රෝගයට බටහිර වෛද්‍ය ප්‍රතිකාර පතා රෝහල් ගත වන පුද්ගලයන්ට විවිධ කොළ වර්ග දමා  දුම් අල්ලන්න සහ විවිධ ද්‍රව්‍ය යොදා  සෑදු කැඳ වර්ග ලබා දීමට අවසර දුන්නේ කවුද ?එය රෝගීන් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් .එසේ ම එම රෝගීන් පරීක්ෂණාගාර මීයන් බවට පත් කොට තමන්ගේ පරීක්ෂණයන්ට යොදා ගෙන ඇති බව පැහැදිලි වනවා .එහිදී එක වෛද්‍යවරයෙක් පුවත්පතකට ප්‍රකාශ කොට තිබුනේ සහ අන්තර්ජාලයේ ඇති  වීඩියෝ පටයෙ කියා තියෙන්නේ තමන්ට රෝග ලක්ෂණ ඇති වූ බවත් මෙම දුම් සහ කැඳ මඟින් දින තුනකින් එම රෝග ලක්ෂණ පහව ගිය බවත් ය .

ඔහු වෛද්‍යවරයෙක් නම්  මුලින් කළ යුතුව තමාට වැලඳී ඇත්තේ කොරෝනා ද යන්න සැක හැර දැන ගැනීමයි.එසේ නොමැතිව රෝග ලක්ෂණ පහළ වූ පමණින් තමාට කොරෝනා වැළඳී ඇතැයි ඔහු විසින් නිගමනය කිරීම කෙතරම් විහිළු සහගත ක්‍රියාවක් ද ,? ඔවුන් කියනා පරිදි අයි ඩී එච් රෝහලේ කාර්ය මණ්ඩලය බියක් සැකක් නොමැතිව රෝගීන් සමග කටයුතු කරන්නේ මෙම දුම් වල සහ කැඳවලා බලයෙන් නම් ඔවුන් කුමකට ද සම්පූර්ණ සිරුර වැහෙන පරිදි ආරක්ෂක ඇඳුම් කට්ටලය අඳින්නෙ ?ඒවා නැතුව ගොස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ට එම කිසිවකු හෝ ඉදිරිපත් වේ ද ?ජනමාධ්‍ය මාධ්‍ය මඟින් පුනපුනා ප්‍රවර්ධනය කරන  රෝගය වැලඳී සුව  වූ පුද්ගලයා කරන ප්‍රකාශය,සාමාන්‍ය පුද්ගලයකුගේ ප්‍රකාශයක් ලෙස වරදක් දකින්නේ නැහැ.වෛරස රෝග සහ එහි පැතිරීම සුව වීම පිළිබඳව ඔහු ගේ දැනුම ප්‍රමාණවත් නො වීම සාධාරණයි .

ඔහු සිතා සිටින්නේ ඔහුට ඇල්ලූ දුම් වලින් සහ පානය කිරීමට දුන් කැද වලින්  රෝගය සුව වූ බවයි නමුත් සත්‍ය කරුණ වන්නේ වෛරස රෝගයක් වන හෙයින් එය ඇල් වතුර දුන්නත් පිරිත් වතුර දුන්නත් කොල කැද දුන්නත් විශ්ව ශක්තියෙන් බල ගැන්වූ ජලය දුන්නත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කලත් ඒ ඕනෑම දෙයක් නොතකා සිරුර මගින් ම  රෝගය ඉබේම සුව වීම යි .නමුත් ඔහු සිතා සිටින්නේ තමා සුව වූයේ ඒ තමා විශ්වාසයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය බටහිර වෛද්‍යවරුන් විසින් ලබා දුන් ප්රත්යක්ෂ බටහිර ප්‍රතිකාරවල අඩංගු දුම් ඇල්ලීමේ සහ කැඳ පානය කිරීමේ ක්‍රමවේදයන්  හේතුවෙන් බවයි  .

අත් බෙහෙත් කර කර ඉන්නේ නැතුව නිය ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත වන ලෙස ඔහු අනෙක් අයගෙන් ඉල්ලා සිටින්නේ ද එම මතය තුළ සිට බව පැහැදිලියි  අපේ රටේ ඉන්නා විශ්ව ශක්තියෙන් රෝග සුව කළ හැකි බව පවසන සියලු දෙනාටම සිය ප්‍රතිකාර වල සත්‍ය පෙන්වීමට මෙය මහගු අවස්ථාවක් .

රෝගයෙන් මිය යන්නේ සියයට දෙකක් පමණ වන බැවින් විශ්ව ශක්තිය ඇති බව පවසමින් ඕනෑම දෙයක් ප්‍රතිකාර ලෙස ඔවුනට බය නැතුව දෙන්න පුළුවන්  ඒවා බිව්වත්  අනිවාර්යෙන්    ඔය විදිහට ම රෝගීන් සුවපත් වේවි .ඒ විතරක් නෙමෙයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්,පිරිත් පැන් හා ආශීර්වාද පැන් ,විතරක් නෙවෙයි කැලණි ගඟේ ජලය වුව ද ඖෂධයක් සේ ප්‍රකාශ කොට ලබාදීම මඟින් තමන් සුව වූයේ එම ප්‍රතිකාර ක්‍රම සහ  බෙහෙත් වල බලෙන් බවට සුවපත් වන රෝගීන් අනිවාර්යෙන් විශ්වාස කරනවා .

කොළඹ අයි ඩී එච් රෝහලේ මියගිය රෝගීන් ට ඔය කැද දුන්නේ නැද්ද ?දුම් ඇල්ලුවේ නැද්ද ?ආයුර්වේද හෝ විකල්ප වෛද්‍ය ක්‍රම වල වෛද්‍යවරුන් මේ පිළිබඳ ප්‍රකාශ කළාට ගැටලුවක් නැහැ .ඒවා පිලි ගන්නා පුද්ගලයන් ඒවා පිළිගත්තාට ද ගැටලුවක් නැත නමුත් ගැටලුව තිබෙන්නේ තමන්ගේ උපාධි සහ තමන් ගේ කීර්තිය ,යොදා ගනිමින් තමන් කිසිදු අයුරකින් නොදන්නා වෙනත්  වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීමට බටහිර වෛද්‍යවරුන් පෙළඹී සිටීමයි .අතීතයේ තමන්ට තේරුම් ගත නො හැකි දේවල් යක්ෂයන් , භූතයන් සහ දෙවිවරුන් වැනි සංකල්ප වලට මිනිසුන් විසින් ආරෝපණය කරනු ලැබුවා .ඖෂධ ලෙස විවිධ ගස් වල  කොළ පොතු භාවිතා කරන්න පටන් ගත්තා ඒ විද්‍යාව දියුණුව නොතිබු අවධියේ දීයි.විද්‍යාව දියුණු වීමත් සමඟ වෛද්‍ය ක්‍රමවේදයන් ද වැඩිදියුණු වුනා .

ඇසට නො පෙනෙන වා පිත් සෙම් අසමතුලිත වීම හේතුවෙන් රෝග ඇතිවන බව ට විශ්වාස කොට ඒවා නිවැරදි කිරීමෙන් රෝග සුවපත් වන බව ට වන  පදනම මත  ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සැකසී ඇති අතර විසෙන් විස නැසෙන බවට වන සංකල්පය මත හෝමියෝපති වෛද්‍ය ක්‍රමය බිහි ව ඇත .බටහිර වෛද්‍ය ක්‍රමය පදනම් ව ඇත්තේ විද්‍යාත්මක ක්‍රමය මතයි .මේවා එකිනෙක පටලවා ගතහොත් රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ඉතා අපහසු වෙයි .උදාහරණයක් ලෙස ඉස්සර අපේ දෙමාපියන් අපේ කකුලෙ ඇණයක් ඇනුනොත් පිට ගැස්ම සෑදීම වැළැක්වීම සඳහා වෙනිවැල්ගැට තම්බලා දෙනවා බටහිර වෛද්‍ය වරයෙකු ලෙස කකුලේ ඇණයක් ඇනගෙන  එන රෝගියකුට පිට ගැස්ම එන්නත ලබා නොදී වෙනිවැල්ගැට ලබා දීමේ හැකියාවක් මා හට නොමැත .

එසේ ම පාරේ යන බල්ලෙක් විසින්  පුද්ගලයකු  සැපූ විට හුණු සමග මුරුංගා කොළ අඹරා ඒ තුවාලය මත ආලේපනය කරන ලෙස උපදෙස් දීමට බටහිර වෛද්‍යවරයෙකු ලෙස මා හට  නොහැක.සර්පයෙක් දෂ්ට කළ විට වහා ම ඒ සඳහා වන  ප්‍රති විෂ ලබා දීමකින් තොරව  විෂ උරන  ගලක් ගෙන ඒ මත තබා විෂ උරණ ලෙස උපදෙස් දීමට හෝ රුක්කත්තන ඇඳක නිදා ගන්නා ලෙස උපදෙස් දීමට බටහිර වෛද්‍ය වරයෙකු ලෙස මා හට නොහැක.නමුත් එවැනි ක්‍රමවේදයන් තුලින් රෝග සුව කරන දේශීය හෝ  ආයුර්වේද වෛද්‍යවරයෙකුට එය කළ හැකියි අදාළ රෝගියා එම වෛද්‍ය ක්‍රමය වෙත විශ්වාසය තබා එහි යන්නේ නම් එහි ගැටලුවක් නැත .මුළු ලෝකයම බලවත් ව්‍යසනයකට ගොදුරු ව ඇති මෙවන් මොහොතක .

මම විශ්වාසයන් සහ ඇදහිලි කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නාථ දෙවියන් හෝ වෙනත්  දෙවි කෙනෙක් දුන් බවට විශ්වාසයෙන්  හෝ තමන්ට හීනෙන් පෙනුනා හෝ පරම්පරාවෙන් පැමිණ ඇතැයි හෝ පෙර සිට භාවිතා වූවා යැයි හෝ කියමින් ලෝකෙට මීට මාස තුන හතරකට කලින් පැමිණි ප්‍රචණ්ඩ වෛරසයක් මර්දනය කිරීම සඳහා භාවිතා කිරීමත්  ඒ සඳහා තමන්ගේ බටහිර වෛද්‍ය  උපාධිය සහ වෙනත් නිල තල භාවිතා කිරීමත්  පිළිකුල් සහගත බව කිව යුතු ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙම වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන මෙම වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙළීම පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීමට  අවධානය යොමු කිරීම සුදුසු වනවා අවසන් වශයෙන් කියන්නට ඇත්තේ අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බ්‍රිතාන්‍යයේ අගමැති වරයා දුම් අල්ලා කැඳ පොවා සුව කිරීමට අපේ  වෛද්‍ය වරුන්ට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමකින් අවසරය ලබා දුන හොත්  අපේ රටට එනයින් ම ගොඩ යෑමේ  හැකියාව ඇති බවයි ..

නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

 MBBS (PERADENIYA)LL.B (OUSL)CER PSYCHOLOGY AND COUNSELING ජාතික රෝහල මහනුවර 

t

o

p